ප්‍රශ්නය – “කවුද ඔබට ගිවිසුම දුන්නේ?”. අනුර – “කවුද අපිට ගිවිසුම්, ලිපි ලේඛන, කැබිනට් පත්‍රිකා, රහස්‍ය ලියවිලි නොදෙන්නෙ”

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
අනුර කුමාර දිසානායක

නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර වූ ගිවිසුම ඔබ පාර්ලිමේන්තුවේ සභාගත කළ බව දැන් හැමෝම දන්නා කරුණක්. කොහෙන්ද ඔබට මේ ගිවිසුම ලැබුණේ?

පළමුවෙන්ම කියන්න ඕනේ මම සභාගත කළේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සහ ලංකාවේ යුගදනවි බලාගාරය අතර ගිවිසුමක් නෙමෙයි කියන එක. ඕක තමයි දැන් අපි මත තහවුරු කරන්න හදන බොරුව.

මොකක්ද එහෙනම් ඇත්ත?

ඇත්තම දේ තමයි මම සභාගත කළේ ශ්‍රී ලංකාව විකුණුම්කරු විදිහට, ඇමෙරිකාවේ ලියාපදිංචි සමාගමක් වන NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් LLC සමාගම නම්වූ ගැනුම්කරුත් අතර වූ ගිවිසුම. ඔබ ප්‍රශ්නය අහපු විදිහට වගේම මේ රටේ කැබිනට් මණ්ඩලයත් අනුමැතිය දුන්නේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ ගිවිසුමකට. හැබැයි දැන් තියෙන්නේ වෙන සමාගමක් එක්ක අත්සන් කරපු ගිවිසුමක්. ඒ ගිවිසුම තමයි අපි පහුගිය දා පාර්ලිමේන්තුවේ දී සභාගත කළේ. ඒක එකක්.

ඔබ අහපු අනෙක් ප්‍රශ්නය තමයි, මේ ගිවිසුම කවුද අපිට දුන්නේ කියන එක.
ඔබේ අවසරය මත මම පෙරළා ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් කවුද අපිට ගිවිසුම්, ලිපි ලේඛන, කැබිනට් පත්‍රිකා, රහස්‍ය යැයි කියා ගන්නා ලියවිලි, විවිධ පන්නයේ තොරතුරු නොදෙන්නේ. දවස ගාණේ හැම පැයක දීම අපිට එහෙම තොරතුරු දුසිම් ගණනින් ලැබෙනවා. ඒ තොරතුරු දෙන මාර්ගවලින්ම තමයි, මේ තොරතුරත් අපේ අතට ලැබුණේ.

ඔබ ඔය නොකියා කියන්නේ, ඔබට මේ ගිවිසුමේ පිටපත ලැබුණේ කැබිනට් මණ්ඩලයේ
සාමාජිකයකුගෙන් කියල ද?

අනේ නැහැ. කැබ්නට් මණ්ඩලයේ අයත් මේකේ පිටපත් ඉල්ලා ගත්තේ අපෙන්. ඒ අය මේක දැක්කේ එදාමයි. අනෙක මේ ආණ්ඩුවේ ගනුදෙනු ගැන කැබිනට් මණ්ඩලයේ අය දන්නේ මොනව ද?

එහෙම නම් රාජපක්ෂ පවුලේ කෙනෙක්?
ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදී ඉඳීමේ අයිතිය මම තියා ගන්නම්.

මේ ගිවිසුම තොරතුරු දැනගැනීමේ කොමිසමට ඉදිරිපත් නොකළ ගිවිසුමක්. තාමත් අධිකරණයට නොදුන් ගිවිසුමක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ එකක්. කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ට හමු නොවුණු එකක්. ඒ කියන්නේ, අතිශය රහස්‍ය ලේඛනයක්. ඒක ඔබ නිසා ප්‍රසිද්ධ, පොදු ලියවිල්ලක් බවට පත්වුණා. එහෙම වීම පෞද්ගලිකව ඔබට අනතුරක් නෙමෙයි ද?

