බැඳුම්කර බෝලය දැන් තියෙන්නේ මහින්ද අතේ

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ හිටපු සභාපති

සුනිල් හඳුන්නෙත්ති

යහපත් රාජ්‍ය පාලනයක් ඇති රටක කෝප් කමිටුවේ වගකීම් ඕනෑම රාජ්‍ය ආයතනයක් ඇගයීමකට ලක් කිරීම. දැනට ඒක හීනයක් තරම් දුරයි. දැන් මොකක් ද වෙන්නේ ? හොරු පත් කරලා, ඒ හොරුන්ට හොරකම් කරන්න එක්තරා විදිහක බලපත්‍රයක් දීලා කෝප් එකට කියනවා, ඔන්න අපි හොරු පත් කළා, දැන් ඔන්න ඒ හොරු හොරකම් කරලා තියෙනවා, කෝප් එක එකතු වෙලා පුළුවන් නම් හොරු අල්ලන්න කියන එක.

■  කෝප් කමිටුව කැඳවීමේ දිනයකදී සාමාන්‍යයෙන් කොපමණ මුදලක් වැය වෙනවද?

එහෙම වැය වෙන්නේ නැහැ නේ. මුළු කෝප් කමිටුවම සමන්විත වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්. ඒ අයට මේ කමිටුවට සම්බන්ධ වෙනවා කියලා ගෙවන්නේ නැහැ. මෙතැනට අපි කැඳවන අයට තේ කෝප්පයක් දෙනවා. ඊට අමතරව ඒ එන අයට සමහර විට ඒ ඒ අයගේ ආයතනවලින් වාහනයක් දෙනවා. එහෙම මිසක් විශාල වශයෙන් මුදල් වැය වීමක් කෝප් එක නිසා වෙන්නේ නැහැ. 

ඔබ වරෙක කියා තිබුණා කෝප් එකට දත් නැහැ කියලා. ඒ කියන්නේ කෝප් ඒකට පුළුවන් වෙන්නේ වාර්තාවක් නිකුත් කරන්න විතරයි, වැරැද්දකට දඬුවම් දීමේ බලයක් නැහැ කියන එක. එහෙම බලයක් නැත්නම් මොකක්ද කෝප් කමිටුවේ ඇති වටිනාකම ?

මෙහෙමයි, කෝප් එකේ අවස්ථා ගණනාවක් තියෙනවා.

එකක් තමයි, කෝප් එකට සහභාගි වන අමාත්‍යාංශ නිලධාරීන් හරහා අපි ඒ ඒ අමාත්‍යාංශවල ආයතන වෙත අපේ නිර්දේශ දැනුම් දෙනවා. ඒ අනුව ඒ ඒ ආයතන අපේ නිර්දේශ පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනවා.

තව පියවරක් තමයි කෝප් වෙත ගෙන්වන ආයතන ප්‍රධානීන්ටම අපි අපේ පරීක්ෂණ අවසානයේ ඍජුවම නිර්දේශ ලබා දීම කෙරෙනවා. ඒ හරහාත් යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

තවත් පැත්තක් තමයි, අපි කරන පරීක්ෂණ අවසානයේ සමහර දේ අධිකරණයට යොමු කරන ලෙස අපි කරන නිර්දේශ. මේ ආකාර කිහිපයෙන්ම අපි සාධනීය ප්‍රතිඵල ලබාගෙන තියෙනවා.

■  මොනවද ඔය කියන සාධනීය ප්‍රතිඵල ?

