රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රතික්‍ෂේපකරයි – “චූලා අයියා සහ චූලානන්ද සමරනායක”

සම්මානයක් ප්‍රතික්‍ෂේප කිරීම ලෝකයටවත්, ලංකාවටවත් අලුත් දෙයක් නොවේ. විශේෂයෙන් ම දේශපාලකයකු අතින් පිරිනැමෙන සම්මානයක් ප්‍රතික්‍ෂේප කිරීම කොහොමටත් අලුත් දෙයක් නොවේ. පසුගිය දාක පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ දී ද එය යළිත් දැකිය හැකි විය. හොඳ ම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි සම්මානය වෙන් කෙරී තිබුණේ චූලානන්ද සමරනායකට ය. ඔහු එම අවස්ථාවට නොගොස් සිට පසුව ‘ෆේස්බුක්’ සටහනක් පළ කර තිබිණි.

මෙසේ සම්මානයක් ප්‍රතික්‍ෂේප කිරීම හරයෙන් විරෝධය පෑමක් මෙන් ම හුදෙක් වෙනත් මානයකින් සිවිල් බලයක් එකතු කර ගැනීම සඳහා ද සිදු කෙරේ. දෙවැනිව සඳහන් කළ අරමුණින් ප්‍රතික්‍ෂේප කරන්නෝ මාධ්‍ය ඉදිරියේ වෙන ම ප්‍රචාරක වැඩක් ද දියත් කරති. කප්පරක් ‘පොර ටෝක්’ දෙන්නේ ඒ අනුව ය. ඔහුගේ හෝ ඇයගේ හෝ පසුකාලීන භාවිතාවලින් මෙය හඳුනා ගත හැකි ය.

චූලානන්ද සමරනායක මේ දක්වා දශක තුනක පමණ කාලයක් ඔප්පු කර තිබෙන්නේ, පෙර කී දෙයට වෙනස් භාවිතයක් ය. ‘හරයෙන් විරෝධය පෑමක් ය’. වෙනත් මානයකින් සිවිල් ප්‍රාග්ධනයක් එකතු කර ගැනීමේ යටි අරමුණකින් නොවේ. ගෙවී ගිය දශක තුනකට මඳක් වැඩි කාලයක් තුළ ඔහුගේ භාවිතය මෙම ලියුම්කරු හොඳින් දනී. එම භාවිතය ප්‍රධාන කොට දෙයාකාරයකින් තහවුරු කෙරී තිබේ. ඒ 1990 දශකය මුල දී සරසවි ශිෂ්‍ය ජීවිතයේ දී සහ 2000 මුල දී පටන් ඔහුගේ සාහිත්‍ය ජීවිතය යන ආකාරවලින් ය.

එදා 1990 දශකය මුල් කාලයේ ඔහු අපට මුණගැහෙන්නේ (එයට පෙර දැනගෙන සිටිය ද,) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ය. ඔහු එහි එන්නේ ආණ්ඩුවේ බෝඩිං බත් කා යාන්තමින් දිවි රැකගෙන ය. කාටත් තේරෙන ආකාරයට කියන්නේ නම්, එදා හඹා ආ ඝාතක කණ්ඩායම්වලින් බේරී සිරගත කර සිට ඉන් නිදහස් කිරීමෙන් පසුව ය. එදා අපි කාටත් ඔහු “චූලා අයියා” වූයේ ය. නැවත නැවත ඔහු පසුපස හඹා ආ ඝාතක කණ්ඩායම්වලින් ඔහු ආරක්‍ෂා කර ගැනීම අප කාගේත් වගකීමක් සේ ගෙන තිබිණි. මෙතැන දී අපි යන්නෙන් හඳුන්වන්නේ කවුරුන් දැයි සටහන් කරගෙන යාම ඒ අතීතයට සහ ඒ සගයන්ට උපහාරයක් වන්නේ ය.

