පාර්ලිමේන්තුව හදිසියේ වාරාවසාන කළේ ඇයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් 12දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබුවේ ය. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියෙන් හිමිව ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට තීරණය කළ අතර පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනවාරි 18දා ඇරඹීමට ද නියම කළේය.

සැමටම තවමත් ගැටලුවක් වී ඇති පැනය වන්නේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමුවේ ඇයි ද යන්න ය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරයක් කල් තබනුයේ ජනධිපතිවරයාට රටේ ඇති යම් තත්ත්වයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා රටට පණිවුඩයක් දීමට අවශ්‍ය වූ විටක දී ය. නැතිනම්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලය අහිමි වීමට යන අවස්ථාවක දී ය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස වරක් පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුවේ, ඔහුට එරෙහිව දෝෂාභියෝගයකට අත්සන් තබමින් සිටි අවස්ථාවක දී ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුවේ යුද ජයග්‍රහණය ගැන රටට පණිවුඩයක් දීමට අවශ්‍ය වූ අවස්ථාවක දී ය. මෙලෙස එවැනි පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් නොමැති අවස්ථාවක මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් ජනතාව හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ කුහුලක් උද්ගතව තිබේ.

නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට මාස දෙකකට නොවැඩි කාලයක් වෙනුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබිය හැකි ය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ගැනීම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) විධිවිධාන අනුව ඊට ජනාධිපතිවරයාට බලය හිමි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(4) අනුව “යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊ ළඟ සභා වාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය” යනුවෙන් සඳහන් වේ.

අරමුණ කාරක සභා අක්‍රිය කිරීමද?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් කාරක සභාව ඇතුළු කාරක සභා සියල්ලෙහිම කටයුතු ස්වයංක්‍රීයවම අක්‍රිය වේ. නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව මඟින් යළිත් මෙම කාරක සභා සඳහා සභාපතිවරු ඇතුළු සාමාජිකයන් පත් කළ යුතු ය.

එහෙත්, කතානායක ධුරය අහෝසි නොවන අතර, උසස් නිලතල පිළිබද කාරක සභාව පමණක් අහෝසි වන්නේ නැත. එසේ නම් ජනාධිපතිවරයා සැසිවාරය කල් දැමූවේ මෙම කමිටු අහෝසි කිරීමට ද යන පැනය මතු වේ. මන්ද, මෙම කමිටු වෙනුවෙන් යළිත් ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මන්ත්‍රීවරුන් සාමාජිකයන් ලෙස පත් කළ යුතු වන නිසාවෙනි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඉදිරියේ ඉකුත් මාස කිහිපය තුළ ආන්දෝලනාත්මක කාරණා කිහිපයක් සාකච්ඡාවට ගැනුණේ ය. ඉන් එක් ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හෙවත් ඊධෂ ආයතනයය. මීට අමතරව ශ්‍රීලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ආයතන ගණනාවක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරුණේ ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වියදම් සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබිණි. එක් අවස්ථාවක එහි සභාපතිවරයා ප්‍රශ්නවලට පිළිතුරු නොදීම සම්බන්ධයෙන් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් ආයෝජන මණ්ඩල සභාපතිවරයාට දොස් පවරා තිබිණි. ඒ බව එහි සාමාජිකයෙක්ම කියා සිටියේ ය. පසුව සභාපතිවරයා ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිය නිලධාරීන් සමඟ කෝප් කමිටුවෙන් පිටව ගිය බවට ද තොරතුරු වාර්තා වූයේ ය.

BOI අධ්‍යක්ෂවරුන් ඉල්ලා අස් වීම

එම තොරතුරු හෙළිදරවු වූයේ, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉකුත් නොවැම්බර් මාසයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීමත් සමඟ ය. ඔවුන්ගේ ඉල්ලා අස්වීමට හේතුව කෝප් කමිටුවේ ගැටලුව බව සමාජ මාධ්‍යයේ පළ විය. පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ විසින් පවා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, කෝප් කමිටුවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනය කර තිබිණි.

මහාචාර්ය චරිත හේරත් යනු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එසේ තිබිය දී, ඔහු රජය අපහසුතාවට පත් වන ආකාරයෙන් කටයුතු කරන බවට ආණ්ඩුවට හිතවත් පිරිස් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ජනාධිපතිවරයා හමුවේ ද කරුණු දක්වා ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත්, ජනාධිපතිවරයා සංජය මොහොට්ටාල ඇතුළු කණ්ඩායම දුන් ඉල්ලා අස්වීමේ ලිපි ප්‍රතික්ෂේප කොට ඇත.

නමුත්, පසුව ආයෝජන මණ්ඩල සභාපති ලෙස රාජා එදිරිසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ය. කෙසේ නමුත්, ආයෝජන මණ්ඩලයේ වූ කෝටි ගණනක මුදල් නාස්තිය සම්බන්ධයෙන් වන විමර්ශන පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ අහෝසි වනු ඇත. ඒ අනුව නැවත මෙම පරීක්ෂණ මුල සිට ආරම්භ කළ යුතු වේ.

පරීක්ෂණ රැසක් යටපත් වීමේ අවදානමක

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ වියදම් හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කරගෙන ආ පරීක්ෂණ ද අවසන් වනු ඇත. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ සියලු පරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන වසරේ මුල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ය. රජයේ ගිණුම් කාරක සභාව මෙන්ම මුදල් කාරක සභාව ද රාජ්‍ය ආයතන ගැන මෙලෙස විමර්ශන ගණනාවක් පවත්වාගෙන ආවේ ය. රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස මහාචාර්ය තිස්ස විතාරණ කටයුතු කරන අතර, මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා කටයුතු කරන්නේ ය.