මුලින්ම මම කිව්ව ආකාර තුනෙන්ම අපිට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරු මැදිහත් වෙලා ඉතාමත් යහපත් ක්‍රියාමාර්ග අරගෙන ඒවා ක්‍රියාත්මක කරමින් ඊ ළඟ කෝප් කමිටුවට ඇවිත් ඒ බව තහවුරු කරලා තියෙනවා. සමහර තැන්වල අපේ නිර්දේශ අනුව සමහර වියදම් සඳහා වගකිව යුතු අයගෙන් ඊට අදාළ අධිභාරය සමඟ ඒවා ඒ ඒ ආයතන විසින් යළිත් අය කරගෙන තියෙනවා. සමහර තැන්වල වැය කිරීම් අය කර ගන්න නීතිමය වශයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත ගිහින් තියෙනවා. මම හිතන්නේ ඒවා ජනතාවගේ පැත්තෙන් සාධනීය ජයග්‍රහණ.

ඒ වගේම සමහර විට සමහර නියෝග දීලා තියෙන්නේ ආයතන ප්‍රධානියා. ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා. ඒ නිසාම එවැනි ලේකම්වරු නඩු පැවරීම වැනි ක්‍රියාමාර්ග පැහැර හැරලත් තියෙනවා.

■  එහෙම පැහැර හැරීමකදී කෝප් ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැනේ?

එහෙම කරන්න දෙයක් නැති වුණු කාලයකුත් තිබුණා. ඒත් දැන් අපි නියෝග කරනවා කෝප් නිර්දේශ පිළිබඳව සති හතක උපරිමයකට යටත්ව තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කතානායකවරයාට යොමු කරන්න ඕනේ කියලා. ඒ හරහා පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. එතකොට අවසන් තීරණය ගන්නේ පාර්ලිමේන්තුව. ඒ විතරක් නෙමෙයි, කෝප් සභාපතිවරයා විදිහට මම කතානායකවරයාට යෝජනා කළා කෝප් විමර්ශන සඳහා නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයන්ට සහ අධිකරණ නිලධාරීන්ට නිරීක්ෂණ මට්ටමින් කමිටුවට සහභාගී වෙන්න කියලා. දැන් ඒකටත් අනුමැතිය ලැබිලා තියෙනවා.

ඔබ කිව්වා වගේ කෝප් කමිටුවට නඩු දාන්න බැරි නිසා මගේ සභාපතිත්වයෙන් තිබුණු කෝප් කමිටුව නඩු දාන්න බලය තියෙන අය කෝප් කමිටුවට ගෙන්නා ගත්තා.

ඒ අනුව අමාත්‍යාංශ නඩු දාන්න කලින් නඩු නිමිත්තක් තියෙනවා නම්, ඒ අයට පුළුවන් චූදිතයන්ට එරෙහිව නඩු දාන්න.

■  සමහර දේ සඳහා නාමික වගකිවයුත්තා අමාත්‍යාංශ ලේකම් වුණත්, ඇත්තටම වග කියන්න ඕනේ අදාළ අමාත්‍යාංශයේ විෂයභාර ඇමතිවරයා. සමහර අවස්ථාවල ඔහුත් මේ විමර්ශන කරන වේලාවේ කෝප් කමිටුවේ සාමාජිකයෙක් වෙලා ඉන්නවා ?

ඔව්, මිට කලින් එහෙම දේවල් සිද්ධ වුණා තමයි. දැන් එහෙම බැහැ. ඔබට මතක ඇති මම සභාපති වෙන්න කලින් සමහර කෝප් විමර්ශනවල දී ඇමතිවරු එතැනත් ගහ ගත්තා. ලේකම්ගෙන්, තමන් යටතේ ඇති ආයතනවල සභාපතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා ගෝරනාඩු කළා. අපි ඒ තත්ත්වයෙන් කෝප් කමිටුව මුදා ගත්තා.

දැන් යම් අමාත්‍යාංශයක් ගැන විමර්ශනය කරද්දී, ඒ අමාත්‍යාංශයට අදාළ ඇමතිව අපි කමිටුවෙන් එළියට යවනවා. සමහර ඇමතිවරු තමන්ගේ කැමැත්තෙන් එළියට ගියා. සමහරු එළියට දැම්මා. සමහර වේලාවට කෝප් කමිටුවේ සාමාජිකයන් පවා අපි කමිටුව ඉදිරියට කැඳෙව්වා. ඒ හින්දා පැරැණි සෙල්ලම් අවසන් කෝප් එකේ දාන්න බැරි වුණා.