දන්නේ නැහැ. අපි ඒ ගැන කිසිම සැලැකිල්ලක් දක්වන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ රටට වැදගත් ලියවිල්ලක්, හානිකර ගිවිසුමක් තව දුරටත් සඟවා තබා ගන්න ඉඩ දෙනවා ද නැද්ද කියන එක විතරයි. ඒ සම්බන්ධව දෙගිඩියාවක් නැති නිසා ආණ්ඩුව අවුරුදු දෙකක් හංඟගෙන ඉන්න අත්සන් කරලා පොරොන්දු වුණු දේ අපි එළියට ගත්තා. එච්චරයි. කවුරු හරි හිතනවා නම්, ඒකෙන් මට හරි අපිට හරි අවදානමක් තියෙනවා කියලා, අපි කළ දේ හරියි කියලා හිතන හෘදය සාක්ෂියක් තියන අයගේ වගකීම අපිව ආරක්ෂා කරන එක. ඒ හැර වෙන කිසිම දෙයක් අපි හිතුවෙත් නැහැ, හිතන්නෙත් නැහැ.

දැන් මේ ගිවිසුම ගැන ආණ්ඩුවේ පාර්ශ්ව විවිධ දේ කියනවා. ඇතැම් ඇමතිවරු 69 ලක්ෂයක් ජනතාව අනුමත කර තිබෙන නිසා මෙවැනි ගිවිසුම් අත්සන් කරන්න කැබිනට් මණ්ඩලය දකින්න අවශ්‍ය නැති බව කීවා. තවත් සමහර අය මේ ගිවිසුම රහසිගත එකක් නොවන බව කීවා. නීතිපතිවරයා අනුමැතිය දී තිබෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ කියන ආණ්ඩු පක්ෂයේ මැති, ඇමැතිවරුන් අපි දැක්කා. ඒ නිසාම මේ ගිවිසුමේ කරුණු ගැන පුළුල් ලෙස අපිට සාකච්ඡා කරන්න වෙනවා නේ ද?

අනිවාර්යයෙන්ම ඔව්.
කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු දැන හෝ නොදැන අත උස්සලා තියෙන්නේ ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ගිවිසුමක් අත්සන් කරන්න. නමුත්, දැන් අත්සන් කරලා තිබෙන ගිවිසුම තියෙන්නේ NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් කියන සමාගමත් එක්ක. මෙතැනම බරපතළ වංචාවක් තියෙනවා. ගිවිසුමේ අන්තර්ගතයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණු තියෙනවා ද කියන ප්‍රශ්නය මූලිකයි. ගිවිසුමේ 35වැනි පිටුවට අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කරන්නේ සුජිත් රුචිර ආටිගල කියන කෙනා. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල. ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයකු බව කියන කලින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස්. ඔහු දැන් විදුලිබල මණ්ඩලයේ සභාපති හැටියට මාධ්‍යවලට එන බව ඔබත් දන්නව නේ. නමුත්, ඔහු ගිවිසුම අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට.
මෙතන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ වගේම ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් කියන පුද්ගලයා NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් කියන සමාගමේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කර තියෙනවා. එයාගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නෙත්, ඒ කියන්නේ ඇමෙරිකානු කොම්පැනිය වෙනුවෙන් අත්සන් කරන්නෙත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවාමයි. ද්විපාර්ශ්වික ගිවිසුමක මෙහෙම වෙන්න පුළුවන් ද? දෙවැනි සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. එයාගේ තනතුර ව්‍යාපෘති සම්බන්ධීකාරක. එයා කලින් වැඩ කරලා තියෙන්නේ සංචාරක මණ්ඩලයේ ව්‍යාපෘතිවල. හැබැයි බලශක්ති ව්‍යාපෘතිවල සිටි බව මාධ්‍යවේදියෙක් විදිහට ඔබ කවදාවත් අහලා තියෙනව ද? අපි නම් දන්නේ නැහැ.

අපි දැන් මේක කිව්වට පස්සේ බැක් ඩේට් දාලා එයාට පත්වීම් ලියුමක් හදලා දෙන්නත් බැරි නැහැ. මේ ගිවිසුම ගැහැව්වේ මහා රෑ 12.06ට. ඒකත් හෙළිදරවු කළේ අපි. ඒ මහ රෑ නිමල්කා මොරහෙල අත්සන් කරලා තියෙන්නෙත් ඇමෙරිකානු සමාගම වෙනුවෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සාක්ෂිකරුවෝ දෙන්නෙක් අත්සන් කර තියෙන්නේ ඇමෙරිකානු සමාගම වෙනුවෙන්. කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට මේ ගිවිසුම හෙළි නොකළේ ඇයි කියලා අපිට හිතාගන්න දැන්වත් බැරි ද?

