අවසානයේදී ගල්පර සේම රටක් ම වියැකී යන්නේද? – Reef

නවකතාවක් ගැන යමක් ලිවීමට නවකතාවේ අවසාන පිටුවෙන් වාක්‍යයක් මා උපුටා ගන්න පළවෙනි අවස්ථාව මෙය වේ. එය එසේ වන්නේ එසේ කිරීමට තරම් ප්‍රභලත්වයක් එහි ඇති බැවිනි.

එම වාක්‍ය නම් මෙසේය: “We are only what we remember, nothing more … all we have is the memory of what we have done or not done; whom we might have touched even for a moment …”

“අපි කියලා කියන්නේ අපිට මතක දේවල් වලින් හැදුන අය විතරයි … අපිට තියෙන්නේ අපි කරපු දේවල් සහ නොකරපු දේවල් වල; එක නිමේෂයකට හරි අපි ස්පර්ශ කරපු කෙනෙක් ගැන මතක විතරයි.”
මෙම වැකිය මාග්‍රට් ඇට්වුඩ් ඇගේ Moral Disorder and Other Stories කෘතියෙහි දි ලියන, ‘in the end, we all become stories’ හෙවත් ‘අවසානයේදී අපි සියල්ලෝම කතන්දර බවට පත්වන්නෙමු,’ යන වැකිය ද සිහිගන්වයි.
මෙම නවකතාව 1994 වසරේදී බුකර් ත්‍යාගයට කෙටි ලැයිස්තුගත වූ Reef නම් නවකතාවයි. එහි රචකයා වන්නේ ශ්‍රී ලංකාවේ උපත ලබා පසුව එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වූ රෝමේෂ් ගුණසේකර ය. නවකතාව නිකුත් වී වසර විසිපහකටත් පසුව මෙම නවකතාව කියවන්නට මට බලපෑ ආසන්නතම හේතුව මෙවර බුකර් ත්‍යාගයට අනුක් ගේ කෘතිය කෙටි ලැයිස්තුගත වීම හරහා ලංකාවේ උපත ලබා බුකර් ත්‍යාගයට කෙටි ලැයිස්තු ගතවූ මයිකල් ඔන්ඩච්චි (1992) සහ අනුක් (2021) අතරමැද තවත් ලංකාවේ උපත ලැබූ ලේඛකයෙකු සිටින බව දැනගැනීම නිසා ය.

නවකතාව ආරම්භවන්නේ පොතේ කතා නායකයා වන ට්‍රයිටන් සිය මැදිවියේදී එංගලන්තයේ ඉන්ධන අලෙවිසැලකට ඉන්ධන ලබාගැනීම සඳහා යන අවස්ථාවකිනි. එතැනදී ඔහුට හමුවන්නේ යුද්ධය නිසා සරණාගත වීසා ලබාගෙන එංගලන්තයට පැමිණි තරුණයෙකි. තමන්ට නුපුරුදු දේශයක, නුපුරුදු භාෂාවකින් වැඩකරන්නට සිදුවූ තරුණයාගේ තිගැස්ම තුළින් ට්‍රයිටන් තමන්ගේ අතීතයට පියමං කරයි.

