” ‘චුට්ටා’ කෘතියෙන් ලහිරු ෆැන්ටසිය අත්ඇරල යථාර්ථය කියන්න ගත්තු උත්සාහය සාර්ථකයි – ඔහු මහපොළවේ දරුවෙක් නිර්මාණය කරනවා”

‘චුට්ටා’ යොවුන් නවකතාව ජනගත කිරීමේ උත්සවයේ දී මනෝරම වීරසිංහ විසින් කළ කතාව.

ලෝකයේ අපි පොදුවේ පිළිගන්න කාරණාවක් තමයි, ළමයින්ට පොත් ලියන එක ඉතාම අමාරුයි කියල. ඒක ඇත්ත. කුඩා දරුවන්ගේ මනස තේරුම් අරන් පොත් ලියන එක අභියෝගයක්. නමුත් යෞවනයන් කියන්නේ වැඩිවිය පැමිණිලා, කරදඬු උස් මහත්වෙන පරපුරක්. ජීව විද්‍යාත්මකව ඔවුන්ගේ ටෙස්ටෙස්ටෙරොන් සහ ඊස්ට්‍රජන් හෝමෝන ශ්‍රාවය ආරම්භ වන කාලෙ. කුණාටු මනසක් තියෙන්නෙ. කොයිපැත්තට හැරෙන්න යනවද කියල හිතාගන්න අමාරුයි. ඉතින් එහෙම අය දිශානුගත කරන්න සුදුසු සාහිත්‍යයට, යෞවන සාහිත්‍යය කියල කියන්න පුලුවන්. ඒක ආගමකින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක පුළුවන් දක්ෂ ලේඛකයෙක්ට පමණයි.