සීනි බදු වංචාව ගැන නිශ්චිත තොරතුරු හෙළිදරවු කරන ලද්දේ මුදල් කාරක සභාව මඟිනි. ඉන් රජයට රුපියල් බිලියන 15ක පාඩුවක් වී ඇති බව කමිටුව මඟින් හෙළිදරව් කර ගන්නා ලදි. එසේම මෙම වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කොට වාර්තාවක් දෙන ලෙසට ද මුදල් කාරක සභාව විසින් නියම කර තිබිණි. එය ද මෙම කල් තැබීමත් සමඟ අහෝසි වී යනු ඇත.

බැඳුම්කර වංචාවටත් වැඩි වංචාවක් වූ සීනි බදු වංචාව ද මෙලෙස යටපත් වී යනු ඇත. ජනාධිපතිවරයා සැසිවාරය කල් තැබීම මෙම කමිටු අහෝසි කිරීමේ අරමුණින් කළ දෙයක් නොවන බව තහවුරු වන්නට නම්, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූ පසු යළිත් මෙම සභාපතිවරුන්ම පත් කළ යුතු වන්නේ ය. එහෙත්, මෙම සභාපතිවරුන් යළිත් කෝප්, කෝපා හා මුදල් කාරක සභාවලට පත් වනු ඇතැයි සිතිය නොහැකිය.

ඩොලර් අර්බුදය

තවත් පැත්තකින් රට තුළ ඇති අර්බුදයක් වන්නේ ඩොලර් හිඟය හා ආර්ථික අර්බුදය ය. රට ගෙවිය යුතු තවත් විදේශ ණය මුදල් වාරිකයක් ගෙවීමට ඇත්තේ ද ජනවාරි 18දා ය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා රාජාසන කතාව කිරීමට ඇත්තේ ද එදිනට ය. එය හා මේ කතාව අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විදේශ ඇමති ජී. එල්. පීරිස්ගෙන් මාධ්‍ය විමසුවේ ය. ණය ගැනීම හා සැසිවාරය කල් තැබීම අතර සම්බන්ධයක් නැතැයි ඇමතිවරයා කියා සිටියේ ය.

එහෙත්, විපක්ෂ කණ්ඩායම් සඳහන් කරනුයේ, මෙය ඉතා තීරණාත්මක තත්ත්වයක් බව ය. ජනවාරි 18දා ගෙවන ණය වාරිකයත් සමඟ විදේශ සංචිත සෘණ අගයක් බවට පත් වන බව ද ඔවුහු පවසති. මන්ද, ඉන්ධන, ඖෂධ ඇතුළු ආනයන වෙනුවෙන් වැය කරන්නට ඩොලර් අහිමි වී යෑමය.

අවශ්‍ය නම් යළි කැඳවිය හැකිය

කෙසේ නමුත්, පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 18දා දක්වා කල් තැබීමට ජනාධිපතිවරයා තීරණය කිරීමට ප්‍රථම සභාවේ කටයුතු අය-වැයෙන් පසු කල් තබා තිබුණේ ජනවාරි 10දා දක්වා ය. එහෙත්, ජනාධිපතිවරයා 18දා දක්වා කල් තැබුව ද, ජනාධිපතිවරයාටම අවශ්‍ය නම් නැවත ගැසට් නිවේදනයක් මඟින් ඊට පෙර දිනක වුව ද සැසිවාරය ආරම්භ කළ හැකි ය.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ලිඛිත ඉල්ලීමක් පරිදි කතානායකවරයාට සුවිශේෂී අවස්ථාවක දී පාර්ලිමේන්තුව කැඳවිය හැකි ය. 2018දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිාවරය කල් තැබූ අවස්ථාවේ මන්ත්‍රීවරු බහුතරයක් යළි පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේ ය. ඒත් සමඟම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය.

1958 මැයි 27 දින අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල් තබා පසුව ඔහු නියම කළ දිනට පෙර නැවත පාර්ලිමේන්තුව කැඳවූයේ ය. ජනවාර්ගික කෝලහල නිසා හදිසි නීතිය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුවට දැනුම් දීම වෙනුවෙන් 1958 ජුනි 04දා පාර්ලිමේන්තුව නැවත රැස්විය.

පාර්ලිමේන්තුව වාර අවසාන කොට නව සැසිවාරය ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන්නේ ය. අතීතයේ දී මෙය හැඳින්වූයේ ‘රාජාසන කතාව’ ලෙසිනි. අග්‍රාණ්ඩුකාරවරයාගේ රාජාසන කතාව මේ වන විට ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති කතාව ලෙස වෙනස් වී තිබේ.

නව සැසිවාරය ආරම්භ වූ පසු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 114 යටතේ තේරිම් කාරක සභා සඳහා සාමාජික මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් පත් කර ගත යුතු ය. පත් වන සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත පරිදි සභාපතිවරුන් පත් කර ගත යුතු ය.

ඒ සියල්ල සිදුවනු ලබන්නේ ජනවාරි 18දායින් පසුව ය. කෙසේ නමුත්, මේ ගැන විමසීම වෙනුවෙන් අප කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් සහ මුදල් කාරක සභාවේ සභාපති අනුරප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, ඔවුන් දුරකථනයට සම්බන්ධ වූයේ නැත. චරිත හේරත් මන්ත්‍රීවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත කොට තිබිණි.

– ලසන්ත වීරකුලසුරිය 

Leave A Reply

Your email address will not be published.

19 − 12 =