■  ඔබ කියන්නේ ඔබ කෝප් හි සභාපතිවරයා හැටියට කෝප් ක්‍රියාවලිය ගැන සෑහීමකට පත්වෙනවා ?

උත්තර දෙකක් තියෙනවා. ඔව් සහ නැහැ.

එක කාලයක් කෝප් කියන්නේ වහලා තිබුණු රහස් ගබඩාවක්. ඒ නිසාම කෝප් කමිටුවට කැඳෙව්වා කියලා බොහෝ දෙනෙක් නිවැරදි වුණේවත් ආයෙමත් හොරකම් කරන්න බය වුණේවත් නැහැ. සරලව කිව්වොත්, බොහෝ දෙනෙක් කෝප් එක ගණන් ගත්තේ නැහැ.

අපේ කාලයේ දී අපිට පුළුවන් වුණා කෝප් මහජනයාට විවෘත කරන්න. කෝප් පරීක්ෂණ මහජනයාට දකින්න පුළුවන් වුණා. ඒ නිසා සමහර උද්දච්ච හොරුන්ට සිද්ධ වුණා සමාජයට මුහුණ දෙන්න බැරි අපහසුවකට පත් වෙන්න. සමහර ආයතනවල සභාපතිවරුන්ට ගෙදර අරගෙන ගිය වාහනවලින් පාරේ යන්න බැරි වුණා. මිනිස්සු කියන්න ගත්තා “ඕක අර හොරකම් කරගෙන ගෙදර ගෙනාපු වාහනය නේද” කියලා. ඒ නිසා හොරුන්ට හොරකම් කළ සමහර දේ පාවිච්චි කරන්න අපහසු වුණා. හොරු අල්ලන්න බැරි නම්, අඩුම තරමේ ජනතාවගේ දේපළ හොරකම් කළ හොරුන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා.

අනෙක් අතට මගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ආයතනයක් විදිහට ලොකු පිම්මක් පැන්නා.  ඒ අතින් මම සභාපතිවරයා විදිහට සැහීමකට පත් වෙනවා.

අනෙක් අතට මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරමින් කළ හොරකම්, වංචා, දූෂණ සහ මුදල් අවභාවිතාවන් ඒවායේ වටිනාකමේ තරමට වග කියන්න කෝප් ඒකට බැහැ. ඒ ගැන මේ රටේ සාමන්‍ය පුරවැසියෙක් තරමටම මමත් සෑහීමකට පත් වෙන්නේ නැහැ.

කෝප් කියන්නේ ‘හොරු අල්ලන’ තැනක්ද?

හොඳ ප්‍රශ්නයක්.

ඇත්තටම කෝප් කියන්නේ හොරු අල්ලන තැනක් නෙමෙයි. කෝප් එකේ අපේ වගකීම ඕනෑම රාජ්‍ය ආයතනයක් විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව යටතේ විමර්ශනයට, පසු ඇගයීමකට, සමාලෝචනයකට, කාර්යසාධනයට ලක් කිරීම. ඒත් අපිට මොකක්ද මේ විගණකාධිපති වාර්තාවෙන් කරන්න වෙලා තියෙන්නේ ?

අවසන් අවුරුද්දේ විගණකාධිපති වාර්තාවේ තියෙන්නෙම මූල්‍ය අවභාවිතාවන්. ඒ නිසා කෝප් කමිටුවේ අපිට සිද්ධ වෙනවා ඒ ගැන පරීක්ෂා කරන්න. එතැන දී තමයි ‘හොරු ඇල්ලීම’ කියන දේ අපිට කරන්න සිද්ධ වෙන්නේ.