ලෝකයේ මේ ප්‍රවර්ගයට විවිධ නම් පාවිච්චි කරනවා. ‘ටීන් ලිට්රචර්’ ‘යන්ග් ඇඩල්ට්’ යන ඉංගිරිසි වදන් වලින් අර්ථ ගැන්වූවත් මේ පොත් වල ඉලක්කගත පාඨක ප්‍රජාව වන්නේ වයස 12-19ත් අතර යෞවනෝදයටපත් තරුණ දරුවන්. ‘යන්ග් ඇඩල්ට්’ ප්‍රවර්ගයේදී තරමක ලිංගිකමය, භීෂණාත්මක, ප්‍රේමනීය ප්‍රවිශ්ඨයක් ඇතැම් කෘතිවල ලබාදීලා තියෙනවා. අපේ රටේ ඒක නැහැ, කොහොම වුණත් ලංකාවේ මේ ප්‍රවර්ගයට වයස් භේදයක් නැහැ වගේම ප්‍රබන්ධ කෘති පවා දරුවන් වයස 15-16 වන විට කියවා හමාර කරනවා. ලංකාවේ මේ වයස් ප්‍රජාව තීරණය කරන්නේ අවුරුදු 10-15ත් වගේ කෙටි කාල සීමාවක්. අනික ලංකාවේ ළමා සාහිත්‍යයත් කොයි තැනක තියෙනවද කියන එක ගැන කාටවත් නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. ශ්‍රී ලංකාවේ යොවුන් සාහිත්‍යය කියන කාරණාව සම්මාන ලබාදීමේදී පවා සලකා බැලෙන්නේ 1980 වර්ෂයෙදි. ඊට වසර 50කට පමණ පෙර කුමාරතුංග මුනිදාස පඩිතුමා යෞවනයන්ට කෘති රචනා කරල තියෙනවා. නමුත් අපේ යෞවන සාහිත්‍ය ඉතිහාසය අද අපි මේ ඉන්න කුරුණෑගල යුගය දක්වා දිවෙනවා. ඒ වීරසිංහ දේව පතිරාජ අමාත්‍යවරයා ලියපු උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයින්ගේ කතාව, ජාතක පොතේ සාම කුමාරයාගෙ කතාව පවා මේ අභාසය තියෙන නිර්මාණ. මම හිතන විදියට ලෝකයේ පළමු රහස් පරීක්ෂක කතාවත් උම්මග්ග ජාතකය.
දැන් මේ යෞවන සාහිත්‍යයේ ඉලක්කගත ප්‍රජාව ගැන කතාකරා වගේම මේවායේ අරමුණ ගැන යමක් කිව්වොත් මේ හැම නිර්මාණයකටම අඩුවැඩි වශයෙන් පසුබිම් වෙන්නෙ වීරත්වය, ඊට පස්සෙ තමා අනික් කාරණා. උසස් පරමාර්ථයන් ලගාකරදීම, ධෛර්යය-උනන්දුව-ආශාව ඇතිකරදීම, චිත්තවේග පාලනය, ජීවිතයේ අරමුණු හඹායෑම වගේ දේවල් මේවට ප්‍රස්තුත වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ ඊට වෙනස් ප්‍රවණතාවන් ලෝකයේ දක්නට ලැබෙනවා. ෆැන්ටසිමය නවකථා, අද්භූත කතා, රහස් පරීක්ෂක කතා වගේ ඒවා දක්වාම ලෝක සාහිත්‍යයේදී මේක පුළුල් වෙලා. සරලව කිව්වොත් අද වැඩිහිටියන් කියවන පොත් රැසක් ‘ටීන් ලිට්රචර්’ යටතට වැටෙන්නෙ. Association of American Publishes ආයතනය පසුගිය කාලයේ අලෙවි වූ කෘති සහ එහි පාඨක ප්‍රජාව අළලා කළ සමීක්ෂණයකින් ඉදිරිපත් කරල තියෙන ඇතැම් කෘති මම පවා කියවල වසර දෙක තුනකට වඩා නෑ! හොබිට්, හන්ගර් ගේම්ස්, ටු කිල් අ මොකිංබර්ඩ්, ෆැරන්හයිට්, ට්විලයිට් සාගා, කෝල් ඔෆ් ද වයිල්ඩ් වගේ පොත් ලෝකයේ යෞවන යෞවනියන් වැළදගන්න කෘති වෙලා තියෙනවා. ඒවා හැම එකකම අර පියදාස සිරිසේන මහත්තයාගෙ පොත් වගේ උදාර පුරුෂාර්ථ සාධනය කිරීම, කාන්තාව තැන්පත් කරවීම, දේශප්‍රේමීත්වය වගා කිරීම වැනි දේවල් නෙවෙයි තියෙන්නෙ. වගා කරා කියල වෙච්චි යහපතකුත් නැහැනෙ. නමුත් මේවයින් මනුෂ්‍යත්වය කියන දේ ගැන ලොකු කතන්දර තියෙනවා.