මේ පිරිස අතර මූලිකව ම සිටියේ ඉන්දික වනිගසුන්දර ය. ඔහු සෑම දෙයක් දෙස ම ඉතා සියුම්ව විශ්ලේෂණය කර ක්‍ෂණිකව අවස්ථාවෝචිතව ක්‍රියා කරන්නෙක් ය. අනෙක් ප්‍රධාන ම කෙනා ජයලාල් හේමසිරි ය. ධවල මර්දනයෙන් පසුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් පිහිටු වීමට හැකි විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස වගකීම් භාර ගත්තේ ද මොහු ය. ඊට පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිහිටුවා එහි කැඳවුම්කරු ලෙස මූලික වගකීම් භාර ගත්තේ ද මොහු ය. මේ දෙදෙනා ප්‍රමුඛව වොෂින්ටන්, අනුර කෑල්ලගේ ඇතුළු පිරිසක් ‘චූලයියාගේ’ ආරක්‍ෂාව පිළිබඳව විශේෂ අවධානයකින් ක්‍රියා කළෝ ය.
ආරක්‍ෂාව යනුවෙන් සඳහන් කළ ද, එය විමසිලිමත්කමෙන් එහාට ගිය දෙයක් නොවී ය. එදා තිබූ වාතාවරණය අනුව කිනම් මොහොතක කවරකු පැහැරගෙන යා දැයි අවිනිශ්චිතතාවක් ය තිබුණේ. එවැනි තත්ත්වයක් හමුවේ අතින් පයින් හරඹ කරනවා හැර ඊට වැඩි යමක් නොවී ය. මේ කියන 1990 දශකයේ මුල් වර්ෂ කීපය ගෙවී ගියේ හුදෙක් ප්‍රේමදාස භීෂණය පමණක් තිබිය දී නොවේ ය. අදත් සුදුවතින් සැරැසී, මල් වට්ටි ගෙන පන්සල් යන කී දෙනකු විසින් එම දැවැන්ත පාවා දීම් කරන ලද්දේ ද? නැවත නැඟීසිටීමට වෙර දැරූ එවක ශිෂ්‍ය ව්‍යාපාරයේ මුල්පෙළේ ක්‍රියාකාරිකයන් කී දෙනකුගේ නම් ඝාතක කල්ලිවලට පාවා දෙනු ලැබුවේ ද? එස්. බී. දිසානායක ද මේ බව හොඳින් ම දන්නා කෙනෙක් ය.

චූලානන්ද සමරනායකගේ භාවිතය දිගහැරෙන්නේ මෙවැනි පසුබිමක ය. හරියට ම කියන්නේ නම්, ජීවිතයේ අමතර අවස්ථාවක් අහම්බෙන් ලද අතළොස්සක් අතර කෙනකු වීම නිසා ය. එදා සිට ඔහු ගොඩනැඟුණේ ඔහුගෙන් පසුව එන පිරිසට මඟපෙන්වීම සහ හරියට මහ පොළොවේ පය ගසාගෙන අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය අත්දැකීම් සහ අත්විඳීම්වලින් අවබෝධ කර දීමෙන් ය. කවියක් ලිවීම, පොතක් පරිවර්තනය කිරීම ද අමතර කටයුත්තක් සේ පැවැතියේ ය.

ඉන් පසුව ලියුම්කරුට ඔහු නැවත වටයකින් සමීප වන්නේ 2000 දශකයේ මුල් වසර දෙක තුළ දී ය. ඒ වන විට ‘සමුගනිමු ගුල්සාරි’ නම් පරිවර්තන කෘතිය එළිදක්වා තිබිණි. එය චිංගීස් අයිත්මාතව්ගේ නවකතාවක් ය. ‘සමුගනිමු ගුල්සාරි’ යන්න සිංහල පාඨකයාට හඳුන්වා දුන්නේ සුනිල් මාධව ප්‍රේමතිලකගේ කර්තෘත්වයෙන් ‘ලක්ජන පුවත් පත කරන කාලයේ ය. ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය නිකුත් කිරීම අලලා පත්තරයට ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු විය. ඒ ගැන කතා කර ගත් අවස්ථාවේ අප ඔහු සොයා යනවා වෙනුවට ඔහු අප සොයා ඒමේ නිහතමානීත්වය ප්‍රදානය කෙරිණ. ඒ අනුව ඔහු කොටහේනේ තිබූ ‘ලක්ජන’ කාර්යාලයට පැමිණි අන්දම මතක ය. එදා තිබූ සුපුරුදු සැහැල්ලු ගමන් මල්ල ද කරේලාගෙන, දිග කුඩය බිම ඇන ඇන පැමිණියේ ය.
එදා පටන් මේ දක්වා දශක දෙකක් ගෙවී ගොස් ය. 1990 සිට මෙපිටට සහ සාහිත්‍යකරුවකු ලෙස පාඨකයා වෙත පැමිණීමේ ප්‍රධාන ම පියවර තැබූ 2000 සිට මේ දක්වා ද ඔහු පැමිණි ගමන් මඟක් තිබේ. ඒ ගමන් මඟ තුළ විශේෂයෙන් ම ෂෙල්ටන් පයාගල සමඟ අතිශය සමීප ඇසුරකට පත් වීම අප කාටත් බොහෝ ගුරුහරුකම් ලැබීමට හේතු විය. ඒ සියල්ලෙන් පෝෂණය ලැබූ චූලානන්ද සමරනායක මේ දක්වා දශක දෙකක් සාහිත්‍යකරුවකු ලෙස පැමිණ තිබේ. එම කාලය තුළ අතිශය සමීප වීම්, දුරස්ථ වීම්, යළි සමීප වීම් පවතී. එය සාමාන්‍ය සංසිද්ධියක් ය.