කවුද මේ ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් කියන්නේ ?

හොඳ ප්‍රශ්නයක්. දැනගන්න තියෙන විදිහට ප්‍රධාන මූල්‍ය නිලධාරියා හැටියට NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් සමාගමේ ඇමෙරිකානු ඇටර්නි බලපත්‍රලාභියා තමයි, ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට්. ඒ කියන්නේ මේ තරම් බරපතළ ගිවිසුමක් වෙනුවෙන් අදාළ ඇමෙරිකානු සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියාවත් අඩුම තරමින් ලංකාවට එන්නේ නැහැ. අපිව රටක් විදිහට ඒ තරම් පහළට දාලයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ.

විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් වගේම දැන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ද වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩස් දැන් මුදල් අමාත්‍යාංශයේ උපදේශක කෙනෙක් කියලා මේ ගිවිසුමට අත්සන් කරනවා. මේ වගේ ගිවිසුම් අත්සන් කරන්න එයාට බලයක් දුන්නේ කවුද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා.

මේ ගිවිසුම ආයෝජනයක් කියලා ආණ්ඩුවේ පාර්ශ්වය කියනවා නේ ද?

අපි ආයෝජනයක් කියන්නේ අපි සතු දේපළක් අනෙකකුට පවරලා දෙන එක ද? ඒකට නම් ආයෝජනය කියන්නේ, එහෙම නම් ඔය කියන දෙතුන්දෙනා හරි.
ස්වාභාවික වායු බලාගාර හඳුන්වා දුන්න මුල්ම යෝජනාව 2019 ඉදිරිපත් කළ බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව කටයුතු කරන්න 2020 ජනවාරි මාසයේ ආයෝජන මණ්ඩලයට එම යෝජනාව යොමු කරන ලද බව සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය සිදු කළ කටයුතු මහජනතාව දැන්වත් දැනගන්න ඕනෑ.
ඒ කාලේ වෙන කොට මහින්ද අමරවීර තමයි, විදුලිබල ඇමැතිවරයා. දැන් මේ අය කියනවා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ගැන නිර්දේශ ලබා දී තිබෙන්නේ ඒ කාලේ බව. ඒ කාලේ මේ සමාගම සුදුසු බව නිර්දේශ කර තිබෙනවාලු. නමුත්, මහින්ද අමරවීර ඇමැතිවරයා ඉදිරිපත් කළ සන්දේශයට අනුව තියෙන්නේ වෙන කතාවක්. තරගකාරීව ටෙන්ඩර් කැඳවන ලෙසයි ඒ කැබිනට් සන්දේශයෙන් යෝජනා කරල තියෙන්නේ. හැබැයි ඒ වෙන කොට ඇමැති බැසිල් මුදල් ඇමැතිත් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීත් නෙමෙයි.

2020 ඔක්තෝබර් 20වැනිදා ඩලස් අලහප්පෙරුම විදුලිබල ඇමතිවරයා ඊට පෙර සිටි මහින්ද අමරවීර ඇමතිවරයාගේ යෝජනාව ඉදිරිපත් කළ බව බැසිල් රාජපක්ෂ පහුගිය 13වැනිදා කැබිනට් මණ්ඩලයට කියා තියෙනවා. ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා කියන්නෙත් තරගකාරීව ලංසු කැඳවන්න කියලයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ දැන් කියන කතාව ගැන ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා කියන්නේ මොකක් ද? මහින්ද අමරවීර ඇමැතිවරයා දැන් කියන්නේ මොකක් ද?

මේ ඇමැතිවරුන් දෙන්නම ඉවත් කරලා දැන් ගාමිණී ලොකුගේ විදුලිබල ඇමැතිවරයා කරගෙන තියෙනවා. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ඉවත් කරලා මේ ගිවිසුමේ සාක්ෂිකරුවකු වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩස් මහත්තයා එතැනට පත් කර තිබෙනවා.

