අනුරගේ හෙළිදරව්වෙන් ආණ්ඩුව තුළ සැකයක් !

මෙරට යුගදනවි බලාගාරයේ අයිතිය ඇමෙරිකානු සමාගමක් වෙත පවරමින් අත්සන් තබන ලද ගිවිසුම පසුගිය 10දා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් සභාගත කරනු ලැබීය. ගිවිසුමේ සහතික කළ පිටපතක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමඟ ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ කැළඹීමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙම ගිවිසුම දෙපාර්ශ්වයේ එකඟතාවකින් තොරව වසර දෙකක් යන තෙක් හෙළිදරවු නොකර සිටිය යුතු බවට වූ වගන්තියක් ඇතුළත්ව තිබිය දී, මෙසේ හෙළිදරවු කිරීමයි. කැබිනට් මණ්ඩලයේ බොහෝ ඇමතිවරු ද මෙම ගිවිසුම දැක ඇත්තේ මෙම සභාගත කිරීමෙන් පසුව ය. මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයට පක්ෂව අධිකරණය හමුවේ කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙක් පසුගියදා සාක්ෂි දීම ද ආන්දෝලනාත්මක විය.
කැබිනට් ඇමතිවරුන්ට පවා නොදන්වා බරපතළ ලෙස සඟවා තිබූ අභ්‍යන්තර රහස් පවා රැකගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම නායකත්ව මට්ටමේ අයගේ විශ්වසනීයත්වය පිළිබඳව ද මේ හේතුවෙන් බරපතළ ගැටලුකාරිත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. එවැන්නක් සම්බන්ධව මතුව ඇති බරපතළ ප්‍රශ්නය හේතුවෙන් මේ හෙළිදරව්ව ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ඉහළම බලධාරීන් විසින් තීරණය කර තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.
මෙම වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා අත්සන් කර ඇති මෙම රහසිගත ගිවිසුම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබූ ඇමෙරිකානු සමාගමේ නාමය ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ යි. එසේ වුවත් හෙළිදරවු වූ ගිවිසුමේ සැබෑ පිටපත අනුව සැබැවින්ම අත්සන් තබා ඇත්තේ ‘භත්‍ෑ ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංග්ස් ඛඛක්‍ සමාගම’ සමඟයි. මෙම ව්‍යාජ තොරතුරු සැපයීමෙන් මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කර ඇත්තේ බරපතළ වංචාවක් බවයි එහි නියෝජිතයකු විමසූ විට පැවසුවේ. පාර්ලිමේන්තුවට නොදන්වා මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්, එය ජාත්‍යන්තර තලයේ දී ආණ්ඩුව අපහසුතාවට ලක් කෙරෙන සිදුවීමක් බවත් ඔහු පවසා සිටියා.
මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විටත් අර්බුදයට ලක්ව තිබෙන ආණ්ඩුව තවත් වටයකින් ගැඹුරු තිගැස්මකට ලක්ව සිටින බව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක ඉහළ පෙළේ පුද්ගලයෙකු පවසා සිටියේය.

Leave A Reply

Your email address will not be published.

fifteen − 1 =