ජනාධිපති ගෝඨාගේ මුක්තියට යටවෙන යුක්තිය !

2011 දෙසැම්බර් මස 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කෙරිණි. ඒ අදින් අවුරුදු අටකට පෙරය.

ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ පස්වරු පහට පමණය. පසු දින, එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතු ඔවුහු සිදු කරමින් සිටියහ.

කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් පස්වරු පහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය හා ගම්වැසියන් පවසන කරුණු අතර පරස්පරතා රැසක් තිබේ. ඒවා අධිකරණයේදී කඩිනමින් ලිහාගත යුතුය. එහෙත් ලිහෙන්නේ අතිශය සෙමින්ය. කොටින්ම ඒවා ලිහන පාර වැසීම ඉතා වේගවත්ව සිදු කෙරේ.

කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා ඇත. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි. මෙම යතුරු පැදිය සම්බන්ධයෙන් නිර්වේලි ප්‍රදේශවාසීන් විසින් ෂන්මුගන් වඩිවේල් නම් එවකට එම ප්‍රදේශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 09 වැනිදාය. යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී ලලිත් – කුගන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය වෑන් රථයකින් සහ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. එහෙත් ඒවා ඉදිරියට යන්නේ නැත. ඊට හේතුව අතුරුදන් කළ පාර්ශ්වය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හොඳින් දැන සිටීමයි.

එවකට පැවැති ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා වූයේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාය. ලලිත් – කුගන් අතුරුදන් කළ දෙසැම්බර් මාසයේම, 15 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ ලලිත් – කුගන් අතුරුදන් වී නැති බවත්, ඉක්මනින්ම ඔහු පොලිසිය හෝ හමුදාව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත්ය. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීමක් ගැන කතාවකි. ඒ ප්‍රකාශය කළේ එවකට ආණ්ඩුවේ නිල ප්‍රකාශක ලෙස කටයුතු කළ ඇමැතිවරයාය.

1994 කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් වලින් ආරක්ෂා වීමේ පනතට අනුව පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම සම්පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. අත්අඩංගුවේ සිටියදී සිදුවන ඔහුගේ ඇඟේ සීරීමකට පවා ස්ථානාධිපතිවරයා පිළිතුරු බැඳිය යුතුය. එහෙත් පසුගිය කාලයේ එසේ අත්අඩංගුවට ගත් සියයකට ආසන්න පිරිසක් ආයුධ පෙන්වන්නට ගොස්, පළායෑමට උත්සාහ දැරීමේදී වෙඩි තැබූ බව පවසමින් ඝාතනය කෙරිණි. එකම කතාන්දරය පොලිසිය අධිකරණයට කිව්වේය. බොරුවක් බව දැන-දැනම එය අසා සිටි එක් විනිසුරුවරයකු හෝ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ඒ ගැන විමසුවේ නැත. ඔවුන් සම්බන්ධයෙන් ඉහත කී පනත යටතේ කටයුතු කළේ නැත.

කෙහෙළිය රඹුක්වැල්ලගේ මල්ලෙන් එළියට පැන්න බළලාට අනුව නම් ලලිත් – කුගන් අත්අඩංගුවේය. එහෙත් එවැන්නක් මෙතෙක් තහවුරු වූයේ නැත. ඔවුන් සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන් ඉදිරිපත් කෙරුණේ ද නැත. හමුදා අත්අඩංගුවේ දිගටම තබාගත නොහැක. පොලිසියට භාරදිය යුතුය. එවැන්නක් සිදු වූයේද නැත.