ඔබ අදහස් කරන්නේ ඒ සියල්ල කළේ මේ ගිවිසුම අත්සන් කරන්න කියල ද?

මම මේ කිව්ව ක්‍රියාවලියෙන් පස්සේ තමයි, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුව තිබෙන යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් සම්බන්ධයෙන් ගිවිසුමකට යන්නේ.

යුගදනවි සමාගමේ කොටස්වලින් 27%ක් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වග කියනවා. ලක්දනවි ලිමිටඩ් සමාගමට 5%ක් වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට 50%ක කොටස් අයිති වෙනවා. කැබිනට් මණ්ඩලයෙන් ගිවිසුම අනුමත කළා නම්, නිව් පෝට්‍රස් සමාගමට පවරන්න හැකි වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ තිබෙන 50%ක කොටස් විතරයි. නමුත්, මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 100%ක් වූ මුළු කොටස්වලින් 40%ක් NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් LLC සමාගමට විකුණන්න. ගිවිසුමේ සඳහන් ආකාරයට ලෙකෝ සමාගමේ කොටස් වගේම අර්ථසාධක අරමුදලේ කොටස් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ කොටස් කියන ආකාර තුනම විකුණලා තිබෙනවා. නමුත්, හරියටම තේරුම් ගත යුත්තේ කැබිනට් මණ්ඩලය පවා අනුමත කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබෙන 50%ක කොටස්වලින් 40%ක් විකුණන්න විතරයි.

හැබැයි දැන් ලෙකෝ, අර්ථසාධක අරමුදල, ලක්දනවි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන පාර්ශ්වකරුවන් හතර දෙනාටම අයිති කොටස්වලින් 40%ක් විකුණලා තිබෙනවා. මේ නිසා EPF එකට අයිති කොටස් විකුණන්න මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවසර දීලා තියෙනවා ද? හොඳින් හොයා බලන්න ඇමුණුම්වල එවැනි අනුමැතියක් නැහැ.

සේවක අර්ථසාධක අරමුදල (EPF) හි කොටස් මේ විදිහට NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් LLC සමාගමට දෙන්න අවසරය ලැබුණේ කොහෙන් ද?

එහෙම කරන්න අවසර දුන්නේ කවුද කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා රටට හෙළි කරන්න ඕනේ. කැබිනට් මණ්ඩලය කවදාවත් එහෙම අවසරයක් දීලා නැහැ.
අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු සහතික කළ ගිවිසුමේ පිටපත් අරගෙන බලන්න. ඒකේ 39වන පිටුවට අනුව NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන අලුත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට 07 දෙනෙක් පත් කරන්න ඕනෑ. ඒ හත් දෙනාගෙන් හතර දෙනෙක් පත් කිරීමේ බලය ඇමෙරිකානු සමාගම ඉල්ලනවා. ඒ අවසරය දෙන්න ලංකාව පැත්තෙන් අත්සන් කරපු එස්. ඒ. ආටිගල මහත්තයා එකඟ වෙලා තියෙනවා. එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය පත් කරන්නේ ඇමෙරිකාව පැත්තෙන්. මේ අධ්‍යක්ෂ මණ්ඩලයට හැකියාව ලැබෙනවා සේවක අර්ථසාධක අරමුදලට පවා බලපෑම් කරන්න. අත්සන් කර තිබෙන ගිවිසුමේ ගෑස් සැපයීම සම්බන්ධයෙන් කතා කරන්න ඉස්සර ගිවිසුමේ පළමුවැනි අදියරේ දී ම මේ තරම් වංචාකාරී විදිහට ක්‍රියා කර තිබෙන බව අපි තේරුම් ගන්න ඕනේ.

ආණ්ඩුවේ පාර්ශ්ව කියන ආකාරයට මේ ගිවිසුමට නීතිපති අනුමැතිය දීලා තියෙනවා ?

