වළපනේ කළුගල් වළෙන් යැපෙන නුවරඑළියේ ඝාතකයෝ !

13

අහිංසක වෙස් ගත් සී.බී.

“ඔය නාය ගිය තැන තියෙන ගල්වළ සම්බන්ධයෙන් මට චෝදනා කරන්නෙ ඇයි ? ඕකට මගෙ කිසි ම සම්බන්ධයක් නෑ.”

“ඇමැතිතුමා, ඇයි එහෙම නම් ඔහොම කතාවක් මතු වුණේ ?”

“ඔය මගෙ දේශපාලන විරුද්ධවාදීන් කියන කතාවක් නෙ. එච්චරයි. දේශපාලන විරුද්ධවාදිකම් කරන අයට හේතු ඕනෙ ද?”

“ඔය ගල්වළ කලින් කළේ ඔබතුමාගෙ මාමා, බිරිඳගෙ තාත්තා ?”

“ඔව්. මගේ මාමා මීට අවුරුදු හතකට කලින් නැති වුණා.”

“හරි. එතකොට මස්සිනාත් කළු ගල් ව්‍යාපාරයක් කරන්නෙ ?”

“ඔව්. එයාට ගල් ක්‍රෂර් එකක් තියෙනවා. ක්‍රෂර් එකක ගල් කඩන්නෙ නෑ නෙ.”

“හරියට හරි. ඒත් ක්‍රෂර් එකක ගල් කැබලි කරනවා, කුඩු කරනවා. ඒකට ගල් ඕනෙ ?”

“ඔව්. ඒ ගල් මස්සිනා වටෙන් හොයා ගන්නවා.”

“මේ නාය ගියපු තැන තියෙන ගල්වළත් මස්සිනා ගල් හොයා ගන්න තැනක් ?”

“ඒක මං දන්නෙ නෑ.”

“ඔබතුමාලගෙ පවුලේ ගල් ව්‍යාපාර පවත්වාගෙන යන්න මේ ගල්වළ අවශ්‍යයි. ඒක නිසා මෙච්චර විරෝධයක් එද්දිත් වහන්න දුන්නෙ නෑනෙ ?”

“කවුද එහෙම කියන්නෙ ?”

“කියන අයට වඩා වැදගත් කාරණය ?”

“අපිට වැඩක් නෑ, ඔය ගල්වළෙන්.”

“ඔච්චරටම වැඩක් නැති ගල්වළ වෙනුවෙන් වළපනේ ප්‍රාදේශීය සභාවට බලපෑම් කළේ ඇයි ?”

“මම බලපෑම් කළේ නෑ.”

“වැරැදියි. ඔබ බලපෑම් කළා. ඔබ ලිපි පවා නිකුත් කළා, ඒ වෙනුවෙන් ?”

“රජයේ ආයතන හතක් ඔය ගල්වළ පවත්වාගෙන යන්න නිර්දේශ කරලා තියෙනවා. මම කිව්වෙ සුදුසු නම් දෙන්න කියලා විතරයි.”

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සී. බී. රත්නායක ඇමැතිවරයා සහ ලියුම්කරු අතර පසුගිය 05 වැනිදා පෙරවරු 7.40ට පමණ, දින දෙකක් පුරා උත්සාහ කිරීමෙන් පසු, ඇමතිවරයාගේ ජංගම දුරකථන අංක 0777 384333 ඔස්සේ ඇති වූ සංවාදය එසේය.  

වළපනේ නාය යෑම

වළපනේ ප්‍රාදේශීය සභාවට අයත් නාරංතලාව, මළපට්ටාව ගල්වළ අසල සිදු වූ නාය යාමෙන් පුද්ගලයෝ හතර දෙනෙක් මිය ගියහ. තවමත් පදියපැලැල්ල, වළපනේ ප්‍රධාන මාර්ගය වසා ඇත. මාර්ගයට වැටී ඇති දැවැන්ත කළු ගල් සහ පස් කුට්ටි ඉවත් කිරීම භයානකය. ඊට හේතුව එක දිගට ම ඇදහැලෙන අධික වර්ෂාවයි.

