සජිත් විපක්ෂ නායක ඒත්..?

ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ සජිත් ප්‍රේමදාස පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ ය. ප්‍රතිඵල නිකුත් කරන දිනයේ මැතිවරණ කොමිසමේ දී දැක්කාට පස්සේ දකින්නවත් නොසිටියේ ය. පසුගිය දවස්වල බොහෝ අය සජිත්ව අල්ලා ගන්න උත්සාහ දැරූහ. එහෙත්, ජංගම දුරකථනයවත් ක්‍රියාත්මක නොවන බවක් ආරංචි වූයේ ය. ඒත් එක්කම සජිත් යාල කැලේ අලි බලන්න ගිහිල්ලා, සියලු සම්බන්ධතා ඇනහිටලා කියන රාවයක් පැතිර ගියේ ය. සිදු වුණු සිද්ධි කුමන ආකාරයේ වුවත්, සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඡන්දයෙන් පස්සේ සිය භූමිකාව අත්හැර ඇති බව නම් පැහැදිලි ය. නවීන් දිසානායක මාධ්‍ය හමුවක දී කිව්වේ, එයාත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් නිසා මානසික බිඳවැටීමක් තියෙනවා, ටික කාලයක් ගියාට පස්සේ ඒවි කියා ය. ප්‍රතිඵලයත් එක්කම නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පාක්ෂිකයෝ ඔහු කෙරෙහි තිබූ විශ්වාසය බිඳවට්ටා ගත්හ. පසුබැසීම් හමුවේ පලා යන නායකයෙක් නම්, ඉදිරි අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොම ද යන ප්‍රශ්නය පාක්ෂිකයන්ට ඉතිරි වූයේ ය. ඇත්තට ම එය පරාජය හමුවේ පලා යාමකි. මේ වන තෙක් ජනතාවගෙන් සැඟ වී සිටීම ද පැහැදිලි පලා යාමකි.

මේ වන විට අලුත් ආණ්ඩුව විසින් බොහෝ අකටයුතුකම් කරමින් සිටී. විශේෂයෙන් ම එ.ජා.ප.යේ ජයග්‍රහණය වෙනුවෙන් ම මැදිහත් වූ බොහෝ පිරිසකට විරුද්ධව මර්දනකාරී පියවරයන් ගනිමින් සිටී. ආණ්ඩුව බලයට පත් වූ විගස ම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කීප දෙනකුට ම එරෙහිව පොලිසිය යොදවා ඇත. වෙබ් මාධ්‍ය ජාලයක සේවයේ නියුතු වූ මාධ්‍යවේදිනියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය ගණනාවක් ප්‍රශ්න කරනු ලැබී ය. එකී වෙබ් මාධ්‍ය ආයතනය මුළුමනින් ම පරීක්ෂාවට ලක් කොට වක්‍රව බියවැද්දීමක් කළේ ය. තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු ම පිටුපස්සේ රහස් පොලිසිය පන්නමින් සිටී. තමන්ට පැවරුණු රාජකාරිය හරිහැටි ඉටු කරන ලද පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව ස්ථාන මාරු කිරීම් සහ තනතුරෙන් පහ කිරීම් තනතුරෙන් ඉවත් කිරීම් යනාදියට මුහුණ දෙන්නට සිදු වී ඇත. පසුගිය රාජපක්ෂ පාලන කාලයේ විවිධ අපරාධ කරන පුද්ගලයන් ගණනාවක් මේ දවස්වල නිදහස් කරමින් යයි. බොහෝ අමාත්‍යාංශවල නිලධාරීන්ට හා සේවකයන්ට එරෙහිව හිතාමතා ම දැනුම්වත්ව ම සිදු කරන පළිගැනීම් හා පීඩනයන් වේගයෙන් ආරම්භ කොට ඇත. බලයට ආ කෙටිකාලය තුළ මෙවැනි අකටයුතුකම් රාශියක් සිදු කරමින් ඇත. එහෙත්, වගකිව යුතු ප්‍රධාන යැයි කියා ගන්නා විපක්ෂය හෙවත් එජාපය ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරය අත්හැර දමා ඇත.

අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ධුර පුරප්පාඩුවක් ද ඇති වී තිබේ. ඒ සඳහා සුදුසු කෙනකු එවිය යුත්තේ ජනාධිපතිවරයා විසින් ය. එහෙත්, එය කළ යුත්තේ අග්‍රවිනිශ්චයකාරවරයාගේ නිර්දේශය ද සහිතව ය. එහෙත්, මේ කිසිවක් නොසලකා කෙනකු ඒ සඳහා නම් කර එවා ඇති බව ආරංචි ය. “අලි සබ්රිගේ ඉල්ලීම ඉටු කරන්න ඕනි. ආයේ කාගෙන්වත් නිර්දේශ අහන්න අවශ්‍ය නැහැ.” යැයි කියමින් මේ නම එවා ඇති බව මන්දිරය ඇතුළෙන් ම එන ආරංචියයි. පටන් ගන්න කොට කිසිම හිරිකිතයක් නැතිව තනි කැමැත්තට හා වුවමනාවට වැඩ කරන්න පටන් ගත්ත බව පැහැදිලි ය. මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේද සියල්ල ඉවත ලා ඇත. අඩු ම ගාණේ නීතිපතිවරයාගෙන්වත් ඒ ගැන විමසා නැත. ඉන් ලබා දෙන පණිවිඩය ඉතා බරපතළ ය. 19වැනි සංශෝධනය අහෝසි කර දමන බවට ද ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ ය. 19 වැනි සංශෝධනය යනු එ.ජා.ප.යේ එකක් නොවේ ය. එදා මාදුළුවාවේ සෝභිත සහ විවිධ දේශපාලන පක්ෂ මෙන් ම රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන ජනතාවගේ වුවමනාවකි මේ සංශෝධනය. ඇත්තට ම ඔවුන් සටන් කළේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් ම අහෝසි කර දැමීම සඳහා ය. එය ප්‍රායෝගිකව කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ප්‍රමාණය නොලැබෙන නිසා 19ට එකඟ වූයේ ය. රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සිදු වුණේ එයට අනුව ය. ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර ජනාධිපතිවරණයක් ජනතාවට ලැබුණේ ඒ අනුව ය.