1961 දී වයස අවුරුදු එකොළහක් වූ ට්‍රයිටන් ට නිවස අතහැර එන්නට වන්නේ පාසලේ මඩුවකට ඔහු අතින් වැරදීමකින් ගිනි ඇවිලීම නිසා ය. පියාගේ දඬුවමින් ගැලවෙන්නට සිය මාමා සොයා යන ඔහුව මාමා විසින් කොළඹ ජීවත් වූ සල්ගාදු නම් සාගර ජීව විද්‍යාඥයාගේ නිවසේ නවතයි. නිවසේ සුළු සුළු වැඩ කරගෙන ඉන්නට ඔහුට අවස්ථාව හිමිවෙයි. නිවසේ වෙසෙන්නේ ජෝසප් නම් වැඩිමහළු සේවකයෙක්, ඉවුම් පිහුම් කළ ලුසි අම්මා නම් වයසක කාන්තාවක් සහ සල්ගාදු මහතා පමණි.
අම්බලන්ගොඩ ගමක උපන් ට්‍රයිටන් සිය ජීවිතයේ ලෝකය දැක තිබුණේ සීමිතව ය. සල්ගාදු මහතාගේ ගෘහය ඔහු දැක ඇති විශාලතම නිවස ය. ක්‍රමයෙන් එහි සේවය කරන්නට පටන් ගන්නා ට්‍රයිටන් සල්ගාදු ගේ හිත දිනාගන්නට සමත් වෙයි. එහෙත් ජෝසප් උත්සාහකරන්නේ ට්‍රයිටන් ව පන්නා දැමීමට ය. සියලු කාරණා අතරේ ට්‍රයිටන් ගේ ලෝකය බවට මෙම නිවස පත්වෙයි.
එය කතුවරයා සටහන් කරන්නේ මෙසේය:

“සල්ගාදු මහතාගේ නිවස විශ්වයේ මධ්‍ය ලක්ෂ්‍යය වන අතර ලෝකයේ සියල්ලම සිදුවන්නේ එහි සීමාවන් තුළ ය. ඉර පවා ගරාජය දෙසින් නැගවිත් දෙල් ගහට ඔබ්බෙන් නින්දට වැටෙන බව පෙනෙයි.”

බීමත්ව පැමිණීම නිසා ජෝසප් ට රැකියාව අහිමි වන අතර ගම බලා ගිය ලුසි අම්මා ද නැවත නොපැමිණීම නිසා අවසානයේදී නිවසේ ඉතිරි වන්නේ සල්ගාදු සහ ට්‍රයිටන් පමණකි. ජෝසප් ගේ පිටවීමත් සමඟ ට්‍රයිටන් ගේ ක්ෂුද්‍ර ලෝකය වන සල්ගාදු ගේ නිවස මුළුමනින්ම ඔහුගේ තනි භුක්තියට සවිවෙයි. ඔහු ක්‍රමයෙන් කෝකියෙකු ලෙස සිය හැකියාවන් වර්ධනය කර ගනියි. මේ සියල්ල අතරේ සල්ගාදු මහතාට නිලී නම් යුවතිය මුණගැසෙයි. ඔවුන්ගේ ලෝකය වෙනස්වන්නට පටන් ගන්නේ නිලී ගේ ආගමනයත් සමඟ ය. මේ සියල්ල අතරේ සිරිමාවෝ මැතිණිය පාලන බලයට පත් වෙයි. සංවෘත ආර්ථික තත්වයන් යටතේ ජනතාව පීඩනය ලක්වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවයට කරුණු සැකසෙමින් තිබේ. පෝලිම් යුගයක ආරම්භය සටහන් වෙයි. හැකියාව ඇති සියල්ලන්ම රට හැරයන්නට පටන් ගනී. (මේ කාරණා අදට නැවත ආදේශ කරගත හැකි ය) අවසානයේදී සල්ගාදු ද රට හැර යයි.

සල්ගාදු යෙදී සිටින්නේ දකුණු මුහුදේ පිහිටි ස්වාභාවික ගල්පර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක ය. අද මෙන්ම එදාද දේශපාලකයන්ට පරිසරයේ රැකීමේ ලොකු උවමනාවක් නොවී ය. එනිසාම සල්ගාදු ට අත්වන්නේද කලකිරීම පමණකි. සල්ගාදු සාම්ප්‍රදායික සහ නූතන අදහස් ද්විත්වයම කැටිකරගත් චරිතයකි. ඔහු සහ නිලී එක නිවසක් යටට වන්නේ විවාහයකින් තොරව ය. කෙසේ වුවද නිලී ව පාලනය කරන සාම්ප්‍රදායික පිරිමියාගේ ස්වභාවය ද ඔහු තුළින් ඉස්මතු වෙයි.
නිලී ඔහුව හැරයන්නේ මෙවැනි එක් ප්‍රශ්න කිරීමකදී ය. නිලී පවසන්නේ,
“මෝඩයා, තමුසෙත් එක්ක බුදියගත්ත පලියට මාව තමුසෙට අයිතියි කියලා තමුසෙ හිතනවා,” යනුවෙනි. කතාව පුරාම නිලී යනු සාම්ප්‍රදායික ගැහැනියක් නොවේ.