මේ සම්බන්ධයෙන් දෙවරක් කැඳවීමෙන් පසු, 2016 මැයි මාසයේදී අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ එවකට පැවැති ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රකාශය කළ බවයි. එසේ නම් ඒ ආරක්ෂක කවුන්සිලය නියෝජනය කළ සියල්ලන් ඒ ගැන යම් තොරතුරක් දැන සිටිය යුතුය. සේනාධිනායක ලෙස ජනාධිපති, හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානියා සහ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ඒ කවුන්සිලය ඒ වකවානුවේ නියෝජනය කළහ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මේ ආරක්ෂක කවුන්සිල වල වැඩ සිදුවන ආකාරය ගැන රට දැනගත්තේය. දේශපාලන ඇරියස් කවර් කර ගැනීමේ සිට ජනතාව උකසට තබා කළ හැකි සියල්ලක් ඒ අස්සේ සිදු වේ. ඒ කියන්නේ ඔය කියන 2011 වසරේදී කෙහෙළිය රඹුක්වැල්ලත් ආරක්ෂක කවුන්සිලයේ වාඩි වුණාද කියන්නට අප දන්නේ නැත. කෙසේ වෙතත් ඔහුට එසේ කියා ගැලවිය හැකිද? ආරක්ෂක කවුන්සිලයෙන් තොරතුරක් ලැබුණා කියූ පමණින්, ඔහුට ගැලවෙන්නට අධිකරණය පාර්ශ්වයෙන් ඉඩ දිය යුතු ද?

පසුගිය සැප්තැම්බර් 27 දා ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටිය යුතු විය. ඒ ජුනි 21 දා කළ නියෝගයක් ප්‍රකාරව ය. නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුනි 21 දා පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට මුලදී දැනුම් දී තිබිණි. එහෙත් ඔහුගේ නීතිඥයන් එදින අධිකරණයට දැනුම් දුන්නේ තමන්ගේ සේවාදායකයා විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවටයි. ඒ අනුව සැප්තැම්බර් 21 දිනය ලැබිණි.

21 වැනිදා ද ගෝඨාභය අධිකරණයට ගියේ නැත. මාධ්‍ය මගින් ඊට පෙර, අනාවරණය කළේ මෙවරත් ආරක්ෂක හේතු දක්වා නඩුවෙන් මගහැර යෑමට ඔහු උත්සාහ කරන බවයි. උතුරු-නැගෙනහිර හැර, අනෙක් ඕනෑම පළාතක පිහිටි අධිකරණයකදී තමන්ට මේ නඩුවේ සාක්ෂි ලබාදීමට අවස්ථාව ඉල්ලමින් ගෝඨාභය අභියාචනාධිකරණයට ගියේය. අවස්ථාව ලැබිණි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ යාපනයට ගියේය. එයින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට තර්ක කළ හැකිය. ආරක්ෂක හේතු මත නඩුවක සාක්ෂි දෙන්නට යන්නට බෑ කී ඔහු, පෞද්ගලික වාසිය තකා එසේ ගියේ කෙසේද? දැන් කොහොමත් ඔහු නඩුවට එන්නේ නැත. දැන් ඔහු රටේ ජනාධිපතිය. ඔහුට ජනාධිපති ධුරය දරන තුරු ඒ මුක්තිය හිමිය.

“යුක්තිය – සාධාරණත්වය වෙනුවෙන් මම මගේ ජනාධිපති මුක්තිය අත්හැර, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ගියාක් මෙන් යාපනයට ගොස් ලලිත්-කුගන් නඩුවේ සාක්ෂි ලබා දෙනවා” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැරිවෙලාවත් කිව්වොත්…? ඔහුට මතක් කර දිය යුතුය. මේ සියලු අපරාධ නඩු විභාගවලට අදාළව තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බව ඔහු මුලදී කියා ඇත. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදීද අධිකරණයේ ස්වාධීනත්වය වැනි වචන වගයක් කිව්වේය.

එහෙත් ඉර නගින්නේ හැමදාමත් නැගෙනහිර දිසාවෙන් පමණක් බවත්, මීයා මැරූ තැන ඇති ලේ ටිකත් බළලා ලෙව කා සුද්ධ කරන බවත් මතක් කළ යුතුය.

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

seventeen − six =