අප සමීප වී සිටිය ද, දුරස් වී සිටිය ද යන්න ප්‍රශ්නයක් නොවේ. ඒ මන්ද යත්, අප කිසිවකු අපගේ ජීවිතයේ මූලික අරමුණු අත්නොහැරි නිසා ය. එපමණක් නොව අත්නොහරින බවට ද විශ්වාස නිසා ය. චූලානන්ද සමරනායක තම සාහිත්‍ය ජීවන චාරිකාවේ දී ස්වතන්ත්‍ර නිර්මාණකරුවකු ලෙස ද ඊටත් වඩා වැඩි බරකින් පරිවර්තන සාහිත්‍යකරුවකු ලෙස ද කර තිබෙන කාර්යභාරය සුළුපටු නොවේ. ඒ සෑම අකුරක ම, ඉස්පිල්ලක පාපිල්ලක ඇලපිල්ලක ම තිබෙන්නේ එක ම අරමුණක් ය. මේ සමාජය කුණු වී, ඕජස් ගලන තැනින් මුදා ගැනීම ය. ඒ වෙනුවෙන් දේශපාලන, ආර්ථික, සංස්කෘතික පරිවර්තනයක් කිරීම ය.

මේ අරමුණින් පරපුරක් බිහි කිරීමට තම දිවිය ම කැප කළ විශිෂ්ට මිනිසකුගේ මහා පෙළැඹ වීමක් ද චූලානන්දට හිමි විය. පෙර සඳහන් කළ ෂෙල්ටන් පයාගලයි ඒ. ඔහු ගම් දනවු පුරා ඇවිද යමින්, තම මෙහෙවර ඉටු කළේ ය. ඒ කාර්යයේ දී ෂෙල්ටන් පයාගල විසල් මිනිසා පුරෝගාමී ආදර්ශය ගත් ප්‍රධාන ම දෙදෙනෙක් වූහ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සහ චාලි චැප්ලින් ය ඒ. සිනමාවේදී විශේෂයෙන් ෂෙල්ටන් පයාගල බොහෝ පූර්වාදර්ශ ගත්තේ චාලි චැප්ලින්ගෙන් ය. එසේ ම කලාවේ දෘෂ්ටිවාදී ආස්ථානයන් නිරවුල් කර ගැනීම සඳහා මේ දෙදෙනා ම එකහා සමානව ගුරුකොට ගත්තේ ය.

චූලානන්දට ෂෙල්ටන් පයාගල කොතරම් බලපෑමක් කළේ දැයි පැහැදිලි වන කරුණක් තිබේ. ඒ ඔහු පරිවර්තනය කළ ‘චාලි චැප්ලින්’ කෘතිය ය. චාලි චැප්ලින් පිළිබඳව මෙරට සමාජයට, විශේෂයෙන් සිංහල භාෂාවෙන් කියවන අයට සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට හැකි වූයේ එම පරිවර්තනය මඟින් ය. ‘මගේ දිවි සැරිය’ යන නමින් චාලි චැප්ලින්ගේ ජීවිත කතාව සම්පූර්ණ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එය 2012දී හොඳ ම ශාස්ත්‍රීය කෘතිය වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වී තිබිණ. එදා ද ‘චූලා අයියා’ එය භාර නොගෙන සිටියේ ය.

මෙවර ලැබුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද නොගෙන ඒ සම්බන්ධයෙන් තැබූ ‘ෆේස්බුක්’ සටහනේ දැක්වුණු කොටසක් මෙසේ ය: “සංස්කෘතික ජීවිතයකට පුරවැසියා හට ඇති හිමිකම තූ තූ කර දමමින්, ගෙවුණු දශක හතකට අධික ඉතිහාසය සිහි වන විට දැනෙනුයේ, ඔක්කාරය දනවන පිළිකුලකි. ආගමික අන්තවාදයත්, වර්ගවාදයත්, මිථ්‍යාවත් දේශපාලන සංකල්ප බවට හරවා ගත් දේශපාලන ක්‍රමයක සමස්ත සමාජය ම ගිලී යද්දී, සාහිත්‍යකරුවා හට සම්මානයකින් තෘප්තියට පත් විය හැකි යැයි මම විශ්වාස නොකරමි.” මේ සටහනෙන් නැවත පිළිබිඹු වන්නේ එදා 1990දී හමු වුණු චූලා අයියා ය.

