ගෑස් පුපුරාවිද? නැද්ද? තවමත් සහතිකයක් නෑ

30

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිත උපාංග සහ ගෑස් උඳුන් පුපුරා යෑම් බහුල ලෙස වාර්තා වන්නට පටන් ගත්තේ නොවැම්බර් මාසයේ සිට ය. මුලින් දෙක තුනකින් වාර්තා වූ එය සියය පන්නා වාර්තා වීමට පටන් ගැනීමත් සමඟ සමස්ත රටවැසියාම නිවසේ සිදු වන මේ අරුමය ගැන විමසිලිමත් වන්නට පටන් ගත්තෝය. ගෘහණියන් මුළුතැන්ගෙට යෑමට බිය වූයේ, ජීවිත ආශාව නිසාවෙනි.
ගෑස් උදුනක් පුපුරා යෑම හේතුවෙන් තුවාල ලබා සිටි සිවුදරු මවක් ඉකුත් දා මිය ගියා ය. මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ කුලී නිවසක සිය සැමියා හා දරුවන් සමඟ ඇය පදිංචිව සිටියේ දරුවන් මහනුවර නගරයේ පාසල් අධ්‍යපනය ලබන බැවිනි. ඇය මුළුතැන්ගෙට ගොස් ගෑස් උදුන දල්වන අවස්ථාවේ එය පුපුරා යෑමෙන් බරපතළ තුවාළ ලබා මහනුවර රෝහල වෙත ඇතුළත් කර තිබිණි.
දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඉකුත් දා මිය ගියා ය. ඇය මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක වූ අතර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහනුවරට පැමිණ කුලී නිවසක පදිංචිව සිටියා ය.
ගෑස් පිපුරුම්වලින් මෙලෙස විශාල පිරිසක් තුවාල ලැබූ අතර, දේපළ රැසකට අලාභහානි වී තිබේ. රැල්ලක් සේ ගෑස් පිපුරුම් වාර්තා වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කරන ලද්දේ ය.
පාර්ලිමේන්තු කමිටුවේ පරීක්ෂණය
පාරිභෝගික රාජ්‍ය අමාත්‍යාංශය ද මේ ගැන විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් මඟින් පරීක්ෂණයක් කොට එහි වාර්තාවක් ද එළිදැක්වූයේ ය. ගෑස් පිපුරුම්වලින් බහුතරයක් වාර්තා වන්නට වූයේ, ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවලිනි. ලිට්‍රෝ ගෑස් භාවිත කරද්දී, සිලින්ඩරය තිබියදී, අනෙක් උපාංග පුපුරා යන්නේ මන්දැයි සොයා ගැනීම සඳහා පරීක්ෂණ රැසක් පැවැත්විණි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද මේ සම්බන්ධයෙන් පරීක්ෂාවක් කළ අතර, එහි දී අනාවරණය වූයේ, ගෑස් සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් මෙලෙස ගෑස් උපාංග පුපුරා යන බවකි. ගෑස් මූලික අවස්ථාවේ ද්‍රවයකි. එය වායුවක් බවට පත් කරනුයේ රසායනික සංයුතීන් දෙකක් වන ප්‍රොපේන් හා බියුටේන් එකතු කිරීමෙනි.
ආසියානු රටවල හා ඝර්මකලාපීය රටවල ප්‍රොපේන් හා බියුටේන් ප්‍රතිශතය ගත් කල ශීත රටවල ප්‍රතිශතයට වඩා වෙනස් ය. ලංකාව වැනි රටවල ගෑස්වල ප්‍රොපේන් 20% – 30% අතර ප්‍රතිශතයක පවතින අතර බියුටේන් ප්‍රතිශතය 65% – 70% අතර ප්‍රමාණයකින් යුක්ත විය යුතු ය. බියුටේන් මඟින් ද්‍රව තත්ත්වය වායුවක් බවට පත් කරන අතර ප්‍රොපේන් මඟින් එයට පීඩනයක් ලබා දී සිලින්ඩරයෙන් පිටතට ගෙන එනු ලබයි.
ලිට්‍රෝ ගෑස් සමාගම මෙම ප්‍රතිශතය වෙනස් කොට එය ප්‍රොපේන් හා බියුටේන් ප්‍රතිශතය 50% – 50% මට්ටමට ගෙනැවිත් තිබෙන බව පරීක්ෂණවල දී හෙළිදරවු විය. ප්‍රොපේන් ප්‍රතිශතය 30% සිට 50% දක්වා ඉහළ දැමීම හේතුවෙන් සිලින්ඩරය තුළ පීඩනය වැඩි වීමෙන් එය පිටතට පැමිණෙන උපාංග පුපුරා යෑමට පටන් ගත්තේ ය.
සිලින්ඩරයේ වෑල්වයේ සිට ගෑස් උඳුන දක්වා යන බටය ආදී උපාංග සියල්ලටම නිසි ප්‍රමිතියක් නැත. ප්‍රමිතියක් ඇත්තේ ගෑස් සිලින්ඩරයට පමණකි. මේ නිසා පීඩනය වැඩි කිරීමෙන් ප්‍රමිතියෙන් තොර ගෑස් උපාංග පුපුරා යෑමට පටන් ගත්තේ ය. සමහර පුද්ගලයන්ගේ නිවාස පවා මෙම පිපිරීම් හේතුවෙන් විනාශ වී ගියේ ය.
ප්‍රමිතිය ගැන පරීක්ෂාවක් නෑ
 
