‘අරගලයට ලියූ කවි’ විවේචනය වගේම ස්වයං විවේචනයත් නොමදව දකින්න ලැබෙන මැදිහත් වීමක්

නදීරා සායක්කාරගේ (ගුරුවරිය) ‘අරගලයට ලියූ කවි’ කෘතිය ජනගත කිරීම පසුගිය 15 වනදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවති අතර එහි ප්‍රධාන දේශනය සිදුකරමින් චූලානන්ද සමරනායක සාහිත්‍යවේදියා විසින් දැක්වූ අදහස් මෙසේය.

අරගලයට ලියූ කවි- නදීරා සායක්කාර
ආටෝ තයි සක් බජාපේ -භාරත චින්තක
ඒක් සංසාර් න මූල ධනස්කන්දේ
නෂ්‍යා හෝ නිමේෂා ප්‍රතිෂ්‍යාකේ

ත්‍රී වීල් චුට්ටෙ

ජීවිතය පුරා උපයාගත් සියළු ධනය- එක කැස්සකට පදිරි විය

කවියාගේ කාර්යභාරය වනුයේ නමක් දිය නොහැකි දේට නමක් දීමය, වංචාව මතුකර දැක්වීමය, පැත්තක් ගැනීමය, වාදයන් ඇරබීමය, ලෝකය හැඩගැස්වීමය, එසේම එය නින්දට වැටීම වලක්වා ලීමය.
– සල්මන් රුෂ්ඩි

කවිය ගැන ඉහත කියමන මං ගත්තෙ සල්මන් කාන්ගෙන් නෙවයි සල්මන් රුෂ්ඩිගෙන්. ඒත් කාන් තරම් රුෂ්ඩි අප රටේ ප්‍රසිද්ධ නෑ කියල මං දන්නවා. කොහොමත් අපි එහෙම ජාතියක්. රටේම ඉන්න උන් බදු වංචා කරනකොට අපි ඇත්තටම බදු ගෙවන එකා දැක්කහම පුදුම වෙනවා. රටේම ඉන්න හොරු හොරකම් කරද්දි උන්ට ඡන්දෙ දෙන අපිට අවංක එකා දැක්කහම සිහි නැතිවෙනවා. එන්නත ගහගන්න එකේ ඉඳලා මල බද්ධෙට බේත් කරන තැනට යනකම්ම දේශපාලකයන් පස්සෙ ගිහිල්ලා පුරුදු වෙච්ච අපිට පිලිවෙලට නීතියක් තියෙන එක වදයක්. ඒ හින්දම අපී නීතියට පස්ස හරවන වහන්සෙලාට නීතිය හදන්න බාර දුන්නහම සාදු කියනවා. දැන් ඉන්න සමහර වහන්සෙලා බුද්ධ සාසනය බේර ගන්න වෙහෙසිලා තියෙනව කියන තරම දැක්කහම බුදු හාමුදුරුවොත් ඒ තරමට මහන්සි වුනේ නැද්ද කියලා කාට හරි හිතුනොත් පුදුමයක් නෑ. අපි මැතිසබේ ඉඳන් ස්ත්‍රිත්වයට ගරහන එකාව වැඩිම මනාපෙන් ආයෙම පත් කරල එවනවා. අපි හරිම අමුතු ජාතියක්, ආතල් ජාතියක්, ලෝකෙ කොහෙවත් මේ ජාතියෙ තවත් සාම්පලයක් නෑ කියන තරමටම අපි ඉදිරියට ඇවිත්. ගිනි කන්දෙ මුව විටෙන් කකුල් දෙක ඇතුලට දාගෙන ලෝවා වලින් මූණ හෝදන ජාතියක් අපි. අසූචි කන්දක් කර තිබ්බත් මරුනෙ කියල කර තියාගෙන යන ජාතියක් අපි.

අරගලයට ලියූ කවි කියන්නෙ දිගු කාලයක් සිසිර නිද්‍රාවට වැටිලා හිටපු වෘත්තිකයන් පිරිසකගේ දැවැන්ත අරගලයක් මැද නිර්මාණය වුන කවි පොතක්. මට මතකයි අපේ රටේ හිටපු විශිෂ්ට ගුරුවරයෙක් වෙච්ච ඇන්. ටී. කරුණාතිලක වරෙක ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි කියල නවකතාවක් ලිවුවා. ඒත් අද ඉන්න දේශපාලක වාහෙලා ඒක පිලිගන්න කොහෙත්ම සූදානම් නෑ. ගුරුවරයා කියන්නෙ නිකං අඩ කොටයක් විතරයි කියන තරමටම ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරලා. හැබැයි ගුරුවරු අතරින් බිහිවුන විශිෂ්ටයන් සංඛ්‍යාතව ඉතා විශාලයි. ඒ අතරින් රැයිපියෙල් තෙන්නකෝන් ඉතා විශිෂ්ටයි. ඔහු වරෙක තම සිසුන්ට අසාධාරන විධිහට දඬුවම් දෙන තම විදුහල්පතිට ඇනෙන්න කවියක් ලියනවා. ඒ කවිය අදටත් ඒ විධිහටම අදාලයි.