නවකතාවේ සුවිශේෂිතාවය වන්නේ, කතුවරයා ගොඩනගන එක් විශේෂ සංකල්පයකි. එනම්, පවුල් ඒකකයකට කොටුව ඇති මිනිස් සමාජය තුළ සෑම නිවසක් තුළම ඔවුනට ආවේණික ලෝකයක් ගොඩනැගෙන බව ය. එම ලෝකය සහ පිටත ලෝකය සමඟ ඡේදනය වන ප්‍රමාණය සහ ආකාරය මත පවුල්වල සතුට, දුක රදා පවතින බව ය. ට්‍රයිටන් වැනි ගමකින් පැමිණෙන කොල්ලෙකුට සල්ගාදු ගේ නිවස යනු මුළුමහත් ලෝකයම වෙයි. ඔහුගේ ලෝකය පිටත ලෝකය හා ඡේදනය වන්නේ නිවසට භාණ්ඩ විකුණන්නට එන පිරිස, සල්ගාදු ගේ මිතුරන් සහ නිලී හරහා ය. එහෙත් මෙම ක්ෂුද්‍ර ලෝකයේ ඔහුට දිගටම රැඳී සිටිය නොහැකි ය. මන්ද එම ක්ෂුද්‍ර ලේකය නිලී ගේ පිටවීමත් සමඟ බිඳවැටෙන්නට පටන් ගන්නා නිසා ය. එමෙන්ම පිටත ලෝකයද, අවචාරවත් පාලන සමය, කැරලි නිසා ඉරි තලමින් ඇත. ට්‍රයිටන් ගේ ඉරණම කුමක් වේද? තමන්ගේ ක්ෂුද්‍ර ලෝකය තුළ කොල්ලෙකු ලෙස රැදී සිටි ට්‍රයිටන් පිටත ලෝකයට පා තබා පිරිමියෙකු බවට පත්වන්නේ කෙසේද? මේ සියල්ල Reef නවකතාව තුළින් අපට සමීප කරයි. ඒ සඳහා ඔබ මෙය කියවිය යුතු ය. පොත කියවීමට ආසා ඇතිකරන සැහැල්ලු එහෙත් ගැඹුරු චින්තතාවන් මතු කරන එකකි.

“මෙච්චර ලෝකේ දියුණු වුණත් පොල්ගෙඩියක් හොඳද කියලා දැනගන්න අපිට තාමත් ඒක හොල්ලලා බලන්න වෙනවා.”
“උදේට සමහර වෙලාවට එයාලගේ නිදන කාමරේ තිබිලා මම හොයාගන්න අඹ ඇටෙන් එයාලා මොකද කළේ? හපලා හපලා වනසලා; හරියට නිකං කාන්තාරෙක මැදිච්ච ගලක්, නැත්තන් කටින් කටට” සැරින් සැරේ මාරු වුන දෙයක් වගේ මැදිලා. අඹ හමට ද? ඇඟට ගන්න ශක්තිජනකයක්ද? තොල් වලට? ගෑනියෙකුයි මිනිහෙකුයි විදියට උපරිම සතුට විඳින්න පාවිච්චි කරන ලිහිසිකාරකයක්ද? නැත්නම් දෙන්නගෙම හවුල් ආසාව වෙනුවෙන් යොදාගත්ත අද්භූත වස්තුවක්ද?”

– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

four + thirteen =