වෙස්මූණු…

කාලෙකට පස්සෙ ක්‍රිෂ්ණගෙ සඳලු‍තලේට ගොඩවෙච්චි රාමා කල්පනා කළේ රාධා හිටි කාලේ එතැන තිබුණු කලඑළිය. ආයෙ වතාවක් සාම නිලධාරී භූමිකාවට එළැඹෙනව ද කියල හිතුවත්, දෙන්න ම වෙනස් නිසා වෙනසට ගරු කරලා කට පියන් ඉන්න එක හොඳයි කියලයි අන්තිමට රාමා තීන්දු කළේ. ඒ අතරෙදියි නන්ද එතැනට ආවෙ.

“පෙරහැර කාලෙට නැට්ටුක්කාරයො වෙස්තට්ටු මැදලා, නා නා ප්‍රකාර වෙස්මූණු එළියට ගන්නවා වගෙ නෙ මේවා” කියාගෙන.

“පැහැදිලි මඳි. මොකක් ද ළඟ එන පෙරහැර…?” ක්‍රිෂ්ණා ඇහැව්වෙ කුතුහලයෙන්.

“පෙරහැරේ නම නං නිශ්චිත නෑ. පාරෙ තාප්ප වැහෙන්න පෝස්ටර්. අවුරුදු ගාණකට කලින් අතුරුදහන් වුණු ගැටව් දෙන්නෙක්ගෙ මූණු දාපු.” කියලයි නන්ද කිව්වෙ.

“අතුරුදහන් වුණේ දෙන්නෙක් විතර යැ. තව කොයි තරං ඉන්නව ද? පාලන තන්තරේ වෙනස් වුණා කියලවත් ඒවට හේතුවත්, සාධාරණයක්වත් වුණේ නෑනෙ. තියෙනවා වගේ ම නෙ.” කියලා කිව්වෙ ක්‍රිෂ්ණා.

“සිද්ධවෙලා තියෙන්නෙ එක ම දේ වුණත්, ඒ ඒ අයට අයිතිකාරයො ඉන්නවා. ඒ ඒ අය ඒ ඒ අවස්ථාවල දී ඉදිරිපත් වෙයි.” එහෙම කිව්වෙ රාමා.

“කොහොම වුණත් ඒ විදියට රට පුරා මූණු ඇලවිල්ලට නං මං විරුද්ධයි. යන යන තැන එල්ලලා තියෙන කොට වේදනාව දැනෙන්නෙ ඒ මනුස්සයන්ට හැබෑවට ආදරේ කළ ඈයන්ට නෙ. දෙමවුපියො, පවුලෙ අය ඒවා දරාගන්නෙ අමාරුවෙන් නෙ. ඒ ගැන හිතන්න බැරි තරමට චින්තන දරිද්‍රතාවයක් තියෙන මිනිස්සුන්ට කරන්න පුළුවන් එකම දේත් පෙරහැර කාලෙට වෙස්තට්ටු මදින එක ම තමයි.” රාමා කියද්දී, නන්ද ඇහැව්වෙ “මේක සිරිදූව කියල අමතක ද?” කියලයි.

එතැනට ගොඩවැදිලා නිස්සද්දව කතාව අහං උන්නු සේනක කිව්වෙ “කොයිදේත් පාවිච්චි කරන්නෙ මෙවලම් හැටියට නං ඒවා ගැන මානවවාදී හැඟීම් පහළ කර ගන්න වුවමනාවක් නෑ නෙ. මනුස්ස මූණු වුණත් ඒවා භාවිතා වෙන විදිය. ඒක ඉතින් ටිකක් බරට හිතලා තේරුං ගන්න ඕන” කියලයි.

“අපි දන්න ඉතිහාසෙ ඇතුළෙ මෙවලම් හැටියට පාවිච්චි වුණු මළමිනී නං කොච්චරක් ද? පාවිච්චි කළ මිනිස්සුවත් ඒවට සාධාරණයක් කරල තියේ යැ. නම්, ප්‍රතිපත්ති මාලාවල්, පාට, වෙනස් වුණාට කොයි කවුරුත් බලය කියන එකට යන්න කපන පාරවල්වල වැඩි වෙනසක් නෑ කියන එක තමයි අන්තිමට හිතන්න තියෙන්නෙ.” නන්ද කිව්වෙ නව සොයාගැනීමක් කරලා වගෙයි.

“හෙට අනිද්දා වෙන කොට තව තව කෝලං සන්නි මූණු සුද්ද බුද්ද වෙලා කලඑළි බහියි. බිළාල කෝලම, කොටි පුල්ලි කෝලම, බෝම්බ සන්නි, දේශප්‍රේම සන්නි, හෙළබොදු කෝලං තව මෙකී නොකී නොහිති ඇති කෝලං සන්නි එළිබහියි.” රාමා කියද්දි, ක්‍රිෂ්ණ කිව්වෙ, මේ දවස්වල සන්නිපොළ නිවාඩු අරං” කියලයි.

“පුරවස්සො ආදරෙන් වැළඳ ගන්න නැටුං අංග නෙ ඕවා.” කියලා නන්ද කියද්දී,

“මොකක්ද බං පාරට කරලා තියෙන්නෙ ? මොන යකෙකුටවත් එන්න බෑ නෙ. මේ වැස්සෙ පේන්නෙත් නෑ. ලිස්සලා වැටුණා. අතක් පයක් කැඩුණා නං කමක් නෑ බයිසිකලේ සයිඩ් කන්නාඩිය ම කැඩිලා ගියා. කීයක් යයි ද ඒක හදන්න…?” කියාගෙන මඩ පෙරාගෙන බයිසිකලෙත් තල්ලු‍ කරං ආවෙ ඡන්න. මේ හතරබීරි කතාව ගැන මෙලෝ දෙයක් නොදන්න සෙට් එක ඡන්නගෙ මූණ දිහා බලං ඉන්න කොටයි දැක්කෙ ඉස්සරහ පාරෙන් ජේසීබීයක් යන හැටි.

“අපි එන කොට එහෙම මොකවත් වෙලා තිබුණෙ නෑ නෙ. මේ පාර කැඩිලා තිබුණෙත් නෑ නෙ. මොන එහෙකට අතරමැද්දෙ හාරනව ද?” රාමා බැලු‍වෙ ක්‍රිෂ්ණගෙ මූණ.

“අවුරුද්ද ඉවර වෙන්න කිට්ටු හන්දා සල්ලිවලින් වැඩක් ගන්න හිතෙන සුදීමතුන්ගෙ වැඩක් වෙන්නැ” ක්‍රිෂ්ණ කිව්වෙ නිවුණු හඬින්.

“හරි බං පෙරහැර එනවා කියල නෙ පටන් ගත්තෙ. පෙරහැර එනකොට පාර හදන්න වෙනවා” කියලා කිව්වෙ මඳ සිනාවක් මවාගත්තු සේනක.

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

9 + three =