ආණ්ඩුවේ හැමෝම නෙමෙයි, ‘ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කියන විදිහට’ කියලා ඔබේ ප්‍රශ්නය සංශෝධනය කරගන්න මම කැමැතියි. මොක ද? සමහරු මේ ගිවිසුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ගිවිසුම අතට හම්බ වුණත්, කියවලා තේරුම් ගන්න ඒ අයට බැහැ. ඒ අයත් ඔහේ මොන මොනවා හරි කියනවා. තවත් අය අනතුර දැකලත් තමන්ගේ වරප්‍රසාද කපාහරියි කියන බයට මොනවා හරි කියවනවා. හැබැයි නිහඬව ඉන්න බොහෝ දෙනෙක් මේ අනතුර දකිනවා. ඒ අය අපි කරන මේ වැඩේ ගැන ස්තුතියි කියලා කියනවා.
ඔබ අහපු විදිහට නීතිපතිවරයා අවශ්‍ය අනුමැතිය ගිවිසුමට ලබා දුන් බව 13වැනිදා ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ කැබිනට් සන්දේශයෙන් හෙළි කර තිබෙනවා තමයි. එහි සඳහන් වෙන්නේ ‘නිව් ෆෝට්‍රස් සමාගමට’ කොටස් විකිණීම සම්බන්ධයෙන්.
නමුත්, දැන් වෙලා තියෙන්නේ NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් කියලා අටවා ගත් සමාගමක් එක්ක ගිවිසුමක්. නීතිපතිගේ අනුමැතිය මේ සමාගමට ලැබුණේ කොහොම ද කියලා ඔය කියන අයටම පුළුවන් නම් පැහැදිලි කරන්න කියන්න.

ඔබ විසින් සභාගත කරනු ලැබූ ගිවිසුමට අනුව එහි 04වැනි පිටුවේ අනුබද්ධ සමාගම් ගැන සඳහන් වෙනවා. මේ අනුබද්ධ සමාගම් කියන්නේ කවුද?

මේ කියන අනුබද්ධ සමාගම් කියන අයට 50%ක් ලබා දී ඇති බව සඳහන් වෙනවා තමයි. 40%ක කොටස් ලබා ගන්න ගිවිසුම අත්සන් කළා නම්, මෙතැන 50%ක් ගැන සඳහන් වෙන්නේ කොහොම ද කියලා හිතන්න. අපිට පැහැදිලි වෙන්නේ තවත් කොටස් ලබාගන්න අපේක්ෂාවෙන් තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කියන එක. සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ලබාගන්න එක ඔවුන්ගේ මූලිකම ඉලක්කයක් බව අපිට පැහැදිලියි. මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හංගලා අත්සන් කළේ ඇයි කියන එකට උත්තරේ තියෙන්නෙත් එතැන.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157වැනි වගන්තියේ සඳහන් වෙන්නේ අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුතීන් අත්සන් කිරීමට අදාළවයි. එයින් කියැවෙන්නේ මොකක් ද? “ශ්‍රී ලංකා රජයේ නීතිය යටතේ සංස්ථාගත කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම හා ආරක්ෂා කිරීම සඳහා ඇති කර ගත් ගිවිසුමක් හෝ සම්මුතියක් ජාතික ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය වන්නක් බව මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගෙන් තුනෙන් දෙකකට වැඩිය ඡන්දය දී සම්මත කර ගත්” කියලයි. හැබැයි මේ ගිවිසුම සම්බන්ධයෙන් එහෙම සම්මත කරගෙන නැහැ. තුනෙන් දෙකේ ඡන්දයෙන් අනුමත කර ගන්න ඕනෑ ගිවිසුමකට ඊට පිටින් ක්‍රියා කිරීමෙන් ලංකාවේ නීතිය අනුව ක්‍රියාත්මක කරන්න බැහැ.

නමුත්, මේ ගිවිසුම ජාත්‍යන්තරව පිළිගත් නීති අනුගමනය කරන්න බැඳී සිටිනවා?

ඔව්, හරි. ඔබ කියනදේ ඇත්ත. ගිවිසුමට අනුව ඒ සඳහා එංගලන්ත නීතිය, බේරුම්කරණයකට අවශ්‍ය තත්ත්වයකදී සිංගප්පූරුව, එක්සත් ජාතීන්ගේ වෙළෙඳ කොමිසමේ කොන්දේසි වගේ දේවල් අදාළයි. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරගෙන නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න කාට ද පුළුවන්? අපි කියන්නේ, හොර ගිවිසුමක් පිටුපස තියෙන හොර හිත නිසයි එහෙම කරලා තියෙන්නේ කියන එක.

