සුරත්ගෙ ‘සී+’ නවකතාවේ භාෂාමය මද්‍යසාරයෙන් වඩි දෙක තුනක් ළඟ නමා ගත් පාඨකයෙකුගෙ හැඟීම් සමුදායක්

සුරේඛගෙ හොට් චොක්ලට්වල මත් ගතිය යන්න කලින් සුරත්ගෙ සී+ නවකතාවට මාරුවෙලා ඒකෙ භාෂාමය මද්‍යසාරයෙන් වඩි දෙක තුනක් ළඟ නමා ගත්තහම පාඨකයෙකුට මුහුණ දෙන්න වෙන්නෙ මොන වගේ තත්ත්වයකටද?. මේ ඒ තත්වෙට පත් වුණ පාඨකයෙකුගෙ හැඟීම් සමුදායක්. මේ පොතේදිත් අපට හොට් චොක්ලට්වලදි වගේ මුණගැහෙන්නෙ ජීවිතයෙ වත්මන් නිමේෂය අත්විඳින්න පොරබදන ගැහැණුයි විවිධ රාමුවල හිරවෙමින් ඉන්න පිරිමියි. මෙතනදි සුරත් තමන්ගෙ තේමාත්මකය පාඨකයට පිරිනමන්න උත්සාහ කරන්නෙ කොළඹ සරසවියයි රියැලිටි වැඩසටහනුයි පසුබිම් කරගෙන.

අද අපි ජීවත් වෙන්නෙ ආශාවයි අපේක්ෂාවයි පටලවා ගත්ත සමාජයක. රස්සාවෙදි, දේශපාලනයෙදි, පෙු්මයෙදි වගේම අනිත් හැමතැනකදිම මේ තත්ත්වය දකින්න පුළුවන්. සමාජය මේ තත්ත්වයට ඇදලා දාන්න ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නෙ ජනප්‍රිය සංස්කෘතිය. ඒකෙ මූලික අංගයක් තමයි රියැලිටි වැඩසටහන්. දැනඋගත් භේදයකින් තොරව දැන් සමාජයෙ අතිබහුතරයක් මේ ජනප්‍රිය සංස්කෘතියෙ ගොදුරු බවට පත් වෙලා ඉන්නෙ. සුරත් තමන්ගෙ ප්‍රබන්ධය මගින් රියැලිටි වැඩසටහන්වලට සහභාගි වන අයගෙ ආශාවත් ප්‍රාග්ධනයේ අපේක්ෂාවත් මේ හැමෝගෙම විනෝදයත් අපූරුවට නිරාවරණය කරනවා.

මේ නවකතාවෙ බොහොම සිත්ගන්න සංකේතයක් තියෙනවා. ඒ තමයි කොළඹ සරසවියෙ ශාස්ත්‍ර පීඨ ගොඩනැගිල්ල. ඒකෙ තියෙන්නෙ ඕනෙම කෙනෙක් මංමුළා කරන ගෘහ නිර්මාණයක්. ශිෂ්‍යයන්ට සෑහෙන කාලයක් යනකම් තමන්ට යන්න ඕනෙ තැන හොයා ගන්න අමාරුයි. ඇත්තටම මේ ගෘහ නිර්මාණය සරසවි ජීවිතය වගේම සරසවියෙන් පිටවෙලා බාහිර සමාජයට යන ශිෂ්‍යයන්ට මුණගැහෙන ජීවිතය අභ්‍යාස කරන්න හදපු තැනක් වගේ. එහෙම තැනක දි සාර්ථක වෙන්න නම් දැනුවත්භාවයට වැඩිය ඕනෙ වෙන්නෙ පුරුද්දයි අහම්බයයි. ඒක සමස්ත නවකතාවෙම සාරය කැටි කරන සංකේතයක්.

ඒවගේම මේ නවකතාවෙ හැම පරිච්ඡේදයක් ම පටන් ගන්නෙ හැත්තෑව දශකයෙ ප්‍රචලිත වුණ සුභාවිත ගීතයක පදවැලකින්. රියැලිටි වැඩසටහන්වලට එන හුඟදෙනෙක් තෝර ගන්නෙ මේ ගීත. ඒත් මේ ගීතවල අර්ථයයි රියැලිටි වැඩසටහන්වල අදෘශ්‍යමාන අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයයි තරග කරන අයගෙ ඇතුලාන්තය යි අතර තියෙන්නෙ මහා පරස්පරයක්. ඒහින්දා ප්‍රාග්ධන තර්කණය හමුවේ මේ මොහාතෙ මේ ගීතවල වගේම ඒවට සහභාගි වන අයගෙ ජීවිතවලත් අර්ථය ශුන්‍ය වෙලා යනවා. ඒත් ඒ අර්ථය නැතිව යාම ඒ අයට විනෝදයක්.

මේ පොත කියවගෙන යනකොට පාඨකයෙක් මුලින්ම වහ වැටෙන්නෙ සුරත්ගෙ ආකර්ශනීය භාෂා රිද්මයට. ඒක ඒ තරම්ම වසඟකාරීයි. වචනවලයි සිදුවීම්වලයි විරුද්ධාභාසී බව එක ළඟට ගෙනාවහම මොන තරම් හැඟවුම් මතු කරන්න පුළුවන් ද?. අපි අපේ ජීවිතයෙ දකින්න අකමැති කලාපය කොච්චර නිරුවත්ව අපිට අභිමුඛ කරන්න පුළුවන් ද? හැබැයි භාෂාවෙ ඇල්කොහොලික් බවට ඕනවට වැඩිය මත් වුණොත් නවකතාවෙ තියෙන ජීවිතය මගහැරීමේ අනතුරකුත් නැතුවා නෙමේ.මේ අනතුරෙන් මිදෙන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. ඒත් ඒක අපතේ යන මහන්සියක් නෙමේ. මොකද , යථාර්ථයෙ ප්‍රබන්ධයට ඔබ්බෙන් තියෙන ප්‍රබන්ධයෙ යථාර්ථය අනාවරණය කර ගන්න නම් ඒ මහන්සිය දරන්නම වන නිසා.එතකොට වීරයොත් නැති දුෂ්ටයොත් නැති ලෝකෙක විනෝදය පිනුම්ගහන හැටි බලාගන්න පුළුවන්

– උදිත අලහකෝන්

Leave A Reply

Your email address will not be published.

19 + sixteen =