නාය ගිය පස් කුට්ටි අතරින් විශාල වතුර පාරවල් මතු වී තිබේ. ඒ වතුර මුළුමනින් ම ගුරු පාටය. ඒ කියන්නේ, තවත් නාය යාමක් අතළඟය. විශාල නාය යාමෙන් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගියේ පසුගිය 30 දා රාත්‍රියේය. අප එහි ගිය, 04 දා පස්වරුව වන තුරුත් කිසිදු වගකිව යුතු බලධාරියකු එහි පැමිණ, කන්දේ අවදානම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර තිබුණේ නැත.

ආණ්ඩුකාරයාගේ වාචික පොරොන්දුව

04දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා එහි පැමිණෙන බව දන්වා තිබුණ ද, අන්තිමට ඔහු වළපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙහාට ආවේ නැත. එහි ගිය නියෝජිත පිරිසට ඔහු පවසා තිබුණේ ගල්වළ වසා දමන බවයි. ඒ වාචික පොරොන්දුවකි. වාචික පොරොන්දුවලට අප කොතෙක් කල් රැවටී ඇද්ද?

රන්බණ්ඩා මාමා

2018 දෙසැම්බර් 02 වැනිදා මේ නාය යෑමෙන් සම්පූර්ණයෙන් ම වැළලු‍ණු නිවසේ හිමිකරු වූ රංබණ්ඩා මාමා පුවත් පතකට පවසා තිබුණේ, අනතුරක් අතළඟ බවයි. ගල්වළේ බෝර දමන විට තම නිවස අවට ප්‍රදේශය දෙදරන බවත්, කන්දේ පස් කුට්ටි එහෙ-මෙහෙ වෙමින් පවතින බවත් ඔවුන්ට දැනී තිබිණි. ඒ බව වගකිව යුතු බලධාරීන්ට කියා තිබිණි. එහෙත් බලධාරීන් කිසිවකු ඔවුන් කී දේ බලන්නට ආවේ නැත. එම නිසා ඊට වසරකට පසු, 2019 දෙසැම්බර් 02 දා නාය යාමෙන් මිය ගිය ඔහු පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟම මිහිදන් කෙරිණි.

ස්වාභාවික විපත් සහ අපරාධ

ස්වාභාවික විපත් නිසා සිදු වන මරණ වළක්වා ගැනීමට ඇති ඉඩ අවමය. උදාහරණයක් ලෙස 2004 දෙසැම්බර් 26 දා ලංකාවට පැමිණි සුනාමි ව්‍යසනය දැක්විය හැකිය. එහෙත්, ඉන් පසුව වුව ද, සුනාමියක් ආවා නම් සිදු වන්නේ පෙර තත්ත්වයමය. ජීවිත විනාශය පමණක් තරමක් එහෙ-මෙහෙ විය හැකි ය. ඊට හේතුව සුනාමි ආපදා තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා රට පුරා වෙරළ ආශ්‍රිතව ස්ථාපිත කළ මාපක අතුරින් සියයට අසූවක් අක්‍රියව තිබීමය.

වළපනේ නාය යාම යනු ස්වාභාවික විපතක් නොවේ. එය අපරාධයකි. දේශපාලනඥයන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් දැනට ජීවිත හතරක් විනාශ කර තිබේ. එය අවසන් නැත. තවමත් කන්දේ කොටස් කඩාවැටෙමින් තිබේ. දර කපා විකිණීමෙන් කීයක් හෝ හොයා ගනිමින් ජීවත් වූ පවුලක් විනාශ වීම ඇමැති සී.බී.රත්නායකලාට අදාළ නැත. ඔවුන් තව දුරටත් බලන්නේ තමන්ගේ කුට්ටිය ස්ථාවර කර ගනිමින්, ගල්වළ පවත්වාගෙන යන ආකාරය ගැන ය. නවීන් දිසානායක එජාප මන්ත්‍රීවරයාගේ තත්ත්වය ද වෙනස් නැත. මේ සියලු‍ දේශපාලනඥයන් මෙන් ම ඔවුන්ගේ අන්තේවාසික භික්ෂුන් වහන්සේලා ද මේ ඝාතන ස්වාභාවික විපත් ලෙස හඳුන්වන්නට දැවැන්ත වෙහෙසක් දරති. කර්මය, වෙලාව යනාදී මිථ්‍යාවන් අස්සේ සැඟ වී අපරාධකරුවෝ ගැලවෙන්නට උත්සාහ දරමින් සිටිති.

