බුද්ධි: අඩසියවසක කවි ජවනිකාව

අංගරචනා ශිල්පය යනු රූපණ කලාවේ ප්‍රමුඛ උපකරණයයි. චරිතය ඉස්මතු කර දීම ඉක්මවා ගිය විට එහි අරමුණ ජීවිතය ඉස්මතු කර දීම ලෙස දැක්විය හැකි ය.

බුද්ධදාස ගලප්පත්ති යනු ලංකාවේ ප්‍රකට කවියෙකි. බුද්ධි නම් කාව්‍යක්කාරයා අඩ සියවසක් කවි ලිව්වේ ය. ඔහු ඒ හා සමාන කාලයක් රූපණ කෘත්‍යය තුළ අංගරචනා ශිල්පියකුගේ භූමිකාවෙහිද ව්‍යවෘත වූයේ ය. බුද්ධි අංගරචනා ශිල්පයෙහි නිමග්න වීමෙන් මෙන්ම කවි ලිවීමෙන් ද එක් දෙයක් අපේක්ෂා කර ඇති බව දක්නා ලැබෙයි. ඒ නම්, එකලාව චරිතයක් ඉස්මතු කර දීම නම් වූ ක්‍රියාව ඉක්මවා ගොස් ජීවිතය ඉස්මතු කර දීමට යත්න දැරීම ය. ඔහු සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ අසීරුම චරිතයක් වන වැදි රජුගේ ජීවිත තානය වේදිකාව මත විශ්වසනීය නිරූපණයක් බවට පත් කිරීමට අංගරචනයෙන් දායක වූයේ ය. මනමේ කුමරුගේ හා කුමරියගේ ලාලසාව වේදිකාව මත නොනැසෙන සෞන්දර්යයක් බවට පත් කළේ ය. ඊට සමාන්තරව බුද්ධි සිය ප්‍රකට කවි පංති වන ‘දයාවතී හා දෙදෙනාම දියණියෝ’ මඟින් තත් චරිත කවි සමය තුළ ප්‍රමාණයට ප්‍රසාරණය කර දැක්වූයේ ය.

මෙම විදග්ධ ක්‍රියාවලියෙහි නිරත මිනිසාගේ නිර්මාණ දිවියට, වෙසෙසින්ම ලිවීමේ අභ්‍යාසයට මේ වන විට අඩසියවසක් (1971-2021) සපිරෙයි. මේ සටහන ඒ නිමිත්තෙනි.

සරසවි ශිෂ්‍යයාවකගේ කවිය (රැජිනක් හැඬුවා ය), දියණියකගේ ආයාචනය (පාර වසා ඇත), සෙනෙහස (නිශ්චලයි රාත්‍රිය), නූතන පටාචාරා (දවස හෙටයි), නිරූපිකා (තුරු ලිය අකුරු විය) ඇතුළු පුද්ගල චර්යාව හා අභ්‍යන්තර මනස් අරගලය සම්බන්ධ තේමාවන්ගෙන් යුක්තව රචනා කළ කවිවල දී බුද්ධි ඉහත දැක්වූ අංගරචනාමය අභ්‍යාසයෙහි යෙදෙන අයුරු දිස් වේ. ඔහු ඒ සෑම චරිතයක්ම වෙසෙස් සාත්වික අභිනයකට පාත්‍ර කරයි.

“මහලු වන රෑ මැදියම
අත වනයි
තුරුණු අලුයමට
ඈ උවන් සිසි මඬල
කළුවර වීද අලුයම” – ( නිරූපිකා)
“තුන්දෙනාගෙ පණත් අරන්
වාට්ටුවේ සුදු ඇඳ උඩ
සුදු රෙද්දේ……
කඳුළු…..
අම්මගෙ නංගිගෙ මගේ
කඳුළු…” (දියණියකගේ ආයාචනය)

උක්ත කාව්‍ය නිර්මාණ තුළ බුද්ධි ගොඩනංවන චරිත සහෘදයාට දිගු කතාවක් කියන්නේ සතර අභිනය දැක්වෙන චිත්ත රූප මතු වන පරිද්දෙනි. එම ප්‍රකාශන ශෛලියට බුද්ධිගේ නාට්‍ය ශාස්ත්‍ර අභ්‍යාසය පැහැදිලි ලෙසම පාදක වී තිබේ. ඔහු ලියූ ප්‍රකට ම කවියක් වන ‘දයාවතී’ මුළුමනින්ම නාට්‍යරූපී ය. ඔහු එහි දී ක්‍රියාවකට පණගන්වයි. ක්‍රියාව උපදින්නේ හේතුවක් මත ය. හේතුව සමාජ – ආර්ථික කාරණයකි. එම සමාජ – ආර්ථික ප්‍රශ්නය දෙපැත්තකින් නියෝජනය කරන පාර්ශ්ව දෙකක් සිටිති. කවියේ දැක්වෙන දයාවතී පීඩිත පන්තියේ ය. පොඩි බේබි පීඩකයා නියෝජනය කරයි. මැදියමේ දී පොඩි බේබි දයාවතී ළඟට එන්නේ ලෝකධර්මී නාට්‍යයක එන ජවනිකාවක පරිද්දෙනි.