ඒ කියන්නේ මේ කියන ඇමෙරිකානු සමාගම ඒ අයගේ පැත්තෙන් වැඩේ හරියටම කරගෙන කියන එක නේ ද?
එහෙම නැත්නම් වෙන මොකක් ද? වෙන විදිහකට ගත්තත් මෙහේ ආණ්ඩුවේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේ සමාගම නිදහස් කරලා.
මේ කියන NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් සමාගම ලියාපදිංචි කර තිබෙන්නේ ඇමෙරිකාවේ ඩෙලවර් නගරයේ. සමාගමේ වාර්ෂික බදු මුදල හැටියට සඳහන් කරලා තියෙන්නේ ඩොලර් 300යි. ඩොලර් 300ක සොච්චම් බද්දක් ගෙවන සමාගමකට තමයි, අපේ රටේ බලශක්තිය ගැන තීරණ ගැනීමේ ඒකාධිකාරිය පවරා දෙන්නේ. අඩුම තරමින් මේ ගිවිසුමට අත්සන් කළ අය, සාක්ෂිවලට අත්සන් කළ අය මුදල් ඇමැතිවරයාත් එක්ක එකපෙළට හිටගෙන මේ සමාගමේ ඇමෙරිකානු අධ්‍යක්ෂ මණ්ඩලය කවුද කියලා මේ රටට හෙළි කරන්න ඕනෑ.

දැන් මොකක් ද මේ සම්බන්ධව ඔබේ ඊළඟ පියවර ?

අපි ලංකාවේ බලශක්ති ක්‍ෂේත්‍රයේ බරපතළම කුමන්ත්‍රණකාරී රහස් ගිවිසුම විවෘත, මහජන ගිවිසුමක් විදිහට අනාවරණය කළා. එක පැත්තකින් අපි මේ සම්බන්ධව විශාලම වැඩ කොටස දැනට කරලා හමාරයි.
ඒ ගැන මේ ගිවිසුම අපේ අතට අපිව විශ්වාස කරලා ගෙනැවිත් දුන්න අයට මේ රටේ මහජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.
ඇත්තටම දැන් තියෙන්නේ ඔබේ වැඩේ. ඔබේ පියවර. මාධ්‍යවේදීන් විදිහට දැන් මේ ගැන විවෘත සංවාදයක් ඇති කරන්න ඔබට පුළුවන්. මේ ගැන සරලව තේරෙන භාෂාවෙන් මේ රටේ මහජනතාවට මේ විනාශය ගැන කියන්න. විදේශ ආයෝජන කියන මේ සුන්දර වචනය පිටුපස තියෙන බියකරු විනාශය රටට පෙන්වා දෙන්න. ආයෝජන කියන්නේ එකක් බවත්, හොරකම සහ විකුණා දැමීම කියන්නේ තවත් එකක් බවත් පැහැදිලි කරන්න.
අපේ පැත්තෙන් අපි මේ ගිවිසුම පරාජය කරන්න ඕනෑ කරන හැම ක්‍රියාමාර්ගයම ගන්නවා. අධිකරණය, පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි සෙසු සියලු මාර්ග ඒ සඳහා යොදා ගන්නවා. අපි දන්නවා මේ රටට ආදරේ කරන පූජක පක්ෂය, බහුජන නියෝජිතයන්, වෘත්තීය අංශ, මාධ්‍යවේදීන් උගතුන්, බුද්ධිමතුන් වගේම සාමාන්‍ය මහජනතාවත් අවදියෙන් ඉන්නවා කියලා. අපි ගැන ඒ අයත්, ඒ අය ගැන අපිත් විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ බලයත් එක්ක අපිට මොනවද කරන්න බැරි? ඒ නිසා අපි එකතු වෙලා කළ හැකි හැම දෙයක්ම කරමු. මේ විනාශය පරාජය කරමු.

සාකච්ඡා සටහන – සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

eighteen + eleven =