‘රහස් කියන කඳු’ නැරඹීමෙන් ලත් ප්‍රහර්ෂය නිසා ලියවුණ සටහනක්

සිංහල චිත්‍රපටයක් නැරඹීමෙන් පස්සෙ ප්‍රහර්ෂයක් දැනුණෙ බොහොම කාලෙකට පස්සෙ. අවසාන වතාවට එවැන්නක් දැනුණෙ බුඩීගෙ ‘මිල්ලෙ සොයා’ චිත්‍රපටයෙන්. ‘මචං’ ඒ් ප්‍රහර්ෂය ලබා දුන්නට ඒ්ක ලාංකික චිත්‍රපටයක් නෙමෙයි.

රහස් කියන කඳු නැරඹීමෙන් පස්සෙ පූර්ණිමා කිව්වෙ ඒ්කෙ තිබ්බ දේවල් තාර්කික නෑ කියලා. සම්මත ආඛ්‍යාන රීතියෙ චිත්‍රපට නරඹලා පුරුදු කෙනෙකුට එහෙම හිතෙන ඒක සාධාරණයි. අනිත් පැත්තෙන් ජගත් තමන්ගෙ චිත්‍රපටයෙන් නිරූපණය කරන විදිහෙ කාල සමයක ඇය ජීවත් වෙලා නෑ. සිනමා ශාලාවෙ ඉඳන් සාදය පැවැත්වුණු තැනට යනකල් මමත් බිරිඳත් ඇයට අප නව යොවුන් වියේ දී පසු කරපු ඒ් කාල පරිච්ඡේදය ගැන විස්තර කළා. අන්තිමේ දී පූර්ණිමා තේරුම් ගත්තා ඒ් යුගය මුල මැද සහ අග සහිත තාර්කික කතාන්දරයකින් නිරූපණය කරන්න බෑ කියලා.

ජගත් තමුන්ගෙ ප්‍රකාශනය උදෙසා පාවිච්චි කරන්නෙ දෘෂ්ටාන්ත එළඹුමක්. ඒ්ක අපට නුහුරු දෙයක් නෙමෙයි. මිනිස්සු අතීතයේ ඉඳන් ලෝකය තේරුම් ගන්න දෘෂ්ටාන්ත පාවිච්චි කළා. ජනකතාවල ඉඳන් බයිබලය, ජතක පොත ආදී වූ ආගමික ආඛ්‍යානවල මේ දෘෂ්ටාන්ත කතා ශෛලිය පාවිච්චි වෙනවා. බර්ටලෝට් බ්‍රෙෂ්ට් තමයි මේක නූතන යුගයට ගෙනත් තමුන්ගෙ දේශපාලන අදහස් ප්‍රකාශ කරන්න ප්‍රබල ආකාරයකින් යොදා ගත්තෙ.

ජගත්ගෙ ප්‍රකාශනයෙ මම දකින සුවිශේෂතම ලක්ෂණය තමයි භාවාතිෂය නොවන අකාරයෙන් සිදුවීම් දාමය දිග හැරීම. ඒ් ඔස්සේ ප්‍රේක්ෂකයාට මේ සිදුවීම් දෙස දුර ඉඳන් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් උදා වෙනවා. දුර ඉඳන් බලනකොට තමයි සැබෑව සැබෑ විදිහට පේන්න ගන්නෙ. බුදු හාමුදරුවොත් කිව්වෙ කන්දක් උඩට ගිහින් බලන්න කියලා. මේ අඛ්‍යාන රීතිය ලංකාවෙ සිනමාව තුළ මුලින්ම භාවිතයට ගත්තෙ ධර්මසේන පතිරාජ. පතිරාජගෙ දුර රූප භාවිතාව ජගත්ගෙ චිත්‍රපටය ඇතුළෙ මම දැක්කා. හැබැයි සමහරු වගේ විලාසිතාවක් විදිහට නෙමෙයි. ඒ්කයි සුවිශේෂතාව. ඔහු මේ දුර රූපය භාවිතා කරන්නෙ ප්‍රේක්ෂකයා අවස්ථාවෙන්, චරිතවලින් දුරස් කරන්න. කන්ද උඩ ඉඳන් බලාගෙන ඉන්න අපට අවස්ථාව සළසල දෙන්න.

බොහෝ ලාංකීය සිනමාකරුවන් වගේ ජගත් නවකතාවක්,කෙටි කතාවක් හෝ ටෙලි නාට්‍යයක් චිත්‍රපටයට නගන්නෙ නෑ. ඔහු අපට ඉදිරිපත් කරන්නෙ චිත්‍රපටයක්. සිනමාත්මක ආඛ්‍යානයක්. මේක ආස්වාදනීය වෙන්න ඒ්කත් මට බලපෑවා.

ලංකාව වගේ රටක් ඇතුළෙ සිනමාව තමුන්ගේ ආත්ම ප්‍රකාශනය විදිහට තෝර ගන්න ඒක ලේසි වැඩක් නෙමෙයි. ජගත් මේ චිත්‍රපටය වෙනුවෙන් කරපු කැප කිරීම, වින්ද දුක් වේදනා, මුණ ගැහුණු බාදක ගැන මම දන්නවා. ඒ්ක තනිකරම දුෂ්කරක්‍රියාවක්. (මං මගේ ආත්ම ප්‍රකාශනය විදිහට නවකතාව තෝර ගත්තෙ මට මේ දුෂ්කරක්‍රියාවේ යෙදෙන්න බැරි හින්දා) කොහොම හරි අන්තිමට ජගත් අපට ඉතා විශිෂ්ට සිනමාත්මක අත්දැකීමක් තිළිණ කරනවා.
‘රහස් කියන කඳු’ ගැන තනි වැකියකින් කියනවා නම් ‘මේක තනිකරම චිත්‍රපටයක්.’

– අරුණ ප්‍රේමරත්න (fb)

 

Leave A Reply

Your email address will not be published.

2 − one =