“ඔහුගෙ අඩවන් දෙනෙත
ඔහුගෙ කඩිසර දෑත
සොයයි ඇගෙ ළමැද තුළ
පිපුණු මල් කැකුළු යුග
……….
“දයාවතී අඩ නින්දෙන් ඇහැරුණා ය
ඉහ ඉද්දර තිබුණු පිහිය අහුවුණා ය
පොඩි බේබිගෙ හිසෙහි පිහිය නැවතුණා ය”

එහි දී බුද්ධි පිහිය රංග භාණ්ඩයක් බවට පරිවර්තනය කර ගන්නා සෙයක් දැනේ. දයාවතී පීඩකයාට එරෙහි සියලු ක්‍රියාවන්ට පිළිපන්ව සිටින්නී, තාත්වික නාට්‍යයක රංග නිර්මිතයක් ගොඩනඟන පරිද්දෙනි. බුද්ධි එහි දී සිදු කරන්නේ, නාට්‍ය නිෂ්පාදකවරයාගේ කර්තව්‍යය නොවේ. ලේඛනය නම් වූ සිය අංගරචනා කලාව හරහා එම චරිතාභ්‍යන්තරය හෙළි කිරීම ය. එනම්, ජීවිතයකට කඩදාසිය මත දී ප්‍රාණය දීම ය. බුද්ධි නාට්‍යයක චරිතවල අංගරචනය, ලේඛනයේ අංගරචනයට සමාන්තර කර බලන පර්යේෂණකාමී කලාවේදියෙකි. ඔහු සතු ශක්‍යතාවන් සිරස් අතට මෙන්ම තිරස් අතට ද වැඩී තිබේ. තෙමේ ම වැඩට බැසීමට පෙර ඔහු ඉහළම රසිකත්වයක් උරගා බලන්නෙකි. එම සංයමය බොහෝ කලාකරුවන්ට නැත. එබැවින්, වසර 50ක් පුරා හෙතෙම වේගයෙන් නොදිව්වේ ය. ඔහු වෙතින් දක්නට ලැබුණේ රිද්මයානුකූල ගමනකි. කල්පනාභරිත, නිවුණු පුද්ගල ඉරියවු සමුදායකි.

බුද්ධි යනු මහත් ඉවසීමකින් හා කැපවීමකින් විෂයය ප්‍රගුණ කරන මිනිසෙකි. ස්ව නිර්මාණ සඳහා ඔහු මුළුමනින් ම කැප කරනුයේ එම ඉවසීම හා සංයමය ය. කිසියම් අභ්‍යාස කාලයක් තුළ ඔහු එකින් එක රැස් කර ගන්නා මෙවලම් හා සමුච්චනය කරන හැඟීම් දැනීම් බුද්ධිගේ නිර්මාණ අස්වැන්න ලෙස අනාගතයේ දවසක මතුවෙයි.

බුද්ධි වේදිකා පසුතලයෙහි ක්‍රියාධරයෙක් බවට පත් වන්නේ මහැදුරු සරච්චන්ද්‍රයන් 1969දී දෙවැනි වර ‘මනමේ’ නිෂ්පාදනය කරද්දී ය. ඒ වේදිකා කළමනාකරණය පාර්ශ්වයෙනි. එකල ‘මනමේ’ අංගරචනය, රංගවස්ත්‍ර නිර්මාණය හා රංගභාණ්ඩ නිමැවුම සිදු කර ඇත්තේ පද්මකුමාර එදිරිවීර ය. ඔහු වෘත්තියෙන් අධිනීතිඥවරයෙකි. බුද්ධි රංගභාණ්ඩ නිමැවුම හා අංගරචනය නමැති පෘථුල විෂයය කරා පිළිපන්ව සිටින්නේ පද්මකුමාරයන්ගේ මඟපෙන්වීමෙනි. ලුණු සංස්ථාවේ සේවය නිමවා සැඳෑ අඳුරත් සමග ඇරැව්වල, පන්නිපිටියේ පිහිටි පද්මකුමාරගේ නිවසට එන බුද්ධි ‘මනමේ’ සඳහා කඩු, දුනු, ඊතල සෑදීමට පද්මකුමාරට සහාය වෙයි. අංගරචනය විෂයය ද මහත් ඉවසීමකින් යුතුව ඔහු යටතේ හදාරයි. එහි ප්‍රතිඵලය වන්නේ පද්මකුමාරයන්ගේ රාජකාරිමය කාර්යබහුලත්වය නිසා බුද්ධි ක්‍රමයෙන් ‘මනමේ’ ප්‍රධාන අංගරචනා ශිල්පියා බවට පත් වීම ය. හෙතෙම පසු කලෙක රාජ්‍ය නාට්‍ය උලෙළ පහක දී අංගරචනය සඳහා පස් වතාවක් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. පස්වැනි වරට රාජ්‍ය සම්මානයත් සමඟ ලැබුණු මුදලින් බුද්ධි කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව විෂයයේ දී ඉහළම අගැයුමට ලක් වන විද්‍යාර්ථියාට ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා අරමුදලක් ඇරඹුවේ ය.

