බාධක සමඟ ගලන අධ්‍යාපන නදිය

‘කොළඹට කිරි ගමට කැකිරි’ කියලා කතාවක් හැදුණේ ළඟක දී නෙමෙයි. එදා ඒ හැදුණු කතාව අද හරිම ලස්සනට ප්‍රායෝගික වෙලා තියෙනවා. මේ කියන්න යන්නේ මේ දිනවල කොවිඩ් නිසා ඇතිවුණ තත්ත්වයක් ගැන.

එක්තරා දිනක කොවිඩ්-19 වසංගතයෙන් ලංකාවම වෙළා ගත්තා. ඉතින්, රැකියාවට යන්න බැහැ. අධ්‍යාපන කටයුතුවලට යන්න බැහැ. පාසල් වසා දැමුණා. සංචරණ සීමා වැටුණා. මිනිස්සුන්ට හරිම අසීරු කාලයක් උදා වුණේ. මේ කාලේ නිවසට වෙලා ගත කරන්න වුණා. ඇඳිරි නීති පැනවීම නිසා හදිසි අවශ්‍යතාවන් හැරුණ විට කොහෙවත් යන්න එන්න අවසර තිබුණේ නැහැ.

දුප්පත්කම, දුෂ්කර බව නිසා ලංකාව පුරාම අධ්‍යාපන රටාව තුළ දැනට පවතින ක්‍රමවලට 100%ක් සාර්ථකව මුහුණ දීමට බොහෝ සිසු දරු දැරියන්ට අපහසුතා ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු පිරිස් ඒ කෙරේ අවධානය යොමු කරන්නේ නම්, ඉතාමත් යහපත් යැයි සිතෙනවා.

ඔබත් ඉන්නේ මෙය අසීරුයි කියන මතයක ද…? මඳක් කල්පනා කරන්න කොවිඩ්-19 කියන්නේ අපි හැමෝගෙම ජීවිතවලට අලු‍ත් වර්ණයක් එකතු කරපු වසංගතයක්. එය භයානකයි. ඒත් අපි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජීවත් වීම තුළ එහි භයානක බව හීන වනවා. මේ කාලය තුළ මිනිසුන්ගේ සැඟවුණු හැකියාවන්, යටපත් වූ දක්ෂතාවන් වාගේම නව නිර්මාණ රැසක් හඳුනා ගන්නට හැකි වුණා. නමුත්, මේ හැම දේම අතරේ යම් බෙදීමක් මේ තුළ ගොඩනැඟීම තුළ විවිධ අපහසුතා මතුවී තිබුණා.

නමුත්, මේ වසංගතය නිසා පීඩාකාරී දිවි ගත කරන පිරිසක් නැහැ කියන්නට බැහැ. එයට හේතුව ලංකාව තුළ පවතින ඇති-නැති පරතරයයි. සමහර මිනිසුන්ට මුදල් නොමැතිකම නිසා පීඩාවට ලක් වුණා. ඒ එදිනෙදා කුලී වැඩ කරන මිනිස්සුන්‍.

එක්තරා දවසක මා පන්සලකට ගොඩ වැදුණු වෙලේ එහි සිටි මල් විකුණන කාන්තාවකගෙන් ඇය පිළිබඳ තතු විමසන්නට වුණා. ඇය මා හට මෙවන් දෙයක් පැවසුවා. මගේ ළමයා මේ පාර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. මේ දවස්වල උගන්වන්නේ ඔන් ලයින්. අපේ ළමයි  වහළෙ උඩ නැඟලා තමයි, පන්තිවලට සම්බන්ධ වන්නේ. ඇගේ කතාව තුළ පැහැදිලි වන්නේ ලංකාවේ භූගෝලීය සාධක පදනම්ව අන්තර්ජාල පහසුකම් සෑම ප්‍රදේශයකටම නැහැ. මේ නිසා අසීරු අභියෝගවලට දරුවන්ට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. මෙවන් සිදුවීම් පසුගිය දිනවල ඕනෑ තරම් මාධ්‍ය මඟින් විකාශනය කෙරුණා.

පාසල් යන සෑම ළමයකුටම ‘ස්මාර්ට්’ දුරකථනයක් මිල දී ගැනීමේ හැකියාවක් නෑ. එවිට මඟහැරෙන අධ්‍යාපන අවස්ථා සඳහා කුමක් කරන්න ද? සෑම ප්‍රදේශයකටම අන්තර්ජාල පහසුකම් ඇත්තේ නැත. තිබුණ ද, විටින්විට ඇති වන කාලගුණික විපර්යාස නිසා ඒවා දුර්වල වීම සිදු වෙනවා. විශේෂයෙන්ම වර්ෂාපතනය වේලාවල දී මෙවැනි තත්ත්වයන් ඇති විය හැකියි.

දුප්පත්කම, දුෂ්කර බව නිසා ලංකාව පුරාම අධ්‍යාපන රටාව තුළ දැනට පවතින ක්‍රමවලට 100%ක් සාර්ථකව මුහුණ දීමට බොහෝ සිසු දරු දැරියන්ට අපහසුතා ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු පිරිස් ඒ කෙරේ අවධානය යොමු කරන්නේ නම්, ඉතාමත් යහපත් යැයි සිතෙනවා. රටේ අනාගත පැවැත්ම සඳහා මේ අධ්‍යාපනය හදාරන දරුවන්ට නිසි මඟපෙන්වීම ලබා දීමත්, ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් අත්‍යවශ්‍යම වීම ඊට හේතුවයි.

■ තිළිණි නිසංසලා
කැලණිය විශ්වවිද්‍යාලය.
Leave A Reply

Your email address will not be published.

1 + nine =