නිසි දේ ඉගෙන ගන්නට මග කියා නොදී
බැටදේ නමුත් කල කල දේ යයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරටේ ගොනුන් පඬිදුන් වනු ඇත ළඟදී

මේ කවිය උපහාසය ඉතා තියුණුවට භාවිතා කරමින් ලියපු කවියක්. රැයිපියෙල් තෙන්නකෝන් ගෙ සමස්ත කාව්‍ය ව්‍යාපාරයම මේ වගේ උපහාස රසයෙන් අනූන කස පහරවල් වගේ කවි වලින් පිරිලා.

අද දවසෙ තම මුල්ම කවි පොත එලි දක්වන නදීරා සායක්කාර කිවිඳිය ගුරුවරියගෙ කවි විමසන මේ මොහොත මං හිතන්නේ අපි කවි වලින් නතර නොවී ඊට එහා බොහෝ දුර හිතන්න අවශ්‍යම මොහොතක් බවට පත් වෙලා ඉවරයි. ගෑස් ටැංකියෙ ඉඳලා පුපුරන, කැරට් අල සේප්පුවෙ දාලා පරිස්සම් කරන්න වෙලා තියෙන, තද කරගන්න ඉඩක් නැති තරමටම පටි තද වෙලා තියෙන වර්තමානයක පුරවැසියන් හැටියට අපෙන් වඩා සබුද්ධික මැදිහත්වීමක් අවශ්‍ය වෙලා තියෙනවා. අපේ හෙට දවස පැහැසරද ගොරතරද කියන එක තීරණය වෙන්නෙ අපේම පියවර මත.

නදීරගෙ කවි කියවගෙන යන විට මං දකින විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේ කවි පොත අනෙක් කවි වලින් වෙන් වෙන තැනක් තියෙනවා. ඒ තමයි තේමාව.

මේ කවිවල තේමාත්මක විවිධත්වය නෑ. සමස්ත කවි පොතම එල්ල වෙන්නෙ එකම තේමාවකට. ඒ තමයි ගුරු අරගලය. තමන්ට ගරුත්වයක් සහිතව ජීවත් වෙන්න වැටුපක් දියවු කියලා ගුරුවරු පාරට බැහැපු අරගලය තමය මෙහි තේමාව.
මම නම් ‍පුද්ගලිකවම දරන අදහස වෙන්නෙ රටක ඉහලම වැටුප දිය යුත්තේ ගුරුවරයාට කියන එක. ඒ භූමිකාව වැටුනොත් සමස්ත රටම හාන්සි. අද අපි අත්විඳින ඛේදවාචකයට ඒක හේතුවක්. බරපතල හේතුවක්. හැබැයි වැඩි වැටුප දීමම ප්‍රමාණවත් නෑ. ඒ වැඩි වැටුපට සේවයට ගන්නා පුද්ගලයා නියමම සුදුස්සා වන තැනටත් වැඩ පිලිවෙලක් හැදෙන්න ඕනැ. මේ දෙපැත්තම සම්පූර්ණ වුනොත් තමයි අපිට හෙටක් ඉතිරි වෙන්නෙ.
මෙහෙම එකම තේමාවක් වටා දිගහැරෙන නදීරගෙ කවිවල මං දකින ඊළඟ ලක්ෂණ අතර පළමු වැන්න තමයි
බුර බුරා නැගෙන කෝපය.

දෙවැන්නත් බුරබුරා නැගෙන කෝපය

තෙවැන්නත් බුරබුරා නැගෙන කෝපය

කවියකුට කෝප වෙන්න තහනම්ද? නෑ කෝප වෙන්න කවියෙකුට හොඳටම අයිතිය තියෙනවා. හැබැයි ඒ කෝපය හරහා බිහිවෙන නිර්මාණ හුදු නර්මාලාප ඉක්මවා යන විවේචන වෙන්න ඕනැ. ඒ වගේම එවන් නිර්මාණ කළාට පස්සෙ එන අභියෝග ජයගන්න කවියට ශක්තිය තියෙන්නත් ඕනැ. සෝවියට් දේශයෙ හිටපු ඔසිප් මන්දලෙස්තාම් කියන කවියා වරක් තම පාලකයා වුන ජෝශප් ස්ටාලින්ට – අපේ ගුරු නායක ජෝසා නෙවෙයි – තදට වදින කවියක් ලියනවා. මේ කවිය තම සමකාලීන කිවියර බරීස් පස්තර්නාක්ට පෙන්නුවහම පස්තර්නාක් හොඳටම බය වෙලා කියන්නෙ මෙච්චරයි.