විෂය සන්දර්භය සියුම් ලෙස ස්පර්ශ කර එහි තමාගේ ක්‍රමයකට නිමග්න වීම බුද්ධිගේ ජීවිත අනන්‍යතාව බව දිසේ. කඩු, දුනු, ඊතල නිර්මාණය, අංගරචනය, රංගවස්ත්‍ර නිමැවුම මෙන්ම ඔහුගේ කවි, කෙටිකතා හා ගීත නිබන්ධනය එකම හුයක බැඳී තිබෙන්නක් බව කිව හැක්කේ ඔහු ඒ සෑම විෂයයකම ව්‍යවෘත වී සිටි ලාස්‍යය ස්වභාවය මෙනෙහි කරද්දී ය.

බුද්ධි විප්ලවීය සිතන්නෙකි. කවි ලිවීම විෂයයෙහි තියුණු එල්ලයක් ඔහු සතු ය. එහි දී ඇතැම් විටෙක ඔහු කවි සමය රැකීමට වඩා අදහස් ප්‍රකාශනය ප්‍රධාන කොට සලකන ලද අවස්ථා නිර්මාණ අතර බහුලව දැකගත හැකිය. ඇතැම් විටෙක ඒවා නාට්‍යයක තියුණු දෙබස් බඳු ය.

“විස්කි බෝතලේ හඬති
ගෑරුප්පු හා හැඳි ද
බලාගත් වනම වෙති
කළු කබා කර පටි ද
අවමඟුල් පෙරහැරෙය
පියානෝවත් සමඟ
තත් බිඳුණු ගිටාරය
ශෝක ගීයක් ගයයි
දරාගත නොහැකි වූ
සෝකයෙන්
විසල් දෝලාවන්හි
කළු පාට ටයර් හැම
ළය පැළී මිය ගිහින්…”

බුද්ධිගේ ‘කැටපත් පවුර’ කෘතියෙහි එන එම කවියේ මාතෘකාව ‘ජනතා ජය මිය ගිය කල්හි’ ය. එහි තියුණු උත්ප්‍රාසයක් ගැබ්වෙයි. සෑම ආණ්ඩුවක් සම්බන්ධයෙන්ම එහි හිමිකාරීත්වය දරන දේශපාලනඥයෝ සමාන හැඳින්වීමක් කරති. ඒ මැතිවරණ ජයග්‍රහණය ජනතා ජයග්‍රහණයක් හා පිහිටුවන ආණ්ඩුව ජනතා ආණ්ඩුවක් ය යන්න ය. එතැන් සිට ජනතා ආණ්ඩුවේ මැති ඇමතිවරු මහේශාක්‍ය දිවියක් ගෙවති. ජනතා ජය යැයි වර නැඟූ සෑම ජයග්‍රහණයකින් පසුව ම ජනතාව දුක් වින්දෝ ය. ජනතා ජය මිය ගිය කල්හි එනම් ආණ්ඩුව පරාජය වූ කල අහිමිව ගොස් තිබෙන්නේ ආණ්ඩුව හෙබැවූවන්ගේ වරප්‍රසාද ගොන්න ය. එවිට ජනතා ජය යනු දේශපාලකයන් ලබන අසීමිත වරප්‍රසාද ගොන්න හෙවත් ඔවුන්ගේ ජයග්‍රහණය ම බව බුද්ධි තියුණු උත්ප්‍රාසයකින් මෙම කවිය ඔස්සේ හැඟවුම්කරණය කරයි. ප්‍රස්තුතයට පසුපසින් ඇතුළු වී ඉදිරියට නෙරා ගෙන ඒම මනබඳින උපක්‍රමයකි. බුද්ධි මෙම කවියේ දී සන්දර්භයට පූර්ණ අරුතක් දීමට රිවර්ස් ගියරයෙන් ඉදිරියට එයි. 1972දී බුද්ධි ලියන එම කවිය මෙන් ම ’72දී ම නිෂ්පාදනය කැරුණු සුගතපාල ද සිල්වාගේ ‘දුන්න දුනුගමුවේ’ වැනි නාට්‍ය ලාංකීය ජනයා සමස්ථාර්ථයෙන් තේරුම් නොගැනීමේ වරදට අදත් අපි වන්දි ගෙවමින් සිටිමු.