ගැටවරයින් කියන්නෙ එල්ලෙන්න අතු හොයන, ක්‍රීඩකයන්, නළුවන්, වීරයන් පුදන මේ හරියට මැටි පිඩක් වගේ වයසක්. ඒකෙදි මේ ගැටවරයාව යන දිශාව තීරණය කරන එක හෝ ඔහුව වෙනස් කරන එක දක්ෂ ලේඛකයෙක්ට පුළුවන් දෙයක්. ඒ වගේම ඔහුව වැරදි මාවතකට වැටුණොත් ලේසියෙන්ම මොළ ශෝධනයකට ලක්කරන්නත් පුලුවන් වයසක්. ඉතින් මේ වයස් කාණ්ඩ වලට ලියන අය ප්‍රවේසම් විය යුතු කාරණාව තමා මේ ලියන්නේ ගැටවරයන්ට මිස වැඩිහිටියන්ට නොවන බව. ඒකෙ අනික් භයානක තත්ත්වය නම් ලෝකයේ මේ සාහිත්‍යාංගය, නවකථාව-කෙටිකතාව-කවිය තරමටම පර්යේෂණයට හා අවධානයට ලක් වෙද්දි ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක අද වන තෙක් මේ යොවුන් සාහිත්‍යාංග ගැන කතාබහට හෝ අධ්‍යයනයන්ට ලක්වෙන්නෙ නෑ. වෙනත් රටවල් වල ජනප්‍රිය ගණයේ ත්‍රිලර්, හොරර්, සයිකොලොජිකල් ත්‍රිලර් වගේ ශානරයන් ගැන විශාල බුද්ධිමය සංවාද සහ උපාධි පාඨමාලාවන් පවා තියෙනවා. මම හිතන්නේ 1956 දි ආපු සාහිත්‍ය අච්චු නිසා ඒවා අවර ගණයේ දේවල් විදියට විද්වතුන් නම් කරන නිසා වෙන්න ඇති. අවාසනාව තමා ඒ 56 වගේ කාලෙන් ආව ‘සුභාවිත සාහිත්‍ය’ කියා දෙයක් අපිට හ‍්ඳුන්වාදුන්නායැයි කියන ගුරුකුලවල ගෝලබාලයින් ඉංග්‍රීසි නොදන්නා නිසා අදත් අර පරණ පොත්ම පට්ටා ගසමින් ඉගැන්වීම් වල යෙදෙනව. එත් ලෝක සාහිත්‍යය අපිව පහුකරල ගොඩක් දුර ගිහින්. ඒත් අපේ ලංකාවේ සිට ලියන කිසිදු කෘතියක් ජාත්‍යන්තර අවධානය දිනාගෙන නෑ.

අපේ රටේ යෞවන සාහිත්‍යයේ නිදර්ශන කෘති දෙක විදියට සලකන්නේ මඩොල්දූව සහ අඹ යහළුවො. ඇත්තටම ඉතාම හොඳ කෘති දෙකක්. නමුත් ඒ ආශ්‍රයෙන් ඊට පස්සෙ බිහිවෙච්චි යොවුන් සාහිත්‍ය තුළ වීරත්වය පෙන්වන්න ගියේ එක්කො නිධන් මංකොල්ලයක් ඇල්ලීම, කසිප්පු ජාවාරමුන් පොලිසියට කොටුකර දීම, කැලයක අතරමං වෙලා පාර ඒකෙදි ලබන අමුතු අත්දැකීම් වගේ දේවල් තමා පොදු අවධානයට යොමුවෙලා තිබුණෙ. ඒ දේ වෙනස් කරපු ලේඛකයො හිටියා. හැබැයි වැදගත්ම දේ වෙන්නෙ යෞවනයන්ට කියවිය හැකි කෘති තිළිණ කිරීම. පොත ආසාවෙන් කියවන්න බැරි නං ඒක ඇතුලේ මොන න්‍යාය තිබ්බත් වැඩක් නෑ. දැන් කුලසේන ෆොන්සේකා මහත්තයා ඒ දේ කරා, ඔහු ඉනිට් බ්ලයිටන් පොත්, හාඩි බෝයිස් පොත් ඇසුරෙන් අපිට කල්ලන්දූවේ මුතුකොල්ලය, සෝමපුර වීරයෝ, තුන්යහළු වික්‍රමය ලියල දීලා එතනින් පස්සේ එයාගෙ පාඨකයො යම් ඉහළ තැනකට ගන්න ‘රන්සිරිගේ සංග්‍රාමය’ ලියනවා. නමුත් එතුමා අවාසනාවන්ත ලෙස අප අතරින් සමුගත් නිසා ඒ කාර්යය දිගට කරගෙන යන්න ලැබෙන්නෑ.. රංජිත් ධර්මකීර්ති මහත්තයාත් ඒ යෞවන සාහිත්‍යයට ලොකු සේවයක් කරපු කෙනෙක්. ඒ වගේම ලහිරුගෙ ‘චුට්ටා’ කියවද්දි මගේ මතකයට ආවේ සම්මානිත ලේඛිකා සේපාලි මායාදුන්නේ මැතිනිය ලියපු ‘සෙල්ලම් කාලෙ’. මම ආනන්දයට පත්කරපු මම කියවපු හොඳම ළමා නවකථාව ඒක. ඉතාම කුඩා පොතක් නමුත් එහි අත්දැකීම් ලහිරු කියන්න හදන දේ එක්ක සමපාත වෙනවා. ලහිරුත් පාදක කරගන්නේ විත්ති කතා මොඩලය. ඒ කියන්නේ ගමේ සිදුවූ සංසිද්ධියක් ඇසුරෙන් එය තමුන්ට ගෝචර වෙච්චි විදිය කියන එක. නමුත් මෙහි අත්දැකීම වෙනස් මඩොල්දූවෙන් පස්සෙ ‘දකුණෙ කතාවක්’ මම හිතන්නේ ලියවෙලා නැහැ. එහෙම වෙනස් අත්දැකීම් අපිට දීපු ලේඛකයො සහස්‍රකයෙන් පස්සෙ බොහොමයක් හිටියා, අනුරසිරි හෙට්ටිගේ මහත්තයා, මහින්ද කුමාර දළුපොත මහත්තයා, ටෙනිසන් පෙරේරා මහත්තයා වගේ තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිපපොළක්ම යම් මතක හිටින මැදිහත් කිරීමකට සමත් වෙනවා. අපේ ආසන්න පරම්පරාවේ ප්‍රියාන් විජේබණ්ඩාර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ප්‍රබෝධ කහඳගමගේ, වගේ තවත් අය ඒ වෙනස් අත්දැකීම ටිකක් ඉස්සරහට අරගෙන ගියා. මෙතනදි නම් සඳහන් කරේ එකවර මතකයට නැගුණ මම කියවපු ලේඛක-ලේඛකාවන් කිහිපපොළක් පමණයි.

