මරණ දඬුවම නියම වූ 9ක් නිදහස් – මහාධිකරණ තීන්දුව ප්‍රශ්නයක් !

මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනකු එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය පසුගිය 15දා නියෝග කළේය.

හලාවත මහාධිකරණය 2019 පෙබරවාරි අට වැනිදා නියම කළ එම දඬුවම ඉවත් කර විත්තිකරුවන් නිදහස් කිරීමට තීන්දු කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් බී අබේකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි. විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර සභාපති විනිසුරුවරයා ඊට එකඟත්වය පළකර තිබේ.
මහාධිකරණයේ තීන්දුවට එරෙහිව විත්තිකරුවන් පිරිස අභියාචනාධිකරණයට කර තිබූ අභියාචනයක් විභාගයට ගෙන තීන්දුව ලබා දෙමින් විනිසුරු මඬුල්ල මෙම නියෝගය කළේය.
එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු නව දෙනකුට මරණ දඬුවම නියම කිරීමේ සිදුවීම 2019 පෙබරවාරි මාසයේදී ජනමාධ්‍යවල කතාබහට ලක්වූ පුවතක් විය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් 2001 වසරේ ජුනි මස 24 දින හෝ ඊට ආසන්න දිනයකදී මාරවිල මුදුකටුව ලංසිගම ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය මහලේකම්ගේ ලයනල් ප්‍රනාන්දු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී තිබුණේ වරුණකුලසූරිය නිමල් අජිත් ප්‍රනාන්දු, ඩබ්ලිව් ජෙරාඩ් සුගත් ප්‍රනාන්දු, පී පැට්‍රික් ඔස්වල්ඩ් ප්‍රනාන්දු, ඩබ්ලිව් අජිත් ඇන්ටන් පීරිස්, ඒම් ජෝසප් ට්‍රෝනි විජේන්ද්‍ර ප්‍රනාන්දු, ඒ් ඒම් ඩොනල්ඩ් සමන්ත පීරිස්, ඒ් ඒල් කොන්රාජ් රනිල් පීරිස්, ඒම් ලියනගේ චමින්ද ඩික්සන් ප්‍රනාන්දු සහ අයි සනත් ප්‍රසන්න ප්‍රනාන්දු යන පිරිසටය.

මේ විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. මහාධිකරණයේදී විත්තිකරුවන් 10 දෙනකුට අධිචෝදනා ගොනු කර තිබුණද නඩු විභාගය අතරතුර දෙවැනි විත්තිකරු මියගොස් තිබිණි.

මහාධිකරණ විනිසුරුවරිය පැමිණිල්ලේ සාක්කි නිවැරදිව විශ්ලේෂණය කිරීමට අපොහොසත්වීම, පැමිණිල්ල මෙහෙයවූ සාක්කිවලට වඩා විත්තියේ සාක්කි අනුව නඩුව තීරණය කිරීමෙන් අපරාධය ඔප්පු කිරීමේ භාරය පිළිබඳව තමන්වම නොමඟ යවා ගැනීම, අභියාචකයන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම මත වැරදිකරුවන් කරනු ලැබුවද නඩු තීන්දුවේදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ගැන සාක්කි සලකා බලා විශ්ලේෂණය කර නොතිබීම ආදී කරුණු 10ක් මෙම අභියාචනය යොමු කිරීමට පදනම්වී ඇත.

-තරිඳු ජයවර්ධන

Leave A Reply

Your email address will not be published.

two + 2 =