ඇමැති සී.බී.ගේ උපාය

වළපනේ ප්‍රාදේශීය සභාව මේ ගල්වළට වෙළෙඳ බලපත්‍රය ලබා දුන් ආයතනයයි. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන නවයක් මේ ගල්වළ මෙහි පවත්වාගෙන යා හැකි බවට නිර්දේශ ඉදිරිපත් කර ඇත. සී. බී. රත්නායක ඇමැතිවරයා දැන් තමන්ගේ ගැලවිජ්ජාවට පාවිච්චි කරන්නේ මේ බලපත්‍රය. මිටි තැනින් වතුර බැස්ස වීමට දරන මේ ඇමැති උත්සාහය පරාජය කළ යුතුය.

ගමට නරකයි – වළට හොඳයි

ගල්වළ පිහිටි භූමියට ඉහළින් කන්දේ විරු ගම්මානය –  රණවිරු ගම පිහිටා ඇත. එහි පවුල් විසිහයක් පමණ පදිංචිය. මේ ගම්මානයේ පවුල් පදිංචි කරවීමට පෙර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ඇතුළු ගල්වළට බලපත්‍ර දෙන්නට අනුමැතිය දුන් ආයතන කියා ඇත්තේ නිවාස ඉදි කරන්නේ නම් බැකෝ යන්ත්‍රයක් හෝ භාවිත නොකරන ලෙසයි. නිවාස අත්තිවාරම් අතින් කපන ලෙසයි. ඊට හේතුව මේ කලාපය නාය යාමේ අවදානමක් සහිත කලාපයක් ලෙස කාලයක් තිස්සේ හඳුනාගෙන තිබීමයි. එය ගල්වළට අදාළ වූයේ නැත.

රුපියල් 3,000.00ක වටිනාකම

මේ ගල්වළ සඳහා වෙළෙඳ බලපත්‍රය ලබා දුන් වළපනේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 55 දෙනෙක් සිටිති. ඒ අතුරින් හත් දෙනකු හැර ඉතිරි සියල්ලන් මේ වැඬේට එකඟය. ඒ පෙර නාය යාම්, නාය යාම් අනතුරු ඇඟවීම් සියල්ල තිබියදීය. ඒ ප්‍රාදේශීය සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට අනුව මේ ගල්වළෙන් සභාවට මාසිකව ලැබෙන රුපියල් 3,000.00ක ආදායම නැති කර ගන්නට හැකියාවක් නැත. එම නිසා බලපත්‍රය දීම අත්‍යවශ්‍යය. ඔවුන් තමන්ගේ හිත හදා ගන්නට නිර්ණායක කිහිපයක් ද තම අනුමැතිය සමඟ ඉදිරිපත් කර තිබේ.

“පිපිරවීම් පරීක්ෂාව සඳහා නිශ්චිතව හඳුනා ගත් ස්ථාන හතරක කම්පන මාන ස්ථාපනය කොට ඒවා අධීක්ෂණය කිරීම” ඒ අතර ඇති මූලික නිර්ණායකයකි. එහෙත්, මෙතෙක් ගල්වළේ බලධාරීන් එවැනි කම්පන මාන එකක්වත් ස්ථාපිත කර නැත. ප්‍රාදේශීය සභාවේ හෝ වෙනත් රජයේ වගකිවයුතු කිසිදු ආයතනයක් එම කම්පන මාන නිරීක්ෂණය කිරීමට පැමිණ ද නැත. තත්ත්වයේ බරපතළකම ඔබට වැටහේ ද?