කියන්න කනගාටු කාරණාව තමයි, අපේ යොවුන් නවකථාවත් අපේ නවකථාව වගේම රාජධානි විතැන්වීම වගේ තව තැනකට මාරු වෙලා තියෙනවා මිස. වඩා වෙනස් හා අලුත් අත්දැකීමක් දෙන්නෙ නෑ කියන එක. ලෝකයේ ප්‍රබන්ධකරණයේදි හමුවෙන සාහිත්‍ය ශානර වලින් ලංකාවේ අපි යොදාගෙන තියෙන්නෙ ඉතාම අල්ප මාත්‍රයයි. නමුත් ඊලගට කියන විදේශීය යොවුන් සාහිත්‍ය කෘති එක්ක බලද්දි අපි ජාත්‍යන්තරයට නොගිහින් අපි තවමත් ගමේම නැවතිලා ඉන්නවා කියල තේරෙනවා. ඒක නිසා ලියන්න පුලුවන් අය, මෙතන ඉන්න දරුවො මේකට අලුත් හැඩයක් දෙන්න ඕනි. ඒකට බටහිර නවකථා වල ආභාසය ගත්තා කියල කිසි වැරැද්දක් නෑ. මෑතකදි මම අට වැනි ශ්‍රේණියේ දියණියකගෙ කෘතියක් කියෙව්වා ‘හිඩ්න්හෝල්ස් හි සොඳුරු මිතුදම්’ කියල. ඒක තනිකරම විදෙස් නම්ගම්, චරිත, ගම් පසුබිම් කරල ලියපු අපූරු පොතක් හැබැයි ඒක කියවද්දි අපිට හැරි පොටර් හෝ ලිට්ල් හවුස් පොත් මතක් වෙන එක තමයි අඩුපාඩුවකට තිබුණේ. ඒක හොඳ උත්සාහයක්.