පසුව හෙළි වූ කරුණක් වූයේ, මෙරටට ගෙන්වන ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් සිදු නොකරන බව ය. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න කියා සිටියේ, වරායට ගෙන එන සෑම ගෑස් තොගයකම ප්‍රමිතිය පරීක්ෂා කිරීමට තීන්දු කළ බවය. එසේම තවත් වැදගත් කාරණයක් එම පරික්ෂණයේ දී හෙළිදරවු වූයේ ය. එනම්, කාලයක සිට ගෑස්වල තිබිය යුතු නියමිත ගන්ධය නොතිබී ඇති බව ය.
ගෑස් යනු කිසිදු ගන්ධයක් නොමැති ද්‍රවයක් බැවින්, එය වාතයේ රැඳී තිබුණහොත්, අනතුරුදායක වන නිසා ඊට රසායනික ගන්ධයක් එකතු කිරීමට විශේෂඥයන් විසින් තීරණය කර තිබිණි. එම නිසා ගෑස්වල ගන්ධයක් තිබිය යුතු බවට ප්‍රමිතියක් ඇතුළත් වූයේ, ගෑස් නිෂ්පාදනය ආරම්භ වූ මුල් කාලයේ සිට ය. නිවසක වුව ද, යම් ගෑස් කාන්දුවක් වන්නේ නම්, එය නිවැසියන් දැනගනු ලබන්නේ මෙම දුර්ගන්ධයෙනි. එහි දී ගෑස් කාන්දුවක් වන බව දැනගැනීම නිසා ආරක්ෂා වීමට පියවර ගත හැකි වන්නේය.
දුර්ගන්ධයක් නොමැති අවස්ථාවක ගෑස් කාන්දුවක් සිදුව තිබුණහොත්, ළිප ගිනි දැල්වීමේ දී දල්වන්නාගේ සිරුරට ගිනි ඇවිළී අනර්ථයක් වීමේ අවදානම ඉහළ ය. ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම්වලට ප්‍රමුඛ හේතුවක් වී ඇත්තේ, දුර්ගන්ධයක් නොමැති වීම නිසා ගෑස් කාන්දුවක් පවතින බවට හඳුනා ගැනීමට නොහැකි වීම නිසා බවට ද විශේෂඥයෝ කරුණු දක්වති.
ප්‍රමිතියෙන් තොර ගෑස් නැව
මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් තොගයක් සහිත නැවක් ඉකුත් 14දා කොළඹ වරායට පැමිණි අතර, එහි සාම්පල ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හා ප්‍රමිති ආයතනය වෙත යොමු කරනු ලැබුවේ පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත් වීමෙනි.
ආනයනය කළ ගෑස් නිසි ප්‍රමිතියෙන් තොර බව ප්‍රමිති ආයතනය දැනුම් දුන්නේ ය. එනම්, ගෑස් කාන්දුවක දී විශේෂ ගන්ධයක් ඇති කිරීම වෙනුවෙන් එක් කරන එතිල් මර්කැප්ටන් නම් රසායනිකයේ අඩංගුව පහළ මට්ටමක පැවැතීම නිසා එය ප්‍රමිතියෙන් තොර බවට ප්‍රමිති ආයතනය විසින් නිර්දේශ කර තිබිණි. එම නිසා ගෑස් ගොඩබෑම අත්හිටුවීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත්තේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද මෙම ගෑස් තොගයේ සංයුතිය පරීක්ෂා කර තිබූ අතර, එහි නියමිත සංයුතිය පවතින බවට වාර්තා කර තිබිණි. එනම්, එහි ප්‍රොපේන් 29% ක් හා බියුටේන් 69%ක් පවතින බව තෙල් සංස්ථාවේ පරීක්ෂණයෙන් තහවුරු විය. එහෙත්, ගන්ධයේ ප්‍රමිතිය පහළ මට්ටමක පැවැතීම නිසා මෙම ගෑස් තොගය හරවා යවන බව පාරිභෝගික රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
 
