සැබැවින්ම චෙම්මිනියට කවදත් නිදහස් සුළඟ අහිමිය ‘දුක් සැප කුමන්දා’

දුක් සැප කුමන්දා -සුදත් දේවප්‍රිය
මා චෙම්මීන් කියවූවේ යොවුන් අවධියෙහි ය. මලයාලම් බසින් ඉස්සන් හට චෙම්මීන් කියා බව දැන ගත්ගේ එවිටය. තකෂි ශිවසංකර් පිල්ලේ ගේ මේ රමණීය නවකතාව ජයන්ත විමලසේන විසින් කදිමට සිංහලට පරිවර්තනය කර තිබිණි. කරුතම්මා සහ පරිකුට්ටි ජීවිතයට සමීප වන්නේ එලෙසිනි. චෙම්මීන් කියවා විඳි ආශ්වාදයට පසුරා පටහැනි ලෙස චෙම්මිනි ය යළි ජීවිතයට සමීප වන්නේ යුද ගිනිදැල් මැද අඳුරු සිතුවමක් ලෙසටය. මේ චෙම්මිනි ය ඉස්සන් නොව ලංකාවේ උතුරුකරයේ පෙදෙසකි. යාපනය බලා යන අයට චෙම්මිනි හමුවෙයි. එහෙත් නාගදීපයේ යන වන්දනා නඩ වලට චෙම්මිනි පෙනුනද ඔවුහු චෙම්මිනි නොදකිති. චෙම්මිනියට අවධි දෙකකි. එක් අවධියක් යුද සමයේ සමූහ මිනිවලක වේශයෙනි. එය දකුණට රිසි නැත. උතුරට එය හද පාරවන මතකයකි. දේශපාලනයට කටගැස්මකි.

යුද්ධාවසානයෙන් පසුව යාපනය බලා යනවිට චෙම්මිනි ය අලුත් සළු හඳිමින් සිටියාය. වඩා නිවැරදිව කිවහොත් ඇයට අලුත් සළු බලහත්කාරයෙන් පළඳවනු ලබමින් සිටියාය. ඒ යුද්ධයෙන් පසු හුස්ම ගන්නට තතනන උතුරට කඩා පැන්නාවූ වාණිජකරනයේ නියෝජිතයන් විසිනි. ඉදින් ඇය තම ගත පුරා විවිධාකාරයේ වෙළඳ දැන්වීම් එල්ලාගෙන විකෘති ස්වභාවයෙන් බලා සිටියාය. මේ චෙම්මිනිය අපේ විකෆතිය වටහා ගන්නට කදිම උදාහරණයකි.
සුදත් දේවප්‍රිය ය සිය දුක් සැප කුමන්දා නමින් එන අලුත් කවි පොතෙහිදී මේ චෙම්මිනියේ විඩාබර හුස්ම අල්ලන්නට තැත් දරයි. වාණිජ ප්‍රාමග්ධනය හමුවේ ගොදුරු බිමක් බවට පත්වෙමින් යන පැරණි ගොදුරු බිමක පුවත ඔහු කවියට නගයි. ඒ චෙම්මිනි සුළඟ නමිනි.
(පිටුව 38)
ඉතින් පැමිණීම තහනම් ය
සුළඟ නුඹට රිසි ලෙස
තුරු පන්ති මත දිලෙන
සමාගම් පින්තාරු
සෙමින් සිපගත යුතුය

සැබැවින්ම චෙම්මිනියට කවදත් නිදහස් සුළඟ අහිමිය. අද එය වෙළඳාමේ ‍දඩ බිමකි. සුදත් එය කියන්නේ මෙලෙසිනි.

‘මෙකී පොහොරම යොදනු
දෙවර දත් ඇඳි මදිනු
සිමෙන්තිය මේ සොඳිනු
සොහොන් බංකර වුව බඳිනු’

ඔහුගේ මේ සිමෙන්තියෙන් සොහොන් බංකර වුව බඳින්නට ගැලපෙන්නේය යන යෙදුම ඉතිහාසය සහ වර්තමානයේ ඛේදය මුද්දරයක් සේ හකුලා දක්වන්නකි. එහෙත් මේ ඛේදය දකුණට අදාල නැත.
සුදත් ගේ පළමු කවිය පෙරහැරය. එය සුලභ කවි නිමිත්තකි. එහෙත් ඔහු ඒ නිමිත්ත තුළ සමාජ ඛේදයක තතු විස්තාරණය කර දක්වයි. එක් අතකින් එය ආගමික පෙරහැරක් ලෙස ගත හැකිය. ඒ සමගම එය වර්තමාන දිවියෙහි තිත්ත කහට පැල්ලමක් ලෙසද ගත හැකිය.

