“සීගිරි කාශ්‍යප පීතෘ ඝාතකයෙක් නොවේ. බල පීඩනයේ නිර්මිතයක්” – “නිල් කට්රොල්”

ඉතිහාසය පුණර්කියවීමකට බඳුන් කිරීම මේ මොහොත තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය කාරණයකි. අප බොහෝ විට ඉතිහාසය උත්කර්ෂයට නගන්නේ අපගේ දෘෂ්ටිවාදයේ ලැදියාමය මානයකින් බව වර්තමානයේ වුව බොහෝ අරුත් සුන් ගොඩනැගීම් වලින් මනාව අවබෝධ වේ. ඒ සඳහා අප සාක්ෂි ලෙස භාවිතා කරන්නේ ද එයට උදව් දෙන (Supportive ) මූලාශ්‍රයන් පමණකි. නමුත් ඉතිහාසය කියවීමේ දී එක් මූලාශ්‍රයකට වඩා වැඩි ප්‍රමාණයක් මූලාශ්‍ර කියවා ඒවා එකිනෙකට ප්‍රතිබද්ධව තාර්කිකව ගලපා බැලීම තුලින් තර්කනයන් ගොඩනගා ගැනීම වඩාත් දියුණු කියවීමක් වෙයි. එවිට ඇතැම්විට අපට අප දන්නා, අපට උගන්වා ඇති ඉතිහාසය පූර්ණ සත්‍යයක් හෝ අසත්‍යයක් නොවන බව අවබෝධ කරගන්නට පුලුවනි. ඒ සඳහා අපට වර්තමානයේ සිට අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රය තරණය කිරීමටද සිදුවේ. ඇතැම් විට කාලය යනු නිරපේක්ෂ දෙයක් නොව සාපේක්ෂ දෙයක් බව අයින්ස්ටයින් පවා පවසන්නේ ඒ නිසාය. කාල තරණය යන සංකල්පය මිත්‍යාමතික දෙයක් බව සඳහන් වෙන අතර ඇතැමුන් එය සත්‍යයක් බව සාක්ෂි සහිතව පෙන්වා දෙන අවස්ථා ද ඉතිහාස නිරීක්ෂණයේ දී හමුවේ. එය එසේ වුවද වර්තමානය කියවා ගැනීමට අතීතය හා අනාගතය සංසන්දනාත්මක සමීප කියවීමකට (Close Reading) බඳුන් කළයුතු වේ.

මොහාන් රාජ් මඩවල ගේ නවතම කෘතිය “නිල් කට්රොල්” නවකතාවෙන් ඔහු මතුකරන්නට උත්සාහ ගන්නේ කාලය හා ඉතිහාසය පූර්ණ සත්‍යයක් ද? අසත්‍යක් ද ? යන කාරණයයි. ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ සීගිරි පර්වත රාජ්‍යය බිහිවීමේ පුරාවෘත්තය හා ධාතුසේන රාජ්‍ය සමයේ ඉතිහාස පදනමයි. මොහාන් මෙහිදී සීගිරි පර්වත රාජ්‍යය බිහිවීම යන කාරණය පිළිබඳව අපට උගන්වා ඇති කතාන්දරය තාර්කිකව මෙන්ම ප්‍රබන්ධනාත්මකව ප්‍රශ්න කරන ආකාරය අපූරුය. කාශ්‍යප යනු පීතෘ ඝාතකයෙක් ද ? ඔහු බිහිවීමට බලපෑ සමාජ, ආර්ථික හා දේශපාලන සාධක මොනවාද? කාශ්‍යප පීතෘ ඝාතකයෙක් බවට පත්කරන්නේ මහාවංසය රචනා කරන මහානාම හිමියන්ගේ දේශපාලන පක්ෂපාතී බව නිසාද? එය කතුවරයාගේ දේශපාලන ප්‍රබන්ධයක් ද? එහිදී බලපෑවේ සමාජ පන්තිය, කුලය වැනි සාධක මත තීරණය වූ බල හුවමාරුව ද? වැනි කාරණා මොහාන් සාහිත්‍යමය තලයක තබා විශ්ලේෂණය කරන්නට උත්සාහ ගනී.