මේ වයසෙදි දරුවන්ගේ සිතේ නායකත්වයේ ආසාව, ප්‍රගතිශීලි බව, සමාජවාදී වීරත්වය, විරුද්ධ ලිංගික නැමියාව, ප්‍රසිද්ධියට ඇති ආසාව, පරිත්‍යාගය වගේ කාරණා හිත්වල දැල්වෙනවා. නමුත් විදෙස් ලේඛකයන් ඒවා විශාල වශයෙන් පාවිච්චි කරනවා ළමයින්ගේ පෞරුෂය ගොඩනංවන්න. ඒ වගේම මානසික පවිත්‍රතාව ඇති කරන්න. ඒකෙදි අර අපි නිතර දාපු ‘සාරධර්ම’ කියන වට්ටෝරුව ඔබන්නේ ඉතාම සියුම් විදියට. යථාර්ථවාදී බව, සුබවාදීත්වය වගේ දේවල් ඒ කතා තුළ තියෙනව වගේම ෆැන්ටසිය මේ කතා වල විචිත්‍රවත්භාවය වැඩිකරනවා. 1697 දී චාල්ස් පෙරෝල් කියන ලේඛකයා තමා නවයොවුන් සාහිත්‍යය මුලින්ම හදුන්වා දුන්නා කියල සලකන්නෙ. ඔහු තමා ගැමි කතා, විත්ති කතා එකතුකරල ඒක සුරංගනා කතා කියන නාමය ගෙනාවෙ. අපි කවුරුත් දන්න ‘රතු හැට්ටකාරි’, ‘සින්ඩරෙල්ලා’ ඔහුගේ නිර්මාණ මුල් කාලෙ අපේ ජනකතා හෝ ජාතක කතා පටන් ගත්තු විදියට නෙවෙයි පැරොල් පටන් ගත්තේ ඔහු අලුත් දෙයක් හිතුවා. ඒ ඇසුරේන් ඒ අය ‘හොඳ දේවල්’ නරක දේවල් ගැන යම් අදහසක් යොවුන් දරුවන්ට දුන්නා. ග්‍රීම් සහෝදරයොත් ඒක දිගට ගෙනිච්චා. පසු කාලීනව නවකථා විදියට සැලකුවත් ලොව පළමු යොවුන් නවකථාව ලෙස සැලකෙන ඩැනියෙල් ඩැෆෝගේ රොබින්සන් කෲසෝ වගේම පසුව ලියුවුණු ජොනතන් ස්විෆ්ට් ගේ ගලිවර්ගේ චාරිකා වගේ කෘති ලෝකයේ අතිශයින් ජනප්‍රිය වුණා. අදටත් ඒවා විශාල ලෙස අලෙවි වෙනවා සියවස් කිහිපයක් ගත වුණත්. යොවුන් සාහිත්‍යය කොච්චර මේ යොවුන් වියේ සිටි අයට බලපානවද කියන එක තේරුම් ගත්තු එකම පුද්ගලයෙක් ලංකාවේ හිටියා. ඒ ටයිටස් තොටවත්ත මහත්තයා. එතුමා දරුවන්ට අවශ්‍ය වීරත්වය, පෞරුෂය, ගුණධර්ම කියාදෙන්න අපූරු රූපවාහිනි චිත්‍රපට මාලාවක් අසූව දශකයේ ජාතික රූපවාහිනියෙන් විකාශය කළා. අදටත් අපි පොත් කියවන්නේ ටයි මහත්තයට පින් සිද්ද වෙන්න. සුරගන කතා කරළිය තුළින් ඔහු බය නැතිව සිංහල භාෂාවෙන් ඒවා අපූරු ලෙස හඩකැව්වා. එහිදි ඔහු සුභාවිත, සදාචාරවත් වචනම පාවිච්චි කරෙත් නෑ.. මොකද පොත් කියවන්නේ නැති, ඉංගිරිසි නොදන්න දරුවන්ට සාහිත්‍යයක අවශ්‍යතාව ඔහු අදුනගන්න ඇති.