ගෑස් ගැටලුව නිසා මේ වන විට නිවෙස්වල එදිනෙදා කටයුතු අඩාළව පවතී. සමහර නිවෙස්වල ගෑස් සිලින්ඩර නිවෙස්වලින් පිටත තබා ගෑස් ලබා ගන්නා අතර තවත් පිරිස් ගෑස් ළිප් අතහැර භූමිතෙල් උදුන් වෙත මාරු වී ඇත.
වන්දි ලබාගත හැකියි
ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා ප්‍රකාශ කළේ ගෑස් නිෂ්පාදකයන් මහජනතාවට කරදරකාරී ස්වරූපයෙන් ක්‍රියාත්මක වී ඇත්නම් මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව සමාගම්වලට එරෙහිව නඩු පැවරිය හැකි බව ය. එලෙස නඩු පවරා රුපියල් කෝටියක් දක්වා වන්දි ලබා ගැනීමේ හැකියාව පවතින බව ද ජනාධිපති නීතිඥවරයා කීවේය.
මේ අතර ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව සකස් කර අවසන් බවත් ඉක්මනින්ම එය ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බවත් මහාචාර්ය ශාන්ත වල්පොල කීවේය. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ද රක්ෂණය කර ඇති අතර, ගෑස් පිපිරීම්වලින් තුවාළ ලබන අයට හා අලාභහානිවලට රුපියල් ලක්ෂ 10ක් දක්වා වන්දියක් ගෙවන බවට ද ඔවුහු ප්‍රකාශ කරති.
කෙසේ නමුත්, මේ වන විට වෙළෙඳපොළ තුළ තිබෙන ගෑස් සහිත සිලින්ඩර නැවත ගෑස් සමාගම් වෙත ගෙන්වා ගන්නා ලෙස සමාගම් වෙත උපදෙස් ලබා දුන්න ද, එය ක්‍රියාත්මක වී නැති බව අලෙවි නියෝජිතයෝ පවසති. මීට අදාළ නඩුව අභියාචනාධිකරණය හමුවේ මේ වන විට විභාග වෙමින් පවතී. ගෑස් සංයුතිය සම්බන්ධයෙන් වාර්තාවක් ද අධිකරණය ලිට්‍රෝ සමාගමෙන් කැඳවා ඇත.
කෙසේ නමුත් බියකින්, සැකයකින් තොරව මුළුතැන්ගෙට ගොස් ගෑස් උදුන දැල්විය හැකි බවට සහතිකයක් තවමත් ආණ්ඩුව හෝ ගෑස් සමාගම් හෝ පාරිභෝගිකයාට ලබාදී නැත. ඔවුන් තවමත් උපදෙස් දෙනුයේ, සබන් පෙණ තවරා ගෑස් ටැංකියේ කාන්දුවක් ඇති දැයි සොයා ගන්නා ලෙස පමණකි.
– ලසන්ත වීරකුලසුරිය

Previous articleපාර්ලිමේන්තුව හදිසියේ වාරාවසාන කළේ ඇයි?
Next article“ඔළුව නැතත් කඳ ෆයිට්‘ අජිත් නිවාඩ් කබ්රාල් – පී.බී.ජයසුන්දරගේ ආර්ථික විද්‍යාව උප්පරවැට්ටියට ජාත්‍යන්තරය රවට්ටන්න බෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here