බුද්ධිට ඇත්තේ, දේශපාලන කවීත්වයකි. 1974දී පළ කරන ලද ‘පාර වසා ඇත’ නම් වූ කෘතියට ඔහු ‘රත්නපුර නගර ශාලාවේ දී’ යන හිසින් කවියක් පබඳියි. රඟමඬල දෙස මහත් ආශක්තව බලා සිටින මෙහෙකාරියට ඇයගේ ස්වාමිදියණියගේ බිලිඳා රැගෙන වහා නාට්‍ය ශාලාවෙන් පිට වීමට අණක් ලැබෙයි. ඒ, දරුවා එක් විට ම හඬන්නට පටන් ගත් නිසා ය. අඛණ්ඩ රසවින්දනය අයිති ඇය සේවය කරන වරප්‍රසාද ලත් පන්තියට පමණි. මෙහෙකාර ස්ත්‍රියට ශේෂ කර ඇත්තේ භින්න රසවිඳුමකි. මෙම සිදුවීම දෙස බුද්ධි බලන්නේ සමාජ වෙනසක් කළ යුතු ය යන දෘෂ්ටියෙනි.

“ප්‍රේමවතී නුඹ නාඬන්
කවදාවත් අපි උඹලට
අඬන්න සිදුවන්නේ නැත
අපි දවසක හිනාවෙමුකො
පුංචි බේබි විසි කරලා
අපි දවසක හිනාවෙමුකො”

1976දී ‘රැජිනක් හැඬුවා ය’ කෘතියට ඔහු ලියන ‘විනිසකරුවකුගෙන් ඇසූ ප්‍රශ්නය’ කවිය මඟින් හෙතෙම විනිසුරු භූමිකාව ප්‍රශ්න කරයි. ප්‍රශ්නය විමසන්නේ අභිසරු ලියකි. ඉන් ගම්‍යමාන වන්නේ විනිසුරු, ශික්ෂාව පිළිපැදිය යුතු ය යන අදහස ම නොවේ. ඇය, ඔහු එන තුරු මඟ රැඳී සිට ඇත්තේ, විනිසුරුගේ ශික්ෂාව බිඳින්නට ද නොවේ. පෙර දිනක දී මෙන් ගත පුදා ඉපැයීමක් කර ගැනීමට ය. එහෙත් එදින ඔහු නො එයි. ‘අනාචාරය’ යන චෝදනාව යටතේ අධිකරණයට පමුණුවන ඇය විනිශ්චයාසනාරූඪව සිටින පෙර දා තමන්ගෙන් සන්තර්පණය වුණු විනිසුරු දකියි. නීතිය ක්‍රියාත්මක වන්නේ විනිසුරු එදින ඇයගේ ගනුදෙනුකාර භූමිකාවේ නැති නිසා ද?
බුද්ධි සිය කවි මඟින් විමසන එවැනි ප්‍රශ්න සදාතනික ය. අද අපි සාකච්ඡාවලට බඳුන් කරන නීතිය නැවීම පිළිබඳ ප්‍රශ්නය බුද්ධි සිය කවි මඟින් සාකච්ඡාවට බඳුන් කර ඇත්තේ, මීට වසර පනහකට පෙර දී ය. වැදගත්ම දේ ඔහු එම ප්‍රශ්නය ප්‍රබල මානවීය තලයක ස්පර්ශ කර තිබීම ය.

1992දී ‘නිශ්චලයි රාත්‍රිය’ කෘතියට ‘ටයර් මාලයේ කවි’ නම් පද්‍ය පන්තිය ලියන බුද්ධි 2003දී රචිත ‘දවස හෙටයි’ කෘතියට ‘මැජික් නැරඹූ පුතු’ නමැති වෙසෙස් කවියෙන් සංග්‍රහ කරයි.