දිස්ත්‍රික් ලේකම්ගේ අනුකම්පාව

සියල්ල සිදු වී තිබිය දී, ජීවිත වැළලී තිබිය දී, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පසුගිය 02 දා වළපනේ ප්‍රාදේශීය සභාවට යොමු කළ අංක ඨ්භෑ/ඛ්භෘ/10/25 දරන ලිපියේ 04 කොටසේ සඳහන් වන්නේ මෙසේය.

“දැනටමත් ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හමුවේ විධිමත් පරීක්ෂණයක් කර කරුණු අනාවරණය කර ගන්නා තුරු සහ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අවසන් වන තුරු ගල්වළේ කැණීම් තාවකාලිකව අත්හිටුවීමට….” ඒ කියන්නේ මෙතරම් විනාශයක් සිදු වී තිබිය දී වුව ද, ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් තවදුරටත් තමන්ගේ ඉල්ලම අත්හැර දැමීමට සූදානම් නැත. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පෙර කී වාචික පොරොන්දුව ලබා දෙන්නේ ඉන් පසුවය.

පොලිස් තර්ජනය

ඊට හේතු වූ කරුණු ද තිබේ. ප්‍රදේශයේ සිටින භික්ෂුන් වහන්සේලා කර්මය පිටින් දමා අපරාධ සාධාරණීයකරණය කරන විට නාය ගිය ස්ථානයට මඳක් එහායින් සිටින මයිලගස්තැන්නේ ධම්මානන්ද හිමියන් උපවාසයක් ඇරඹීය. ඒ ගල්වළ වසා දමන ලෙස බල කරමින්ය. ජනතාව උන් වහන්සේ වටා එක් වූහ. තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වන බවත්, ජනතා විරෝධය දැඩි වන බවත් දුටු දේශපාලනඥයෝ තර්ජනය කිරීම් මගින් විරෝධය යටපත් කිරීමට සැලසුම් සකස් කළහ. පොලිසිය, කැරලි මර්දන අංශ පැමිණ ජනතාවට තර්ජනය කළේ විරෝධතාවෙන් ඉවත් නොවන්නේ නම්, පොලිස් සහතිකයක් හෝ ලබා නොදෙන බව කියමින්ය. අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කළ පොලිස් නිලධාරීහු පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධයෙන් සිය ප්‍රමුඛ අවධානය යොමු කළහ. ඒ ආණ්ඩුවේ මෙන්ම ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ද නියෝජනය කරන නුවරඑළියේ දේශපාලන නායකයන්ගේ උපදෙස් මතය.

උඩුගං බලා යන්නෝ

වළපනේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් දේශප්‍රිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ජයන්ත කුලරත්න මේ පුද්ගලයන් දෙදෙනාය. ප්‍රාදේශීය සභාවේ අතිබහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් මුදලට යට වී, අන්තේවාසිකයන් ලෙස කටයුතු කරන විට ඔවුන් දෙදෙනා ගල්වළ නතර කරන ලෙස බල කරමින් වසර ගණනාවක් තිස්සේ සටන් කළහ. ජවිපෙ මන්ත්‍රීවරයාට ප්‍රාදේශීය සභාව තුළ දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පහර දෙන්නට උත්සාහ කරන්නේත්, දිගින් දිගට ම තර්ජන එල්ල කරන්නේත් මේ නිසාය. පසුගිය ජුනි 21 වැනිදා එස්. බී. දිසානායක, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, වර්තමාන ඇමතිවරයා ජයන්ත කුලරත්න මන්ත්‍රීවරයාට තර්ජනාත්මකව පවසා ඇත්තේ, ගල්වළට විරුද්ධ වීම වහාම නතර කරන ලෙසයි. ගල්වළේ ගල් කුට්ටිවලට වඩා ගල්වළේ කොමිස් කුට්ටි කොතරම් බලවත් ද?