සීරුවෙන් වඩිනුය පුත
රහමෙර නොවී නාලාගිර
යදමින් බැඳුනද පා යුග
නොදුටු සේ යා යුතුය අප

ජීවිතයම යදමින් බැඳුන වදයකි. එහෙත් සුදත් ඒ වදකාර ජීවිතයට අලුත් හුස්මක් යෝජනා කරයි.

ඉතින් සීරුවෙන් යමු පුත
තබා යදමින් බැඳුණු පා යුග
අලුත් හුස්මක් ගෙන තව
අලුත් පොලවක යමු හෙට

ඔහුගේ කවි ගණනාවකම මේ අපේක්ෂා සහගත බව දැක්වෙයි. ඔහු ඇද වැටීම වෙනුවට නව උදාවක් යෝජනා කරයි. වැටුණු පසු තැවි තැවී සිටිනු වෙනුවට නැගිටීම විකල්පය බව නොකියා කියයි.

කාන්තාර සුළඟක
පරපුරක් වැළඳ ගි
නොවටිනා මල් පෙත්ත
ඉතින් නැගිටිය යුතුය
දෙමුල්පත් සමග
(උයන්පල්ලාගෙ කවිය පිටුව 13)

චදාඩා ජපමාල මන්තර බැති බරව
බලා නොයිඳ මුනිවත රකිනා ලෙසට
පුදා රිදෙන හිත් මල ලේ කඳුළු වට
ඉතින් හදමු රතු අල්තාරයක් හෙට
(පල්ලි වත්තේ පොල් කැඩූ මල්ලියේ- පිටුව 20)

පල්ලි වත්තේ පොල් කැඩූ මල්ලියේ කව ආගමික සංස්ථාවටද සිය ශාස්තෘන් වෙත ලංවීමට නොහැකි වන විපරිණාමය ගැන ඇඟවෙන කවියකි. සමාජයට අනුකම්පා කළ යුතු සංස්ථාවන්ම පිහිට ලැබිය යුත්තා නීතියෙහි කුරුසයට හසු කරන විකෘති පැවැත්මක සමාජයෙහි ඛේදය මේ කවෙන් නිරූපිතය. දෙවියන් වෙතැති මාවත වනසා ලන්නේ එහි නියෝජිතයන්මය.
පාස්කු නමින් එන කවියද මෙපරිදිය. පාස්කුව යනු ලංකාවට තවත් දුර පෙර පැවති ආගමික අර්ථය සපයන අවස්ථාවක් නොවේ. එය දේශපාලන බල පොරයෙහි අල්තාරය මත මිනිසුන්ගේ ජීවිත කැප කරන ලද ලේ වැකි වර්තමානයක් පමණි. එසේම එය බොහෝ සාධුවරුන්ගේ සළු ලිහා දමමින් තිබේ. සුදත් සිය කවියෙන් ඒ මහා ව්යබසනය මැද අසරණව යන ජීවිතයක තතු ගෙනහැර පායි. එය මේ සමස්ත ඛේදයෙහි තවත් එක් පිලිකුල් සහගත ඛේදයකි. මියගිය සැමියා වෙනුවෙන් වන්දි නොලද බිරිඳකගේ ඉරණම යනු වෙන්දේසියක අලෙවියට තබා ඇති භාණ්ඩයක් බඳුය. අතිනත යාමට බල කෙරෙන කතකගේ ශෝකාලාපය ඔහු හමාර කරනුයේ මෙලෙසිනි.

ඉතින් මේ නම් මගෙ පුතු
කාගෙ කාගෙත් රුව සතු
ආණ්ඩුවටත් බැරි බරූ
දරන්නං මියෙනා තුරූ

සුදත්ගෙ කවි එකතුව කවියට ඇළුම් කරන පාඨකයා හට විවේකී කියවීමකට ඇරයුම් කරන්නකි. ඔහු සිය කවිය හරහා අපේ ජීවිතවල පලින් පල ඇති දෙදරුම් කියවන්නට තැත් කරයි. අප ඉදිරියේ ඇත්තේ අප විසින්ම අලුතින් තනාගත යුතු ලෝකයක් බව අඟවයි.
එහෙත් එකක් කිව යුතුය. මට නම් තවම සුදත් අඹ යහළුවෝ නමින් නිර්මාණය කළ ටෙලි කවිය පරදවන නිර්මාණයක් ඔහුගෙන් හමුව නැත. මම තවමත් ඊට වැඩියෙන්ම ඇළුම් කරමි. පොත ඉක්මවා ගිය සිත්තමක් ලෙස මම අදටත් එය සලකමි.

– චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

ten − eight =