1952 ස්විට්සර්ලන්තයෙ සුරිච් නුවරදි පළමු වතාවට යෞවනයන් සඳහා වූ ග්‍රන්ථ මණ්ඩලයක් පිහිටුවනව. ඊට රටවල් 52ක් ඇතුළත් වෙන්නෙ මෙහි වැදගත්කම නිසා. ඒ හරහා ඒ අය බලාපොරොත්තු වුණා අලුත් ලෝකය ගැන දරුවන්ට කියාදීමත්, පෞරුෂය ගොඩනැංවීම වගේ කාරණා. ඒ හරහා ඔවුන් සම්මාන උළෙලක් පවා පවත්වනවා. දැන් අපි උදාහරණ ලෙස චාල්ස් ඩිකන්ස් ගේ ඔලිවර් ට්විස්ට්, රෝලිංග්ස්ගේ හැරි පොටර්, වන් ඔෆ් ද ගුඩ් වන්ස්, ඩේවිඩ් විලියම්ස් කතා, ලිට්ල් හවුස් කතා, වගේ කතා පොත් ගත්තොත් මේවා එකකට වෙනස්, එකක ගැටවරයෙකුගේ ළමා වියේ ශෝකාන්තය හා එකල සමාජය ගැන, තව එකක මායා ලෝකයක තරුණ දරුවන්, තවත් එක කලු ජාතික දැරියන් අතර අසමානතා, තවත් කතාවල උපහාසය, පැරැණි යුරෝපීය ගැමි දිවිය වගේ වෙනස් කාරණා තියෙන්නෙ. මේ වගේ උදාහරණ සිය ගණනක් පෙන්වන්න පුලුවන්. නමුත් ඒ හැම එකකම අපිට විවිධත්වය, ජාතීන් අතර අනන්‍යතාවන්ට ගරුකිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය වගේ කාරණා කතාකරන ඒවා. ඒවා තමා යුරෝපයේ කියවන්නේ. ඉතා දියුණු සමාජයක් නිර්මාණය කරන්න ඔවුන්ට අවශ්‍යයි. මව හෝ පියාගෙන් එක් අයෙකු පමණක් සමග ජීවත් වීම වගේ කාරණා එයාලට සාහිත්‍යය තුළ කියල දෙනවා. ලංකාවෙ සිංගල් පේරන්ට් කෙනෙක් කිව්වාම අම්මල දිහා වපර ඇහින් බලනවා. මේවා නැතිකරන එකයි සාහිත්‍යකරුවන්ගේ වගකීම.

1994 ස්පාඤ්ඤයේ පැවැති යොවුන් සාහිත්‍ය උළෙලේදී බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ළමා සහ යොවුන් සාහිත්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය රොනල්ඩ් ජෝබ් මෙන්න මෙහෙම කියනවා.
”වගකීමක් ඇති යොවුන් නවකථාකරුවෙකුට යෞවන වයස ගැන හිතන්න සිද්ධවෙනවා. ඔහු ඒ අනුව ගුණාංග නුගුණ දැල්විය යුතුයි.”