මගේ අදහස තමයි, යහපත් රාජ්‍ය පාලනයක් ඇති රටක කෝප් කමිටුවේ වගකීම් ඕනෑම රාජ්‍ය ආයතනයක් අගැයීමකට ලක් කිරීම. දැනට ඒක හීනයක් තරම් දුරයි. දැන් මොකක් ද වෙන්නේ ? හොරු පත් කරලා, ඒ හොරුන්ට හොරකම් කරන්න එක්තරා විදිහක බලපත්‍රයක් දීලා කෝප් එකට කියනවා, ඔන්න අපි හොරු පත් කළා; දැන් ඔන්න ඒ හොරු හොරකම් කරලා තියෙනවා; කෝප් එක එකතු වෙලා පුළුවන් නම් හොරු අල්ලන්න කියන එක. ඒ පත් කිරීම් සඳහා දැක්මක් තියෙන, වැඩ පිළිවෙළක් තියෙන, ප්‍රාමාණික දැනුමක් තියෙන, දේශපාලන හෙන්චයියන් නොවන අය පත් කරන්න ඕනේ. ඒ පත් කිරීම් කරන්නේ කෝප් කමිටුවේ සභාපති වුණු මම නෙමෙයි නේ.

ඒ පත් කිරීම් රටට යහපත් ආකාරයකට සිද්ධ වුණු දවසක කෝප් එක ‘හොරු අල්ලන’ තැනකින් ඉවත් වෙලා රාජ්‍ය ආයතන අගය කරන, තව දුරටත් සංවර්ධනයේ දිශාවට ඒවාට මඟපෙන්වන තැනක් වෙන්න ඕනේ. දැන් නම් කෝප් එකට එහෙම කරන්න බැහැ.

ඒ නිසා කෝප් ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමේ වගකීම තියෙන්නේ මම හිතන විදිහට ජනතාව අතේ. 

■  චෝදනාවක් තියෙනවා කෝප් කමිටු සභාපතිවරයා ලෙස ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මහ බැංකුව විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු සැසිය කල් තබන තුරු පරීක්ෂණයට නොගත් බවට ?

නැහැ. මම වගකීමෙන් කියනවා, ඒක බොරු චෝදනාවක්. අනෙක් අතට මේ චෝදනාව නඟන්නේ බැඳුම්කර හොරු රැකීමේ වුවමනාව තියෙන අය.

මම මේක පැහැදිලි කරන්නම්.

මගේ සභපතිත්වයෙන් යුත් කෝප් කමිටුව 2017 වාර්තාවෙන් නිර්දේශ කළා බැඳුම්කර ගනුදෙනුව ගැන වෝහාරික විගණනයක් කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ කියන වෝහාරික විගණනයක් සිද්ධ කළේ.

ඒ වෝහාරික විගණන වාර්තාව මගේ ලේකම් කාර්යාලයට ලැබුණේ මීට සති දෙකකට විතර කලින්. එතන වාර්තා පහක් තිබුණා. ඊට කලින් පාර්ලිමේන්තුව රැස්වූ අවසන් දිනය වුණේ නොවැම්බර් 11 වෙනිදා, ජනාධිපතිවරණයටත් කලින්.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව රැස් වෙන්නේ පාර්ලිමේන්තුව රැස් වෙන දවස්වලටමයි. මී ළඟට පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබුණේ, දෙසැම්බර් තුන් වැනිදා. ඒ නිසා එදාම අපි මේ විගණන වාර්තාව සාකච්ඡා කරන්න සුදානම් වුණා. ඒ ගැන අපේ කෝප් කමිටු සාමාජිකයන් සියලු දෙනාම දන්නවා.

ඔය අතර තමයි පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ. එහෙම සැසිය අවසන් කළහම කෝප් ඇතුළු බොහෝ කාරක සභා ඉබේම අවසන් වෙනවා. ඒ හේතුව නිසා මම සභාපතිත්වය දරපු කෝප් කමිටුවත් අවසන් වෙනවා. අපේ කෝප් කමිටුවට බැහැ දැන් මේ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට ගන්න.