මාධ්‍ය ප්‍රචණ්ඩත්වය හැර අන් ප්‍රචණ්ඩත්වයක් ජනාධිපතිවරණ සමයේ නොවී ය. මාධ්‍යයේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට අදාළ වගන්ති ද 19 වැනි සංශෝධනයට ඇතුළත් කර තිබිණි. එහෙත් එදා විපක්ෂය, එනම්, රාජපක්ෂ කණ්ඩායම සහ මෛත්‍රීපාල කණ්ඩායම එයට විරුද්ධ වූයෙන් එම වගන්ති ඉවත් කරනු ලැබී ය. ඒ 19ට අනුව මාධ්‍ය පිළිබඳ සංශෝධන එවනු ලැබූයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ය. මෙදා ඡන්දය අවසන් වූ විගස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන්ට මාධ්‍ය පාලනය කර ගන්න බැරි වූ බව පැවසුවේ ය. ඒ ඔහුගේ වැරැද්දක් නිසා නොව නීතියේ අඩුවක් නිසා ය. ඉවත් කරන ලද වගන්ති ද 19ට ඇතුළත්ව සම්මත වී තිබුණේ නම්, මෙදා ජනාධිපතිවරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාධාරණ කර ගත හැකිව තිබිණි. ඒ අඩුපාඩුව සහිතව හෝ මිනී මරා ගන්නේ නැති ඡන්දයක් ආවේ 19 වැනි සංශෝධනය අනුව ය. එහි ඇති වැදගත්කම තේරුම් ගන්නට එයම ප්‍රමාණවත් ය. එවැන්නක් අහෝසි කරනවා යැයි ප්‍රසිද්ධියේ පැවසීම ම ප්‍රචණ්ඩත්වය නැවත කැඳවීමකි; එයට අතවැනීමකි. එහෙත්, 19 ගැන එ.ජා.ප.යේ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එය වෙනස් කරන්න අවශ්‍ය නම් ඒ ගැන සාකච්ඡා කරන්න තම පක්ෂය සූදානම් බව ය. නමුත්, ඔහු කිවයුතුව තිබුණේ, ඒ ගැන වචනයක්වත් කතා කරන්න ලෑස්ති වෙන්න එපා ඒකට නම් ඉඩ දෙන්නේ නැහැ කියා ය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු කරන ලද නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විවිධ චෝදනාවලට ලක් වූවන් සිටි බව මුළු රට ම දන්නා දෙයකි. මෛත්‍රීපාල මහතා කීවේ “එක හොරකුටවත් රටින් පැනලා යන්න දෙන්නේ නැහැ. ගුවන්තොටුපළ වහලා හරි අල්ලා ගන්නවා” යැයි කයිවාරු ගැසුවේය. එහෙත්, බලයේ සිටි කාලය තුළ එක හොරෙක්වත් අල්ලා ගත්තේ නැත. හොරකම් නතර කළේ ද නැත. යූඑන්පීයෙන් අඩු ම ගාණේ ඒ හොරුන්ට අදාළව පැමිණිල්ලක්වත් කළේ නැත. ඒ සියල්ල කළේ ද ජවිපෙ ය. කරන ලද පැමිණිලිවලට අදාළව යම් යම් නඩු කීපයක් ඇසුණේ ය. ආණ්ඩු වෙනස් වෙච්ච මේ කෙටි කාලය තුළ ඒ චෝදනා සියල්ල කණපිට හැරෙමින් ඇත. චූදිතයන්ට රට යෑමේ අවසරය ලැබෙමින් ඇත. තවත් බොහෝ අය නිදහස් වෙමින් සිටිති. පරීක්ෂණ මෙහෙයැ වූ නිලධාරීන්ට එරෙහිව දැඩි මර්දනකාරී තත්ත්වයක් ඇති වී තිබේ. ඔවුන්ට එරෙහිව විශාල මාධ්‍ය මෙහෙයුමක් ද ක්‍රියාත්මක කෙරෙමින් ඇත. චෝදනාවලට ලක් වූ චූදිතයෝ ම පරීක්ෂණ කරන ලද නිලධාරීන්ට එරෙහිව සාහසික ප්‍රකාශ සිදු කරමින් සිටිති. ඒ අතර සමහර අය හාමුදුරුවන් වහන්සේලා ය. මේ තත්ත්වය තුළ අද වන විට හොරු අල්ලන්න මැදිහත් වුණු පොලිස් නිලධාරීන් රට හැර යන තත්ත්වයකට පත්ව ඇත. හොරු පොලිසිය බවට පත්ව ඇත. එය හරියට හොරා පොලිස් සෙල්ලම වගේ ය. දෙපැත්ත මාරු වෙලා සෙල්ලම් කරනවා වගේ ය. එහෙත්, ප්‍රශ්නය වන්නේ රජයේ නිලධාරීන් තමන්ට පැවරුණු රාජකාරිය ඉටු කරන්නට යෑම ය.

අද දවසේ මේ සිදු වන දේවල් දැක්කා ම කිසිදු නිලධාරියකු ඉදිරියේ දී අපරාධයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වන්නේ නැත. ඒවා මඟහැර තමන්ගේ පාඩුවේ ඉන්නට උත්සාහ දරනු ඇත. ආණ්ඩුව මේ කරන්නේ එයයි. පටන් ගන්න කොට ප්‍රධාන නිලධාරීන් කීප දෙනකුට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. අනෙක් සියලු දෙනාම ද භීතියට පත් වනු ඇත. බොහෝ වෙලාවට සම්පූර්ණයෙන් ම අනෙක් පැත්තට අංශක 360කින් හැරෙන්නට පුළුවන් ය. තමන්ගේ ජීවිතයත්, තම දරුමල්ලන්ගේ  ජීවිතත් ගැන හිතලා එවැනි තත්ත්වයකට පත්වීමේ ඉඩ වැඩි ය. එවිට පරීක්ෂණ නිලධාරීන් අනෙක් පැත්තට ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගනු ඇත. දැනටමත් නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා එවැනි දේවල් කියන්නට පටන් ගෙන ඇත. මෙච්චර දේවල් සිදුවෙමින් වෙමින් පවතිද්දීත්, මේ නිලධාරීන්ව මෙහෙයවපු යූ.එන්.පී.ය ඒ ගැන මැදිහත් වීමක් කරන්නේ නැත.