නවකතාව ඔහු අරඹන්නේ අනාගතයෙනි. චිත්‍රකලාව පිළිබඳ කතිකාචාර්යවරයෙකු වන අමේෂ් දේවසුරේන්ද්‍ර දකින සිහිනයකි. විජය කුමාරයාගෙන් පැවත එනවායැයි පුරාවෘත්තගත කතාන්දරය දේවසුරේන්ද්‍ර දකින සිහිනයක් හරහා ප්‍රශ්න කරන මොහාන් එහිදී තාක්ෂණික අනාගතයේ අපට මුණ ගැසිය හැකි කෘත්‍රිම බුද්ධියේ (Artificial Intelligence) නිමැවුමක් විය හැකි ප්‍රියංවදා නම් සුරූපිනියක් අපට මුණ ගස්වයි. ඇය අපේ මතකයට නංවන්නේ දැනටමත් නිපදවා ඇති ලොව ප්‍රකට සොෆියා* නම් මානවරූපී මොඩලයයි. ප්‍රියංවදා යනු එවැනි මානවරූපී මොඩලයන් නිෂ්පාදනය කරන සමාගමක නවතම වැඩිදියුණු කිරීමකි. සීගිරිය හා එහි චිත්‍ර ඇඳි ශිල්පියා ගැන කතාබහ ඇතිවන්නේ ඔවුන් දෙදෙනා අතර පවතින දැනුම භාවිතා කරමින්. නමුත් චිත්‍ර ශිල්පී දේවසුරේන්ද්‍ර ගේ කුතුහලය ඇත්තේ සීගිරිය නම්වූ පර්වත රාජ්‍යය ගැන නොව සීගිරියේ චිත්‍ර ඇඳි චිත්‍ර ශිල්පියා කෙබඳු ආකාරයක සෞන්දර්යවාදියෙක් ද යන්න ගැනයි.

එතැන් සිට ඔහු සීගිරි පර්වත රාජ්‍යය බිහිවීම පිළිබඳ ඉතිහාස පුරාවෘත්තය පවතින තත්වයන්ට තාර්කික නව ප්‍රබන්ධාත්මක තොරතුරු එකතුකරමින් ඉතිහාසය හරහා පාඨකයාව රැගෙන යයි. ඉතිහාස මූලාශ්‍රයන් ගේ සඟවා ඇති තැන් ඔහු ප්‍රබන්ධාත්මක ලෙසින් ගොඩ නගයි. ඉතිහාස මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ කාශ්‍යප රජුගේ මව ධාතුසේන රජුගේ අන්ත:පුරයේ උප බිසවක් ලෙසින් පමණි. මොහාන් ඇය අනුරාධ රාජධානියට අයත් ග්‍රාමයක් වන මාපාගල කම්මල්කරුවෙකුගේ දියණියක් වන උපුලී ලෙසින් නාමකරණයට ලක් කරයි.
මේ ආකාරයට ධාතුසේන රජුට දාව උපුලී නම් බිසව බිහිකරණ කාශ්‍යප හා කුලීන බිසවක වන කේතකී සමකාලීනව බිහිකරණ මුගලන් යන පාර්ශව දෙක අතර රාජ්‍යත්වය අරඹයා ඇතිවන අරගලයත් කාශ්‍යපගේ මව උපුලී උපක්‍රමශීලීව ගන්නා තීරණයක් මත සීගිරිය නම් වූ පර්වත රාජ්‍යයත් ජලෝද්‍යානයත් බිහිවන බව සඳහන් කරයි. දැඩි සෞන්දර්යවාදියෙක් වන කාශ්‍යප පරිසර හිතකාමී ලෙසින් එය නිර්මාණය කරන අතර එයින් පැහැදෙන ධාතුසේන මුගලන්ට නොව කාශ්‍යප ට රාජ්‍යත්වය භාර දෙයි.

මේ අතර නවකතාවේ එක් තැනෙක ධාතුසේන රජු දේවදත්ත නම් චිත්‍ර ශිල්පියෙකු ලවා උපුලී බිසවගේ නග්න චිත්‍රයක් අන්දවයි. උපුලි ගේ ඡවි වර්ණයට හා නාරි ලාලිත්‍යට ඇලුම් කරන, ලිංගික මෛතුන්‍යයේ උදාසීන ධාතුසේන රජුගේ උවමනාව උපුලි ගේ නාරි ලාලිත්‍ය නැරඹීමටය. කාශ්‍යප බිහිකරගැනීම සඳහා ධාතුසේන රජු ලිංගික මෛතුන්‍යය සඳහා උපක්‍රමශීලීව පොළඹවා ගන්නේද උපුලී ගේ කුලහීනත්වය හා ඡවි වර්ණය පහත්කොට සලකන අන් බිසවුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා යි.

