වාහන තුළින් ජීවිතය කියවන, ජීවිතය තුළින් වාහන කියවන ” ජීවිතයේ ඔයිල් පැල්ලම්”

යම් විෂයයක් කෙරෙහි කවර හේතුවක් නිසා හෝ හටගන්නා වෙනස් ආකාරයේ පිස්සුවක් නැත්නම් උමතු ප්‍රේමයක් නිසා හැම මිනිසෙකු තුළම එම විෂයය ට අදාළව අත්දැකීම් හා දැනුම් සම්භාරයක් එකතු වේ. එම අත්දැකීම් හා දැනුම තම පෞද්ගලික අරමුණු , පොදු අරමුණු(සේවාවන්) , හෝ දියුණු ව්‍යාපාරික අරමුණු සඳහා යොදාගන්නා මිනිසුන් එදිනෙදා ජිවිතයේ දී කොතෙකුත් අපට මුණගැසෙයි. එහෙත් අදාළ විෂයය පිළිබඳව වන තමාගේ උමතු ප්‍රේමය හෙවත් වෙනස් ආකාර වූ පිස්සුව ඇසුරුකොටගෙන නිර්මාණ සාහිත්‍ය කෘතියක් නිමැවීමට සිතනුයේ එහෙමත් කෙනෙකි! ඉතින් තරිඳු ශ්‍රී ලොකුගමගේ( Tharindu Sri Lokugamage ) යනු “අන්න එහෙමත්” කෙනෙක් වූ නවකතාකරුවෙකි! තම දෙවැනි නවකතාව වන ” ජීවිතයේ ඔයිල් පැල්ලම්” හරහා ඔහු තුළ ඇති වාහන පිස්සුව අපට එන්නත් කරන්නේ රසවත් කතාවක් තමාටම අනන්‍ය වූ බස්වහරකින් නිමවමිනි.

“එංගලන්තයේ වාහන ටිකක් යටට පාගන විට එන්ජිමෙන් එන අපූරු හඬක් තිබේ. මට එය හැමදාම මතක් කරන්නේ කපුගේ බිම්බරක් සෙනග සින්දුව කියන්නට ගන්න විට බිම්බරක් කෑල්ලේදී කපුගේ ගේ ගැඹුරු හඬ කට ඇතුළේ දෝංකාර දී නැගෙන හඬයි. මට මෙය මොරිස් මයිනර් සහ ඔස්ටින් කේම්බ්‍රිජ් වැනි වාහන වලදී සන්ෆ්ලවර්කරණය වෙන්නට කලින් හිටි කපුගේ සහ කෝටිනා මාක් ත්‍රී සහ එස්කෝට් වැනි වාහන වල සන්ෆ්ලවර්කරණය වූ කපුගේ ලෙස දැනී තිබේ. මෙය වතාවක් ෂොට් එකක් දා ඉන්නා වෙලාවක මම රෝෂිනීට කීවෙමි.

” විකාර කියවන්නේ නැතුව හෙටවත් පොඩ්ඩක් ගම්පහ ටවුමට ගිහිං බලන්න පුතාගේ ගණිතය වැඩ පොත ඇවිල්ලද කියල.පුතාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඒක ලියල තියෙන්නේ. සැරින් සැරේ අහලා බණිනවලු”
(“ජීවිතයේ ඔයිල් පැල්ලම්” – 25 පිටුව)

රථවාහන ක්ෂේත්‍රයට අදාළ විකිණීම්, මිළ දී ගැනීම්, බ්‍රෝකර් භූමිකාවක ගති සොබාවන් , පාතාල, මැර දේශපාලන ඩීල් සහ ගේම් මෙන්ම , පවුල් ජීවිතය , “සම්මත” සහ “අනියම්” ස්ත්‍රී පුරුෂ සබඳතා ආදියද අදාළ නාටකීය ජීවිත සිදුවීම් තුළින් පෙරාගත් භාෂාවකින් රසවත් ලෙස නිමහම් කරන්නට කතුවරයා දක්වන්නේ අත්දැකීම්වලින් ම පන්නරය ලැබූ දක්ෂ “වාහන බාස්” කෙනෙකු පරිද්දෙනි!.

“ඒ වචන සෙට් එක කටින් පිටවී ඉවර වීගෙන එද්දීම සමදරා බඹර චක්කරයක් මෙන් චූස් ගාගෙන හැරී ගෙට දිවූ අතර, මගේ පපු කැවුතු ෆ්‍රිජ් එකේ දැමූ සොසේජස් පැකට් එකක් මෙන් අයිස් වී ගියේය. පොඩි කෙල්ල කවුද, වින කරපු එකා කවුද සහ හොල්මන් කාර් ඇතුළේ ඉන්නවාද වැනි දාහක් ප්‍රශ්න මගේ ඔළුවේ ගොඩගැහී, ඔළුව සතිපොළේ ලොතරැයි ප්‍රමෝෂන් එකක් ගාණට ගාලගෝට්ටිගත වී ගියේ ය.
(224 පිටුව)
තරිඳු විවර කර ඇත්තේ සිංහල නවකතාවට තවත් ( රථවාහන?) ශානරයක් ද?
– පියන්කාරගේ බන්දුල ජයවීර
(2021/12/17)

Leave A Reply

Your email address will not be published.

nine − 4 =