අද යූ.එන්.පී.ය මුල්තැන දීලා තිබෙන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නොවේ ය. තමන්ගේ පක්ෂයේ බල අරගලය වෙනුවෙන් ය. පටන් ගත්තේ ම විපක්ෂ නායක පොරයෙන් ය. එය එළිපිට ම සිදුවෙමින් පවතී. ඡන්දය අවසන් වෙලා දවස් දෙකක් යන කොට ම පටන් ගත්තේ ඒ සටන ය. සජිත් නියෝජ්‍ය නායක ධුයෙන් ඉල්ලා අස්වුණෙත් බොරු සදාචාරයක් පෙන්වන්නට ය. ඒකත් එක්ක රනිල් ද පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වේවි යැයි ඒ කණ්ඩායම සිතුවේ ය. එහෙත්, කිසිවක් සිදු වූයේ නැත. මේ වන විට අභ්‍යන්තර සාකච්ඡා, සංවාද ගණනාවක් පවතී. පක්ෂය ඇතුළේ නායකත්ව පොරය මෙන්ම විපක්ෂ නායකත්ව ධුරයට අදාළ පොරය ද කරළියට ඇවිත් ඇත. පරාජය හමුවේ තවත් බොහෝ අය කරඅරිමින් ද සිටිති. රාජපක්ෂ පාලන කාලයේ දීත් සිද්ධ වුණේ ඔය ටිකම ය. එදා ආණ්ඩුව බරපතළ වංචා, දූෂණ කරද්දී යූ.එන්.පී.ය කළේ නායකත්වයට පොරකෑම ය. අන්තිමේ දී මාතර කුරුඳු පොලු සටන දක්වා එය දිග්ගැස්සිණි. රනිල් විපක්ෂ නායක ධුරයේ වගකීම මුළුමනින්ම පැහැර හැරියේ ය. නාමික විපක්ෂය වුණේ යූ.එන්.පී.යයි. ඇත්ත විපක්ෂය වුණේ ජ.වි.පෙ.යි. ජනාධිපතිවරණය පරාජය වන්නට ද යූ.එන්.පී.ය තුළ තිබූ බලපොරය බලපෑවේ ය. සජිත් හදන ආණ්ඩුවේ අගමැති කවුද කියා දිගට ම අහන කොට උත්තර නොදී මඟහැරියේ ය. එහෙත්, හිටපු ගමන් රනිල් ප්‍රසිද්ධියේ ම තමන් දිගට ම අගමැති බව ප්‍රකාශ කළේ ය. රනිල් ම නම් දිගට ම අගමැති සජිත් ආවත් වෙනසක් වන්නේ නැහැ යන්න පාක්ෂිකයෝ ම තේරුම් ගත්හ. බලපොරයෙන් අන්තිමට බරපතළ අවාසියක් අත් කර ගත්තේ ය.

මේ අතරතුර ඡන්දේ අස්සේ ඇමෙරිකාවත් එක්ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කරන්නට තීරණයක් ගත්තේ ය. රාජපක්ෂලාට මේක හොඳ ස්වීප් එකක් වුණේ ය. සෙල්ලම් කරන්න හොඳ තුරුම්පුවක් වුණේ ය. සජිත්ගේ කණ්ඩායම කියන්නේ, රනිල් මේක හිතාමතාම කරපු දෙයක් කියා ය. කොහොම වුණත්, ඡන්ද ව්‍යාපාරයේ අන්තිම වෙලාවේ සිද්ධ වුණු මේ දේත් එක්ක ලොකු වාසියක් අනෙක් පැත්තට කැරකුණේ ය. දින 52 කුමන්ත්‍රණය වෙලාවේ දීත් මේ විදිහට ම අභ්‍යන්තර බලපොරය කැත විදිහට ඉස්මතු වුණේ ය. බලයේ සිටිය දීත්, බලය නැති වේලාවේ දීත් ඒ පොරය අවසන් වෙලා නැත.