මං මේ වගේ කවියක් කියෙව්වෙත් නැත දැක්කෙත් නැත.

රටක් ගැන නිනව් නැතිවයි දිවි අපේ ගෙවෙන්නේ
කතාබහ ඇහෙන්නෙ නෑ දෙවියතක් ඔබ්බෙන්
ඒත් යන්තම් දෙවදනක් හුවමාරු වුනෝතින්
‍ක්‍රෙම්ලින් කඳු වැසියාවයි සිහි කෙරෙන්නෙ

ඔහුගේ මහතැඟිලි පිම්බිලා පණුවන් මෙන්
වදන් රාත්තල් පඩි වාගෙ නිසැකයි
සිනාවෙහි උඩු රැවුල කැරපොතු දිස්නෙකින්
බූට් දෙක දිලිසෙයි දණිස්සට යනකන්

බෙලි සිහින් නායක අහිනක් ඔහු වටේ
අඩ-මිනිස් වගක ආවැඩුම් මැද දිලෙයි හේ
එකෙක් උරුවම් බායි තවෙකෙක් ඥාව් කියයි
අනෙකා ඥරු ඥුරු ගායි

දොඩයි හුරතල් බස් ඔහු පමණක් උරුක් කරමින් ඇඟිල්ලක්
අස් ලාඩම් මෙන් ගසයි නියෝග එක දිගට ගජරාමෙට
එකෙකුට යටි බඩට එකෙකුට නලලට
එකෙකුට දෙබැමට එකෙකුට ඇහැට

හිස් ගැසුමක් ඔහුට කටට ගත් බෙරි ගෙඩියක්
ඔසෙටියාවෙන් ආ මිනිහෙක්ගෙ දාර පපුවක්

(‘ගිම්හානේ යන්න ගිහින්’ – සුනිල් විජේසිරිවර්ධන)

මේ කවිය හින්දා ඔසිප්ට විශාල කරදර වලට මුහුණ දෙන්න සිද්ධ නවනවා. අන්තිමේ තමන්ගෙ ජීවිතයත් අහිමි වෙනවා. ඒත් ඔසිප් දන නවන්නෙ නෑ.
තවත් ප්‍රසිද්ධ සෝවියට් කවියෙක් වන යෙවුගෙනි යෙවුටුෂෙන්කෝ කවියාගේ ස්වයං චරිතාපදානය වනාහී කවියයි කියල කියන්නෙ මේ නිසා. සියල්ලටම පලමුව කවියක අව්‍යාජත්වය තියෙන්න ඕනැ.
නදීරාගේ කවි වල මේ අව්‍යාජත්වය තියෙනවා. ඒවා හද පත්ලෙන්ම නැගෙන කෝපාග්නියක දැල්. හැබැයි ඒ ගිනි දැල් තුල කවියත් තියෙනවා. නූතන ජනකවියක් වගේ කෙලින්ම වදිනවා. මේ කවිවල සර්වකාලීන අගයක් නැති වෙන්න පුළුවන් ඒත් අර ගජමන් නෝනා ලිවුවා වගේ වදින්න ඕන තැනට කිරිපල්ල හිරි වැටෙන්න ඇය ලියනවා. අරගලයකදි ලියෙවන කවි එහෙම තමයි.

අසූ ගණන් වල ජේ ආර් ප්‍රේමදාස පාලන සමයෙ එහෙම ලියවුන කවි කිහිපයක් මං මෙතනදි ඔබ එක්ක බෙදා ගන්න කැමතියි.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන කාලෙ ලියවුන කවියක් මෙහෙමයි තිබුනෙ.

ලංකා ඉතිහාස පොත කැත කොට පහරා
මව්බිම බෙදන්නට ගිවිසුම හැදු ඌරා
දස වසරක් තිස්සෙ කෑ ඉහ මොල සූරා
ජනහතුරාට වයධම්මා සංඛාරා

මේක හරියට වස් කවියක් වගේ.

