ජාතික ජනබලවේගය – Reform or Revolution? No revolution please!!!

දේශපාලනය යන නූතන මිනිස් චර්යාව ආකාර දෙකකින් තේරුම් ගැනීමට පුළුවන්. එකක් විමුක්තිය සාක්ෂාත් කරගැනිම සඳහා දරන පරිශ්‍රමයක් ලෙසිනි. අනෙක සාමූහික යහපත සාක්ෂාත් කරගැනීම සඳහා වූ පරිශ්‍රමයක් ලෙසිනි. මේ දෙක ඇත්ත වශයෙන්ම පවතින ආකාර විවිධය. බොහෝකොට විප්ලව පිළිබඳ විශ්වාසය තබන අයගේ දේශපාලන චින්තනය නිර්මාණය වන්නේ විමුක්තිය සඳහා වූ අභිලාෂය මතයි.

සාමූහික යහපත සඳහා වූ දේශපාලනය විප්ලවීම දේශපාලනය වඩා තීව්‍රතාවයෙන් අඩු එකකි. විමුක්තිය මුල්කරගත් දේශපාලන (එය ලංකාවේ කතිකාව තුළ පීඩිතභාවයෙන් මිදීම, විඳවීමෙන් මිදීම වැනි සංකල්පගතකිරීම් මගින් ප්‍රකාශයට පත්වේ) දැක්ම තුල පරිකල්පනීය නැඹුරුව වැඩිය. උත්ප්‍රාසජනක ලෙස මේ නිසා විප්ලවවාදී දේශපාලනයේ පුද්ගලවාදී නැඹුරුවක් ඇතිවේ. විප්ලවය සාමූහික ක්‍රියාවක් වුවද විප්ලවයන්හී ප්‍රකාශිත අභිලාෂ සාමාන්‍ය වශයෙන් ගත්කල නොපැහැදිළි ලෙස සහ අතිශය පුළුල් ලෙස සංකල්පගත කෙරෙන ඒවාය. සාමාන්‍ය වශයෙන් විප්ලව අවස්ථාවලදී මේ නොපැහැදිළි පුළුල් අභිලාෂ සහ පුද්ගල අභිලාෂ අතර ආතතියක් ඇතිවේ (මේ සදහා මරාසාද් නාට්‍යෙය් මරා හා සාද් අතර ඇතිවන සංවාද කියවන්න). මේ නිසා විප්ලවීය දේශපාලනය යනු වැඩිදුර යාහැකි දේශපාලන ක්‍රියාවක් නොවේ.

සාමූහික යහපත යනු විමුක්තිය වඩා සංයුක්ත ලෙස නිර්වචනය වන්නකි. සාමූහික යහපත සාක්ෂාත් කරගැනීම විප්ලවීය ක්‍රියා හරහා ම සිදු වන්නේ නැත. එවා පොදු ජනයා අතර ඇතිවන සාකච්ඡා හා විවධ මැදිහත්වීම් හරහා සිදුවන්නකි. මා පිළිගන්නා ආකාරයට පුළුල් අරුතින් දේශපාලනය පවතින්නේ මෙතැනයි.

ලංකාවේ දේශපාලනය තුළ සාමූහික යහපත උදාකරගැනීම සඳහා ඓතිහාසික වශයෙන් මාවත් දෙකක් යෝජනා කෙරී තිබේ. එකක් ජාතික සාරය (නලින් ද සිල්වාගේ අරුතෙන් සිංහල-බෞද්ධ චින්තනය) සාක්ෂාත් කරගැනීම කරා වූ මාවතයි. ඒ මාවතට අනුව සාමූහික යහපත ගැබ්වී ඇත්තේ ජාතික සාරය තුළයි.

දෙවැනි මාවත විශ්වීය එසේත් නැත්නම් යුනිවර්සලිස්ට් මාවත ලෙස හැඳින්විය හැක. සමාජ සාධාරණත්වය සමානාත්මතාවය මිනිස් නිදහස මානව හිමිකම් වැනි විශ්වීය ලෙස ලෝකයේ ඕනෑම තැනකට ගැලැප්පිය හැකි පරමාදර්ශ මේ මාවතේ මූලික අංගවේ. මගේ අදහස ජාතික සාරය මත පදනම් වූ මාවත හැම අතින්ම අසාර්ථක වී ඇත. ඒ නිසා දැන් අපට ඇත්තේ විශ්වීයත්වය මත පදනම් වූ මාවතයි.

කළ හැකි දරුණුම විවේචන සියල්ල කළ පසුවත් ඒ මාවතේ යාම සඳහා මට නම් මේ මොහොතේ තෝරාගත හැකි හොඳම වාහනය ජාතික ජන බලවේගයයි. ඒ වාහනය කොයි තරම් දුරක් යන්නේද යන්න අදාළ නැති නියම පාරේ යන්නේ නම් කිලෝමීටරයක් දෙකක් ගියත් නරකක් නොවේ.

මට ඇති බිය වන්නේ විවිධාකාර බලව්‍යාපෘතීන්ට යට වී රාජපක්ෂවරු එළවීමේ සංධාන ගසා ගැනීමේ උගුල් වලට පැටලේද යන්නයි. රාජපක්ෂවරු එළවීමට කවුරුත් අවශ්‍ය නැත. ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරු ආධිපත්‍ය දැරූ යුගය තව වසර පහකින් හයකින් අවසන් වනු ඇත. එවිට නාමල් රාජපක්ෂද චම්පික විමල් අනුර වැනි සෙසු දේශපාලන චරිත අතර සමානයෙක් වනු ඇත. ඒ නිසා සජිත්ගේ ව්‍යාපෘතිය වෙතින් පැමිණීමට නියමිත රාජපක්ෂ ආණ්ඩුව පෙරළීම සදහා නැවත පොදු අපේක්ෂයෙක් ඇති කිරීම වැන යෝජනා උගුල්ම වේ.

සමහරු ජාතික ජනබලවේගයේ ඊයේ එළි දැක්වූ ප්‍රකාශනයේ ඇති දේ ගැන විධායක සභාවේ සාමාජිකයින් ගැන විවිධ දේ කියා ඇත. මට නම් ඒවා සත පහකට වැඩක් නැත. මට 1975න් පසු ලංකාවේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන ඇත්තේ ඇකඩමික් උනන්දුවක් පමණි.

– නිර්මාල් රංජිත් දේවසිරි

Leave A Reply

Your email address will not be published.

four × 2 =