එක් විටක චූලානන්ද සමරනායක යනුවෙන් සඳහන් කර තවත් විටෙක ‘චූලා අයියා’ යනුවෙන් යෙදීම අර්ථයක් සහිතව කරන්නක් ය. චූලානන්ද සමරනායක යනු මේ වන විට පරිවර්තන හෝ ස්වතන්ත්‍ර කෘති 68ක් පමණ ප්‍රකාශයට පත් කළ සාහිත්‍යකරුවා හඳුන්වන පොදු නාමය ය. ‘චූලා අයියා’ යන්නේ ඊටත් එහා ගිය ලෙයත් එක්ක බැඳුණු බරසාරකමක් පවතී. විටෙක දුරස් වුව ද, තවත් විටෙක අතිශය සමීප සම්බන්ධයක් තිබුණ ද, අවසානයේ මේ දක්වා ‘චූලා අයියා’ ඉතිරි වී තිබීම ආස්වාදයට හේතුවක් ය. ‘චූලා අයියා’ යන්නෙන් කියැවෙන්නේ එදා 1990 දශකය ආරම්භයේ දී හමු වූ විශ්වවිද්‍යාලයීය ජ්‍යෙෂ්ඨයා ය. ඒ තුළ තිබෙන්නේ, ගුණ සමුදායක් ය.

සාහිත්‍ය හෝ වෙනත් කවර හෝ ක්‍ෂේත්‍රයක දී වුව ද, රාජ්‍ය සම්මානයක් භාර නොගෙන සිටින අන්තිම පුද්ගලයා මොහු නොවන්නේ ය. කවර දේශපාලන අධිකාරීත්වයක් මෙරට තුළ ඉදිරියේ දී නිර්මාණය වුව ද, තවත් අය කවර හෝ හේතු නිසා සම්මාන නොගෙන සිටිනවාට සැක නැත. එය එසේ වුවත්, මේ නිශ්චිත මොහොත පිළිබඳව කාට හෝ අදාළ බරකින් යුක්තව පාලන තන්ත්‍රයට ප්‍රතික්‍රියා දැක්විය හැකි වන්නේ නම්, එය අතිශය වැදගත් ය. පවතින රාජපක්‍ෂ දේශපාලන බල අධිකාරිය එතරම් ම පාදඩ සහ විනාශකාරී තැනකට මේ සියලු සංස්ථා හෙළා තිබෙන බැවින් ය. එදා 1980 දශකය මැද දී පමණ දයාසේන ගුණසිංහයන් ඉතා සංක්‍ෂිප්තව කී දෙයක් සාරාර්ථයෙන් ම දැන් මේ රටට සිදු කරමින් සිටින පාදඩ කල්ලියක් බලය හොබවන නිසා ය.
“සිතියම් පොතෙන් ලොව විමසා බලන කල
කඳුළක හැඩය මහ සයුරේ දකීවි ද?”

යන්න ය. මේ වචන එදා සරල ගෙත්තමක් සේ පමණක් වී තිබෙන්නට ඇත. එහෙත්, එදා දයාසේන ගුණසිංහයන් මේ වචන පපුතුරෙන් මිරිකා මුදාහරින්නට කෙතරම් ප්‍රසව වේදනා විඳින්නට ඇති ද? අද රටක් ලෙස එ රටේ සමස්ත ජනතාවක් ලෙස අත්විඳින බියකරු යථාර්ථය ඇසේ ඇනි ඇනී තිබිය දී, දෙන රාජ්‍ය සම්මාන වටින්නේ …. ගසා ගැනීමට පමණක් නොවේ ද?
සියලු ම මාවත් විවෘතව පවතින්නේ කවරාකාර හෝ අරගල මාදිලියක් සඳහා පමණි ය. චූලානන්ද සමරනායකට වඩා ‘චූලා අයියා’ වටින්නේ ඒ අරගලය තවමත් මුවහත් කරන නිසා ය.

– ප්‍රියදර්ශන දයාරත්න

Leave A Reply

Your email address will not be published.

three × 5 =