කන් හිරිවැටෙන ළය පුපුරන වෙඩි සද්දෙන්
නොසැලෙන එවුන් පමණක් අප හා එද්දෙන්
සටනට දෙපා පණ නැති අය නවතිද්දෙන්
ජයබිම කරා යමු අපි පෝරක මැද්දෙන්

නිදහස උදෙසා පළමුව ලියවුන එස් මහින්ද හිමියන්ගෙ කවි වල තිබුනෙත් මේ ප්‍රහාරක ගුණයග අසූව දශකයේ ඔරුවල බන්දු සටන් කවි කියලා කවි පොතක්ම ලිවුවා.

දැන් නදීරා ලියන කවි වල කෝපයට අමතරව තියෙන අඩුවැඩිය මොනවද?

මං ඇගෙ කවිවල සියුම් උපහාසයක් වගේම උත්ප්‍රාසයකුත් දකිනවා. ඒ වගේම ඇගේ කවිය තුළ තම අරගලයට හතුරු වුන විවිධ පාර්ශවයන්ට එල්ල කරනා සැර විවේචනයකුත් තියෙනවා. ගුරු අරගලයට එරෙහිව සංවිධානාත්මකව ඉදිරියට ආපු පාර්ශව බොහොමයි. මාධ්‍ය ඒ අතර සැලකිය යුතු වැඩ කොටසක් කළා. ආගමික සංස්ථාවෙ සමහර අය ඇතැම් වෘත්තීය සමිතිවල නායකයො අසිගන්වන ලද සමහර ජනතාව ඇතුළු විවිධ පාර්ශව ගුරුවරුන්ට එරෙහිව අවි අමෝරා ගත්තා. දේශපාලකයො තෙල් පන්දම අරගෙන දුම්මලගැහුවා. ගුරුවරයා ජන හතුරෙක් බවට පත් කරන මෙහෙයුම ගියේ එහෙම තමයි.
ඉතිං නදීරා එක්තරා විධිහක ආවේශයකින් වගේ වේගයෙන් මේ සියළු පාර්ශවයන්ට තම කවියෙන් රිදෙන්න ටොකු අනිනවා.
ඇය නූතන ගජමන් වේශයෙන් පත්තර මල්ලිලට තද ටොක්කක් අනිනවා. ලංකාවෙ මාධ්‍යවල හැසිරීම කියන්නෙම වෙනම කතා කළ යුතු මාතෘකාවක්. නදීරා තමන්ගේ අරගලය විකෘති කරන මාධ්‍යවේදීන් කියාගන්නා පිරිසට ආමන්ත්‍රණය කරන්නෙ මෙහෙම.
පත්තර මල්ලියේ මම ගජමන්
හැබැයි මේ එක්කම නදීරාට මග හැරෙන යම් කාරණයක් මං මතු කරල පෙන්වන්නත් ඕනැ. මේක අතීත ගජමන් නෝනටත් වරදින තැනක්. වරක් ගජමන් නෝනට එක් මුදියන්සෙ කෙ‍නෙක් අවලම් යෝජනාවක් කවියකින් කරනවා. ඒ කවිය මෙහෙමයි

පන්නා පත් තරිඳු රිවි උදය වේලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ ගාලක
පන්නා මදන බීතෙන් ඉඳ නොවී සැක
පෙන්නාපන් ළ‍ෙඳ් තුනුවිල දවාලක

ගජමන් නෝනා ඒකට සැර උත්තරයක් මුදියන්සෙගේ දෙපරැන්ද හිරි වැටෙන්න දෙනවා.

තුනුවිල බලන්නට මුගෙ සිත වෙලා දුක
තුනුවිල තලන්නට සිතුණිය දවාලක
තුනුවිල මැකීලා අඹුවගේ මුලාවක
තුනුවිල බලාපිය අම්මගෙ දවාලක

හැබැයි ගජමන් නෝනා නොදැනුවත්වම තම ප්‍රහාරය හරහා තම වර්ගයාට එනම් ස්ත්‍රියටත් අකටයුත්තක් කරනවා. ඇය අන්තිමට තම කවිය හමාර කරන්නෙ මෙහෙම.