මේ නිසාම අදටත් එ.ජා.ප.ය වැඩ කරන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නොව තමන්ගේ පුටු රැකගැනීම හා පුටු බෙදා ගැනීම වෙනුවෙන් ය. මේ සතියේ හදිසියේ පක්‍ෂ රැස්වීමක් තියලා, ඊ ළඟට රනිල් වික්‍රමසිංහ විදේශගත වන්නට සූදානම් ය. ‘සජිත් කැලේ පනිනවා, රනිල් රට පනිනවා, පාක්ෂිකයෝ එදා වගේ ම හැම දාමත් ඔහේ ඡන්දය දෙනවා’ තත්ත්වයට අද යූ.එන්.පී.ය පත් වී අවසන් ය. ගෝඨාභය රාජපක්ෂලා බලය ගත්ත විගස බලය තහවුරු කර  ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත. ටිකෙන් ටික ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දමන ක්‍රියාමාර්ග එකිනෙක ගනිමින් සිටිති. ඒ සඳහා වූ මතවාදය හාමුදුරුවන් වහන්සේලා කීපනමක් හරහා ව්‍යාප්ත කිරීම ආරම්භ කොට ඇත. ඊට අමතරව රාජපක්ෂලා වෙනුවෙන් ඕනෑම කුණු ගොඩක් කර ගහන හෙන්චයියලා කීප දෙනකු පාවිච්චි කරමින් සිටී. තම තමන්ගේ පෞද්ගලික වුවමනාවන් ඉටු කර ගන්න මාන බලමින් ඉන්නා මාධ්‍ය ආයතන කීපයක් ද, මේ වැඬේ ආරම්භ කොට ඇත. මේ සියල්ල සිද්ධ වෙද්දී යූ.එන්.පී.ය අභ්‍යන්තර බලපොරයේය.

පටන් ගන්න කොට ම සිදු වන මේ දේවල්වලින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂලාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහි සැබෑ ශක්තිමත් විපක්ෂයක වුවමනාව ය. කොච්චර ලොකු වුණත් යූ.එන්.පී.යට එය කළ නොහැකි බව දැනටමත් පෙන්වා දී ඇත. ඉදිරි කාලයේ දීත් තත්ත්වය මීට වඩා බැරෑරුම් වෙනවා මිසක් පහසු වන්නේ නැත. පාර්ලිමේන්තුව හදිසියේ ම කල් තියලා බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික වාර්තාව එළිදැක්වීම වළක්වා ගත්තේ රනිල්ගේ ද අවබෝධය ඇතිව ය. ඒ බව සක්සුදක් සේ පැහැදිලි ය. එම වාර්තාවෙන් එළියට එන්නේ 2002 වර්ෂයේ සිට 2015 දක්වා වූ බැඳුම්කර ගනුදෙනු සියල්ල ය. ඒ කියන්නේ දෙන්නාගේ ම පැටිකිරියයි. මෙවන් ඩීල් දේශපාලනයක් තුළ සැබෑ විපක්ෂයේ භූමිකාවක් යූ.එන්.පී.යෙන් කොහෙත් ම බලාපොරොත්තු විය නොහැකිය. දැන් ඔවුන් කියන්නේ ඊ ළඟ ආණ්ඩුව හදන බව ය. ආණ්ඩුව හැදිල්ල කෙසේ වෙතත්, ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු මූලික ම වගකීමවත් ඉටු කර ගත නොහැකි බංකොළොත් තත්ත්වයක ඉන්න යූ.එන්.පී.ය ගැන ජනතාවට කිසිදු විශ්වාසයක් නැත. යම් හෝ විශ්වාසයක් සජිත් කෙරෙහි තිබුණා නම්, අද වන විට එයත් බිඳවැටී ඇත. සජිත් විපක්ෂ නායක වූ පමණින් ජනතාවට තබා අඩුම තරමින් එක්සත් ජාතික පාක්ෂිකයන්ටවත් ඇතිවන සුගතියක් නම් නැත. මේ බැරෑරුම් තත්ත්වය හමුවේ රටේ ජනතාවගේ සාධාරණ අයිතිය වෙනුවෙන් මැදිහත් වන ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාව ඉතිහාසයටත් වඩා තදින් දැනෙමින් ඇත.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

3 + four =