ආයිබොවන්ඩ කරන්නේ..,

අපේ සැර් මානව හිමිකම් දිනේ සමරපු ආකාරයනම් ආයෙ ඉතිං සුපිරිම තමා නේද කොමාන්ඩර්? අපි කිසිම ලෝස් එකක් නැතුව එළකිරි වගේ තුනෙන් දෙකක්ම සෑර්ට දුන්නේ ඔන්න ඔය ජාතියෙ කෙළි කොරන්ඩම තමා. නිකමට කල්පනා කොරල බලන්ඩ කරන්නෙ රණවිරුවන්ට මෙහෙම සලකන අපේ සෑර් වගේ නිර්බීත, එඩිතර, වීරෝදාර රාජ්ජ නායකයෙක් මොන දීපාංකරේකවත් ඉන්නවද කියල.

අපිට හෙන ගහල ගියත් කමක් නැහැ, අපේ සෑර්ව මොන ජාතියෙන් හරි වින් කොරවන්ඩ ඕනමය කියල අපි හැට නම ලක්සෙම එක හිතින් තීරණේ ගත්තෙ කැලණි පුරවරේට නාගරාජයා වැඩම කොරනකොටම තමයි ආයිබොවන්ඩ. නාග රජ්ජුරුවන් පා කරන්නෙ අපිට මේ වෙනකොට මොන තරන් සවුබාග්ගියක් උදාවෙලා තියෙනවද කියනවනං ඇඟේ නූල් පටක්වත් නැතුව වුණත් කිසිම ලැජ්ජා-බයකින් තොරව පාරට බැහැලා යන්ඩ ඇහැකි තරමට අපි දැන් දියුණුයි.

මේ ඊයෙ පෙරේදා ඔහේට පොරදානය කොරපු ආණ්ඩුකාර තානාන්තරේට එක එකා මොන තරං අංචි අදින්ඩ හදනවද බලන්ඩකො. සම්පත්ල, දසනායකල වගේ නාවික විරුවොත් එක්ක හිට්ලර්ලා ළඟවත් නොතිබුණු හටන් උපක්කරම අත්හදා බලමින් අපේ මාත්තුරු බූමිය බේරාගන්ඩ කොමාන්ඩර්තුමා දිවි පරදුවට තියලා කෙරපු කෙරුවාවෙ හැටි දන්නෙ අපිනෙ. ඒ උනාට ඔය මානව අයිතීන් රකිනවය කියන ඇන්ජීයෝ කාරයන්ටයි විකල්ප මාද්දියකාරයොද මොක්කුද කියන එකාලටයිනෙ පුදුම රුජාවක්නෙ තියෙන්නෙ. මුහුදෙ නාන්ඩ ගොහින් හරි, එහෙමත් නැත්තං වෙන මොකක් හරි තක්කඩිකොමකට පැටලිලා හරි අතුරුදහන් වුනාය කියන කොල්ලො සැට් එකක් ගැන කිය කියා නේද ආයිබොවන්ඩ උන් ඔහෙලට බාල්දි පෙරළන්නෙ.

හොඳ විස්සාසෙට ගන්ඩ කරන්නෙ, ප්‍රොබාකොරන්ලගෙ මුහුදු බළකායත් එක්ක පේස් ටු පේස් පයිට් කොරපු රණවිරුවෙක් වන ඔහේට මීටත් වඩා ලොකු තානාන්තරයක් නොදුන්න එකටනං අපිට සෑරුත් එක්ක මළ පැනලයි තියෙන්නෙ. ඔහේට මතක ඇතිනෙ ජනාදිපති පුටුවෙ ඉඳගත්ත ගමන්ම රණවිරුවෙක්ය කියල රත්නායකද කව්ද කියන හාදයට සෑර් ජනාදිපති සමාව දිපු හැටි. මෑන්ස් යාපනේ පැත්තෙ හත් අට දෙනෙකුට දුන්නය කියන රණවිරු ගේම ඔහේගෙ කෙරුවාවල් අහලකින්වත් තියන්ඩ ඇහැකිද..? ඊළඟට අර මොකුත් මතක නැහැ කියන දුමින්ද ගොයියව ගොඩ දාපු ලස්සන කොහොමද..? ඇවන්ගාඩ් විරුවා සේනාදිපති ගැන හිතන්න කලින් සෑර්ට යුතුකමක් තිබුණ නේද සකල නාවික බලය යොදල සෑර්ව රට රකින විරුවා බවට පත් කොරපු ඔහේට සලකන්ඩ..? පළාත් සබා ඔක්කොම වර්චස් කොරලා, ආණ්ඩුවත් අන්තිමටම පීචන් වෙලා ගොරොද්දෙ අදින ජාමෙක ආණ්ඩුකාර පට්ටමක් ඔහේගෙ ඇඟේ ගැහුවේ කුතුම්බලා මාලු කෑවනං විඳවපන් කරන්නයෝ කියල කෙළින්ම කියන්ඩ බැරි හන්ද ද කියලත් හිතෙනවා.

හැබැයි අපි දිවුරලා කියන්නං කොමාන්ඩර තුමෝ. මක්ක උනත් අපිනං අපෙ සෑර්ව දාලා යන්නෙ නැහැ. මොකද එතුමා නොහිටින්ඩ අපේ මේ සුන්දර සිරිලංකාව මෙලහකට ඉන්දියන් සාගරේ පතුලටම ගිලා බැහැලා හමාරයි. ඒ විතරක්යැ දැයේ පිනට පහළ වූ තමුන්නැහැ වගේ රණවිරුවන්ටත් කල්දේරන් බත් කන්ඩ වෙන එක සිකුරුයි. අන්න ඒ සැන්තැන්සියෙන් අපිව මුදාගත්තු අපෙ සෑර්ගෙ දෙපා මුල වැටිලා සාගින්දරින් හිටියත් අපිට සැපයි. ගෑස් සිලින්ඩර් පිපුරුනාවේ. අසූචි නැව් එකක් නොව සිය දහසක් ආපුවාවේ, ඩොලරය බල්ලට ගියාවේ. කොරෝනා බැරිනන් මහාමාරිය පැතිරුනාවේ. එකා පිට එකා මැරිල වැටුණත් අපි සෑර්ව තනි නොකරමු හරිද කරන්නෙ. ඒ මක්ක උනත් ආයිබොවන්ඩ මෙහෙම වැඩ කොරන විරුවෙක්නං මේ සක්වලේ කොහෙන්වත් ආයෙ හොයාගන්ඩ ඇහැක් වෙන්නෙ නැහැ.. සත්තයි.. අත්දුටුයි●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

four × three =