තුනුවිල බලාපිය අම්මගෙ දවාලක

මං හිතන්නෙ මේක අපි අතින් නොවිය යුත්තක්. අපි කෙනකුට ගරහන්න ඕන වුන ගමන් ඒකට ස්ත්‍රීත්වය ඇද ගන්නවා. ගෑනු වැඩ, ගෑනු කතා, ගෑනියෙක් වලේ වෙන්න එපා යකෝ ඔය වගේ. හුඟක් වෙලාවට පිරිමින්ට බනින කොට කාන්තාවොම නිකං ගෑනු වැඩ කරන්න එපා ඕයි කියල බනිනවා මං අහල තියෙනවා. මං හිතන්නේ මේක වැරදි භාවිතාවක්. කාන්තාවට එහෙම දෙවෙන පෙල අත්කරදීම වැරදියි. විශේෂයෙන්ම නොහොබිනා වැඩ කරන අය ගැහැනු ලෙස සැලකීම වෙනස් විය යුතුයි. අපේ සාසනයෙ නිකාය බේදය අනුව උස් පහත් පුටු තිබ්බට ගිහි අපි එහෙම කරන්න නරකයි.
දැන් තම කවියෙ නදීරා මෙහෙම කියනවා.

ආවද ආලින්දයට
බෝතල් පත්තර මල්ලී
ටයි කෝට් ඇඳ උඩට
යටට මල් මල් සාය

මට නං හිතෙන්නෙ යටට මොකුත් නෑ කියල කිවුව නං තමා හරි. මොකද ආවරණය කරගන්න කිසිම දෙයක් නැති තැන තමයි ඔහොම වෙන්නෙ. ඇගේ කවියෙන් ජනතා ප්‍රේමියෝ වගේ ඉන්න ඒත් කිසිම විලි ලැජ්ජාවක් නැතුව තමන්ගෙ පංතිය පාවාදෙන පංචායුධ කුමාරයන්ට, තම වෘත්තීය සටන් පාවාදෙන ගඳ ගහන පාන්කඩවලට පාන්ගොඩවලට, ඇතැම් වෘත්තීය සමිති වලට ප්‍රහාර එල්ල වෙනවා. ඒ අතරෙම තමන්ගේම වෘත්තීය සගයන් වෙලත් පැත්තකට වෙලා බලා ඉන්න, ඇඟ බේරගන්න බලා ඉන්න මූනිච්චාවට කතා කරන පිරිසවත් ඇය අමතක කරන්නෙ නෑ.

ඒ නිසා ඇගේ කවිය කියන්නෙ විවේචනය වගේම ස්වයං විවේචනයත් නොමදව දකින්න ලැබෙන මැදිහත් වීමක්.
මං ඇගේ කවියෙ කූටප්‍රාප්තිය වශයෙන් දකින අපූරු කවියක් තියෙනවා. ඒ කවිය තමයි මට නම් මේ කවි අතර වටිනම කවිය. ඒ කවිය හරහා ඇය ඉතා මනරම් විධිහට සිය වෘත්තියේ යථා ස්වභාවය, මේ කාලකණ්නි ක්‍රමය විසින් ගුරුවරයා පත් කර ඇති තත්වය විග්‍රහ කරනවා. ඒ නිසා මේ කවිය හරිම වැදගත්. ඒකට ඇය දෙන නම ගුරු නාට්ටාමි. ඒ කවිය අවසානයේ මෙහෙම කියනවා.

හැබැයි දැනගං බත් බැලයෝ
උඹ ඇපිල්ලුවාට රෙදි
සේදුවාට මහා උන්ගේ පස්ස
ලෙවකෑවට දෙපතුල්
අපි කළේ සදහටම
ශිල්ප බර කරට ගෙන
නාට්ටාමි ගුරුකම
ආණ්ඩුව නයි අපට

අවසාන වශයෙන් මං නදීරා කිවිඳිය ආදරයෙන් වැළඳගන්නවා. ඒ වගේම අරගලයට ලියන ජන කවි වස් කවි වගේම ඉන් ඔබ්බට විහිදෙන වඩා ගැඹුරු කවියටත් පිවිසෙන්න කියලා ඇගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

එන්න අපි අපේ වර්තමානය දිනා ගනිමු. අපේ දරුවන්ගෙ අනාගතය ආරක්ෂා කරන්නට පෙල ගැහෙමු. දැක්මක් සහිත මිනිස්සු වෙමු. නයින්ට බිත්තර දීලා රෝස මල් ඉල්ලන්න එපා. ගවයන්ගෙ අං වලට විලි දාලා උන්ට හාදු දෙන්න යන්න එපා. හිවලුන්ට පෙම් බැඳලා කුකුල්ලු වෙන්න එපා. මිනිස්සු වෙමු. උගත්තු නෙවෙයි බුද්ධිමත්තු වෙමු. ඉන්ට රට වගේම පුන්ට රෙක ඉතුරු කරගන්න වෙන්නෙත් එහෙම කළොත් විතරයි.

– චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

ten − nine =