අවසාන වශයෙන් මම කියන්නේ ලහිරු මේ දරණ උත්සාහය මෙතනින් ඉදිරියට තව පියවරක් තැබිය යුතුයි. ‘චුට්ටා’ හිච්චාගේ සිට නවයොවුන් තරුණයෙක් වෙද්දි එයාගෙ සිතුම්පැතුම් වෙනස් වෙන විදිය ඉදිරිපත් කිරීම මම දකින විශේෂ වෙනසක්. ගැටවරයාගෙ භාෂාව පවා වෙනස් වෙනවා. මේ වෙනස තවත් මෙවැනිම කතාවකින් කිව්වට කමකුත් නෑ. තරුණ අදහස් යොවුන් අදහස් ප්‍රකාශ කිරීම ඉදිරිපත්කිරීම කියන කාරණාව ගත්තාම ඇති. සම්මානිත තරුණ ලේඛකයෙක් වන ලහිරු කිතලගම තමුන්ගේ පළමු යොවුන් නවකථාව තුළ තමුන්ගේම අනන්‍යතාව තියල තියෙනවා. ඔහු දකුණේ ලේඛකයෙක් කියල මම දැනගත්තේ මේ පොතෙන්. සමහර විට ළහිරුගෙ ජීවිත අත්දැකීම් මේ තුළ ගැබ් වෙලා ඇති. අත්දැකීම් තමා මිනිහෙක් පෝසත් කරන්නෙ. ලේඛකයෙක්ටත් එච්චරයි. සමහර තැන් වල මම දැක්කා කාලය පිහිටුවීමේ සම්බන්ධ යම් ගැටලු. හේතුව ශ්‍රී එෆ් එම් ඉරිදා නිධානය ගැන කියන්න කලින් කතාවක ලයිට් නෑ කියලත් කියල තියෙනවා. මොකද 2000න් පස්සෙ එහෙමත් ගමක තමා ලයිට් නැත්තෙ.! කොහොම වුණත් එක දෙයක් ස්ථිරව කිව්වැහැකි. මේ කෘතිය ලබන වසරේ මොනයම් හෝ සම්මාන උළෙලක නිර්දේශිත ග්‍රන්ථ අතර තියේවි. එහෙම තියන්න බැරි වුණොත් අපිට හිතන්න වෙනවා ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලය වගේ එකක් ඒකෙත් ඉන්න ඇති කියල! මොකද ලහිරු ෆැන්ටසිය අත්ඇරල යථාර්ථය කියන්න ගත්තු උත්සාහය සාර්ථකයි. ලහිරු මහපොළවේ දරුවෙක් නිර්මාණය කරනවා. දරුවාගේ රූපාන්තරණයන් තුළ අපිට මිනිස්සුන්ගේ ප්‍රශ්න වගේම දරුවන්ගේ ප්‍රශ්නත් තියෙන බව කියනවා. ඉතින් මේ කෘති වලට යම් ‘තල්ලුවක්’ දෙන එක ඔහුට උත්තේජනයක් වේවි. ඉතින් ලහිරුට සුබපතන්නේ ආදරෙන්. මම පොදුවේ ‘කවි’ වලට කැමති නෑ. ලහිරුගෙ කවිපොතක් ගෙදරත් තියෙනවා. ඒ ගත්තේ යාලුකමට මිසක් බලන්න නෙවෙයි. මොකද කවි එපා වුණේ අවුරුදු 14ක් ෆේස්බුක් එකේ ඉන්නකොට ඇතැම් කවියො සහ කිවිඳියො අතර තිබ්බ යම් යම් හැසිරීම් හා ගතිගුණ ඔවුන්ගේ නිර්මාණ වල වගේ දැක්ක නැති නිසා. මම හිතන තරං හොඳ මිනිස්සු හමුවෙලා තියෙන්නෙ ටිකයි. හැබැයි නිර්මාණයයි, නිර්මාපකයයි සංසන්දනය තරන එක එහෙම්පිටින්ම වැරදියි. ඒත් ඉබේම එහෙම වෙනවා නිතර ගැටෙන කොට. කොහොම හරි රටේ අඩු අවධානයක් තියෙන මේ සාහිත්‍යාංගයට ආවට ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ මේ තියෙන යොවුන් සාහිත්‍ය රික්තය පුරවන්න මස්ඉඹුල මහත්තයල, ලහිරුල ගන්න උත්සාහයට අපි ඕනම සහයෝගයක් දෙනවා. අපිට වැඩිහිටියො හදන්න බෑ.. අපි අලුත් පරම්පරාවවත් හදමු. බණ කියල මිනිස්සු හදන්න බෑ.. ඒත් ලේඛකයෙක්ට ඒක කරන්න පුලුවන්…
ස්තූතියි.

– මනෝරම වීරසිංහ

Leave A Reply

Your email address will not be published.

1 × three =