ජ.වි.පෙ. මන්ත්‍රී, නලින් දේශප්‍රිය ශ්‍රීලනිප මන්ත්‍රී ජයන්ත කුලරත්න

රතුපස්වල පාඩම

ඉහත භික්ෂුන් වහන්සේ කළ උපවාසය අතරතුර පොලිසිය යොදවා මේ මන්ත්‍රීරුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට දේශපාලනඥයෝ සැලසුම් කළහ. ඒ ජනතාව උසිගැන්වීම සහ ගැටුම් ඇති කිරීම යන චෝදනා යටතේය. සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් ඊට අදාළව චෝදනා පත්‍රයක් සකස් කිරීම පවා භාරගෙන තිබූ බව අනාවරණය වේ. ජනතාව අතරට පැමිණෙන සිවිල් ඇඳුමින් සැරැසුණු බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු උපවාසය පවතින මාර්ගයේ ජනතාව අතර ගැටුමක් ඇති කිරීම සැලසුම වී තිබිණි. එහෙත්, රතුපස්වල දී පවා ඔවුන් ජනතාව අතර ගැටුමක් ඇති කරන්නට සකස් කළ මේ සැලැස්ම දැන් පරණ ය. ඒ ගැටුම පිටින් දමා බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තබන්නටත්, ධම්මික පෙරේරා නම් කෝටිපති ව්‍යාපාරිකයා වෙනුවෙන් ජනතාව මරා දමන්නටත් කටයුතු කළ ආණ්ඩුව දැන් යළිත් බලයේය. එහෙත් වළපනේ දී ඔවුන්ගේ සැලසුම ව්‍යර්ථ වූයේ මන්ත්‍රීවරුන් දෙදෙනා උපක්‍රමශීලීව කටයුතු කළ නිසා ය.

සභා වාර්තා විහිළුව

තවත් කාරණයක් කිව යුතුය. ප්‍රාදේශීය සභාවේ දී ගල්වළ සම්බන්ධයෙන් 2018 අගෝස්තු 01 වැනිදා පැවැති දීර්ඝ විවාදයේ දී මේ මන්ත්‍රීවරුන් දෙදෙනා දීර්ඝ ලෙස අදහස් දැක්වී ය. පැය ගණනාවක් තිස්සේ මේ විවාදය කොමිස් කුට්ටි සහ ජනතා යහපත අතර පැවැත්විණි. එහෙත්, අවසානයේ දී සභා වාර්තාවට දීර්ඝ විවාදය පිළිබඳ විස්තරය මෙසේ ඇතුළත් වී තිබිණි. “මළපට්ටාව ගල්වළ පවත්වාගෙන යාම තුළින් ඇති වී තිබෙන ගැටලු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි.” මේ කොතරම් විහිළුවක් ද?

ඇමැති නිරුවත සහ යුක්තිය!

සී. බී. රත්නායක ඇමැතිවරයා කියන්නේ තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන්නන්ට එන්තරවාසි යවන බවයි. අපට ඇමැතිවරයාට කියන්නට ඇත්තේ ඔය ආකාරයට තර්ජනය කිරීමට උත්සාහ කිරීම දැන් පරණ බවයි. තමන්ගේ පවුලේ කළුගල් ව්‍යාපාරය පවත්වාගෙන යාම වෙනුවෙන්, ඊට එරෙහිව එල්ල වූ විරෝධය සමනය කර 

ගන්නට චීනයේ ‘හූනාන්’ සමාගමට ගල් කඩන්නට බලපත්‍රය අරන් දී, ඒ හරහා තමන්ගේ ව්‍යාපාර සහ ආදායම් මාර්ග අපූරුවට පවත්වාගෙන යාමේ ඇමැති නිරුවත දැන් හෙළිදරවු වී අවසන්ය. ඒ ඝාතන හතරක් සමඟය. අපරාධකරුවන්ට එරෙහිව වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුය. මහ පොළොවට යුක්තිය ඉටු විය යුතුය.

සටහන සහ සේයාරූ

ශාලික විමලසේන

Previous articleසජිත් විපක්ෂ නායක ඒත්..?
Next articleබැඳුම්කර බෝලය දැන් තියෙන්නේ මහින්ද අතේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here