■  ඔබට මේ ගැන ගත හැකි කිසිදු පියවරක් නැද්ද?

මම මේ සැසිය අවසන් කරන ආරංචිය දැනගත් වහාම කෝප් කමිටුව නියෝජනය කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කිව්වා, අඩුම තරමේ අලු‍ත් සැසිය පටන් ගන්න කලින් කෝප් කමිටුව කැඳවලා වෝහාරික විගණන වාර්තාව විවෘත කරමු කියලා. ඒත් එහෙම දෙයක් කරන්න අවස්ථාවක් ලබා ගන්න ඒ අයට ඇත්තටම බලයක් නැහැ.

අනෙක් අතට මේ වාර්තාව කෝප් කමිටු සාමාජිකයන් අතට පත් කරන්න කියලා මහ බැංකු අධිපතිවරයාට නීතිපතිවරයා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා මට බැහැ මේ වාර්තාව පොදු මහජන ලියැවිල්ලක් බවට පත් කරන්න. මට අවශ්‍යතාව තිබුණේ නැහැ මේ වාර්තාව විවෘත කරලා බලන්න. එහෙම කරන්න බැරි කිසිම නීතිමය බාධාවක් නැහැ. ඒත් මම එහෙම කළෙත් නැහැ.

■  ඒ අනුව මේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව දැන් වගකීම තියෙන්නේ කාටද?

මෙහෙමයි, ආණ්ඩුවට ඕනේ නම් ඉක්මනින්ම අලු‍තින් කෝප් කමිටුවක් පත් කරලා මේ වාර්තාව පිළිබඳව ක්‍රියාවලියක් ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මහ මැතිවරණය අවසන් වනතුරු කල් දාන්නත් පුළුවන්.

ඒ එක පැත්තක්.

අනෙක් පැත්තෙන් කෝප් කමිටුවට වඩා වැඩි බලයක් තියෙනවා මුදල් අමාත්‍යවරයාට මේ වාර්තාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඔහු යටතේ තමයි, මහ බැංකුව තියෙන්නේ. මුදල් ඇමතිතුමාට පුළුවන් තමන් යටතේ තිබෙන මහ බැංකුවේ අධිපතිවරයාගෙන් මේ වාර්තාව නීත්‍යනුකූලව ගෙන්වා ගන්න. මම දන්න තරමින් ඒකට කිසිම නීතිමය බාධාවක් නැහැ.

අනෙක් අතට ආණ්ඩුවට දැන් මේ ගැන ජනවරමකුත් තියෙනවා. දැන් ආණ්ඩුවට මේ වැඬේ පහසුවෙන් කරන්න පුළුවන්. මහ බැංකු ගනුදෙනුව ගැන මේ වෙන කොට වාර්තා තුනක් තියෙනවා.

එකක් 2017 මගේ සභාපතිත්වයෙන් යුත් කෝප් වාර්තාව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ වාර්තාව. දැන් අලු‍තින්ම ආපු වෝහාරික විගණන වාර්තාව. දැන් තියෙන්නේ අලු‍ත් මුදල් ඇමතිවරයාට මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න එක විතරයි.

■  ඔබ හිතනවද එහෙම ක්‍රියාමාර්ගයක් ගනියි කියලා ?

ඒ ගැන මට මුකුත් කියන්න බැහැ. අලු‍ත් මුදල් ඇමති කියන්නේ වර්තමාන  අගමැති මහින්ද රාජපක්ෂ. දැන් බැඳුම්කර බෝලේ තියෙන්නේ මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ ළඟ. අපි බලමු ඡන්දෙට කලින් දුන්න පොරොන්දු අනුව ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන්නලා මුල ඉඳන් අග දක්වා වන බැඳුම්කර හොරු රැළට රාජපක්ෂ ආණ්ඩුව දඬුවම් කරයි ද කියලා.

■ සංවාද සටහන

  සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

five + eight =