“ගෙනැවිත් ටයර් මැඳුරට
සුරැකිව තබා හනිකට
රැයේ දී ගැනුමට
සදනු මිතුරේ ටයර් නිසි කොට
“නම්වර තහඩු නැති රියකුත් සොයන්නේ
සොඳට ගෙවී ගිය ටයරුත් දමන්නේ
පැට්රෝල් ද ඩීසල් රැස් කරන්නේ
නම් ගම් එකතු කොට ලියවිලි සදන්නේ”

ඔහු මෙහි දී ජනකවිය දේශපාලනමය සංසිද්ධියක වෙළා, ශ්‍රැතිරම්‍යතාව ජනනය වන පරිදි ඉදිරිපත් කොට තිබෙන ආකාරය විෂයයෙහි පරිසමාප්ත ය.

ගාන ඩීසලුත් කළුවර ටයර් මත
මූණ පුරා කළු තිරකඩ පැළඳ ගෙන
මාන බලා එකවර පැන ගේ තුළට
නෑන නුඹත් යන්නෙ ද ටයරයක් මත

‘මැජික් නැරඹූ පුතු’ කවිය මඟින් පුත්‍රයා පියාගෙන් කරන්නේ ‘ඔබත් මැජික් කරුවකු වන්න’ යන ඉල්ලීම ය. සාමාන්‍යයෙන් පියකු, පුතකුගෙන් බලාපොරොත්තු වන්නේ ශිල්ප දැන නිසි කර්මාන්තයක් කිරීම ය. ඊට ප්‍රතිපක්ෂව මෙහි දී පුතා කරන ඉල්ලීම පුදුමාකාර උත්ප්‍රාසයකින් යුතුය. එවිට වෙහෙස මහන්සියකින් තොරව මුදල් මැවිය හැකි ය යන්න පුතුගේ උපදෙස ය. මෙය නූතන වණික් සමාජය හා එහි භෞතිකය පිළිබඳ සිතුවිල්ල ප්‍රතීයමාන කරන්නක් බවද පෙනේ.

“පාන්දර නැඟිටලා
ඔෆිස් යන්නේ නැතුව
මැජික් අන්කල් වගේ
සල්ලි හදතෑකි නේ
ගෙදර නැවතී ඉඳන්
තාත්තේ ඉගෙන ගන්නකො
මැජික් පෙන්නන විදිය”

පිටකෝට්ටේ, රජ මාවතේ පදිංචි බුද්ධි උදේට, හවසට රජ මාවතේ ඇවිද යන්නේ රජෙක් පරිදි ය. එහෙත්, ඔහු භූමියක් සහ අවියක් වෙනුවට කවි, කෙටිකතා, තීරු ලිපි, පවර කලා විමංසන බදා වැළඳ ගත් සාහිත්‍යධරයෙකි. ඔහුගේ රජසැරිය සැහැල්ලු වී ඇත්තේ එනිසා ය. සවසට ජිම් එකට යයි. එක්තරා ක්‍රිකට් ලෝලයකින් ද පෙළෙයි. නාට්‍යයක්, චිත්‍රපටයක්, පොත් දොරට වැඩුමක් ඔහුගෙන් මඟ නොහැරෙයි. පොඩි අඩියක් ගැසීමට සමාන්තරව හිඳ ගත් කල අප අතර සිටින සොඳුරුතම මිනිසා ඔහු යැයි හැඟෙයි. රටේ දේශපාලනය මාතෘකා වුවහොත්, ජනාධිපතිගෙන් පටන්ගෙන ශිෂ්ට බසින් පතුරුහරියි. සෑම කවියකුගේ ම, කිවිඳියකගේ ම නිර්මාණ කෙරෙහි හෘදයාංගමව කල්පනා කරයි. එම කල්පනාව මෙහෙයවා දිගුකලක් ලියූ ‘කවි මිහිර’ බුද්ධිගේ වැදගත් මෙහෙවරකි.

සියලු කටයුතු මැද සතියකට තීරු ලිපි දෙකක් පමණ ලියයි. අඩ සියවසක ඔහුගේ නිර්මාණ අස්වැන්න අබතුරෙහි තිබුණේ මේ සියල්ල ය. අරගලකාරී චිත්තයක් ඇති, සමාජ සිදුවීම් පිළිබඳ නොනැසෙන කුහුලක් ඇති බුද්ධි නම් වූ මේ කාර්යබහුල මිනිසා තව චිරාත් කාලයක් කාර්යබහුල විය යුතු ය.

– විමලනාත් වීරරත්න

ඡායාරුප විජයබණ්ඩාර

 

Leave A Reply

Your email address will not be published.

twelve − eleven =