කෙසේ වෙතත් මුගලන්ගේ පාර්ශවය නියෝජනය කරන මහානාම හාමුදුරුවෝ ප්‍රමුඛ සංඝයා මුගලන්ට රාජ්‍යත්වය ලබා දීමට රහසිගතව සංවිධානය වන අතර අකාශ්මිකව සීගිරියට චිත්‍රයක් රැගෙන එන දේවමිත්ත නම් චිත්‍රශිල්පියා අතැති චිත්‍රය කාශ්‍යප රජුගේ ධීතිකා නම් බිසවගේ නග්න චිත්‍රයකි. නමුත් ඔහු කිසිදා ධීතිකා බිසව දැක නැහැ. පාඨකයා ගේ විඥානය එකවිටම පූර්වාපර සන්ධි ගැලපීමකට මොහාන් යොමු කරන්නේ කාල තරණය කරවමිනි. දේවමිත්ත යනු දේවදත්ත ම ද? ඔහු අතැති සිතුවම එදා ධාතුසේන රජු දේවදත්ත නම් චිත්‍රශිල්පියා ලවා ඇන්දවූ උපුලී බිසවගේ නග්න චිත්‍රයද?
මේ කාල තරණය මොහාන් නවකතාවේ බොහෝ තැන්වල සිදුකරයි. කෙසේ වෙතත් දේවමිත්ත සීගිරි පර්වත රාජ්‍යයේ නිල චිත්‍රශිල්පියා බවට පත්වේ. ඔහු අතින් ඇඳෙන රූ සමාන වන්නේ රජ බිසවුන්ගේ හා කුමාරිකාවන් ගේ නාරි ලාලිත්‍යන්ටය. සීගිරියේ පිරිමි රූ දක්නට නොලැබීම පිළිබඳ සාක්ෂියක් ද මෙහිදී මතුකෙරේ. මේ අතර කාශ්‍යප රජුගේ දියණියක වන උත්පලවන්නා කුමරිය දේවමිත්ත සමග පෙම් සබඳතාවක් පටන්ගන්නේ ඇගේ රුව ඔහු ලවා චිත්‍රණය කිරීමත් සමගයි. අනාගතය කීමට හැකි දේවමිත්ත කාශ්‍යප රජුගේ රාජ්‍යකාලය අවසන් වන බවට අනාවැකි කීමෙන් රාජ උදහසට පත්වී සිරගත වෙයි.

නවකතාව ආරම්භයේ අපට හමුවන දේවසුරේන්ද්‍ර නම්වූ චිත්‍ර කලා කතිකාචාර්යවරයා යනු දේවමිත්ත නම්.වූ සීගිරි චිත්‍රශිල්පියා ද ? ප්‍රියංවදා නම්වූ මානවරූපී තරුණිය උත්පලවන්නා කුමරියද ? සීගිරියේ හමුවන නිල්පැහැ කාන්තා චිත්‍ර ධීතිකා බිසවගේ ද නැත්නම් උපුලී බිසවගේ ද? එසේත් නැත්නම් උත්පලවන්නා කුමරියගේ ද ? කාල ද්වයක හමුවූ ස්ත්‍රීන් ගේ රුවෙහි ලාලිත්‍යයන් සීගිරි චිත්‍රශිල්පියා වූ දේවමිත්ත ට බලපෑවේ ද? දේවසුරේන්ද්‍ර නම් වූ අනාගත චිත්‍ර ශිල්පී කතිකාචාර්යවරයා සමාගමක් ලවා අප්ග්‍රේඩ් කර නිපදවා ගන්නා මානවරූපී ස්ත්‍රිය, ප්‍රියංවදා මේ කාන්තාවන්ගේ අනාගත ප්‍රතිබිම්භයද? කාලය යනු මායාවක් ද? ඉතිහාස රචනා යනු රචකයාගේ සිතැඟි ප්‍රබන්ධයක් ද? මොහාන් අප ඉදිරියේ තබන ප්‍රශ්නාවලිය එයයි.
අතීත පුරාවෘත්තයක් පදනම් කරගෙන ප්‍රබන්ධයන් කරන බොහෝ කතුවරු ඒ අදාල සමයේ වහරන ලදැයි උපකල්පිත බස භාවිතා කිරීමට වෙහෙස වෙන අතර මොහාන් බසෙහි වහලෙකු නොවී බස තමන්ගේ වහලෙකු කරගෙන අවබෝධ කරගැනීමට පහසු බසක් භාවිතා කිරීම මෙහි විශේෂ වෙයි. එය කිසි ලෙසකින් වත් නවකතාවේ රසනිෂ්පත්තියට බාධා නොකරයි. ඔහුගේ බස සුනම්‍ය ය. විචිත්‍ර ය.

නවකතාකරුවෙකු ලෙස ඔහු මෙතෙක් රචනා කල නවකතාවන් වල යම් යම් ප්‍රබන්ධ ලක්ෂණ හා ආකෘතිමය හැඩයන් මෙහිද තිබුණ ද “නිල් කට්රොල්” ඔහුගේ ප්‍රබන්ධ රටාවේ වෙනත් දිගුවක් බව හැඟේ. එය මනප්‍රිය විචිත්‍රීය මගක් සේ දැනේ.

– කපිල එම්. ගමගේ

සොෆියා යනු හොංකොං හි හැන්සන් රොබෝටික්ස් සමාගම විසින් සංවර්ධනය කරන ලද සවුදි අරාබි සමාජ මානවරූපී රොබෝවෙකි. සොෆියා 2016 පෙබරවාරි 14 වන දින සක්‍රීය කරන ලද අතර, 2016 මාර්තු මැද භාගයේදී එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ඔස්ටින් හිදී ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

Leave A Reply

Your email address will not be published.

nine − 9 =