පොලිස් ඇමැති ලේකම් ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක! ඒ ගැන අහන එක හරි මදි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

දිවුලපිටියේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මහජන සාමය විෂයභාර ඇමැති සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් අයුතු ලෙස මැදිහත් වූ බවට ‘ලංකා’ සහ තවත් මාධ්‍ය කිහිපයක්
පසුගිය සතියේ වාර්තා කළේය. ‘දෙරණ’ රූපවාහිනී නාළිකාවට සහ ‘අරුණ’ පුවත් පතට පමණක් එම චෝදනාවට අදාළව නිවැරැදි කිරීමක් යොමු කරන ලෙස දන්වමින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ලිපියක් යොමු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව වෙත මෙම කරුණු පැහැදිලි කිරීමේ ලිපිය යොමු කර ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ය.

STF ලිපියේ සඳහන් අංක

ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එහි ගොස් ඇත්තේ ඉඩම් ආරවුලකට නොවන බවයි. ඔවුන් එහි ගොස් ඇත්තේ, නීති විරෝධී ගිනි අවි, මත්ද්‍රව්‍ය සහ මත්පැත් ගැන ලැබුණු තොරතුරකට අනුව බවත්, එසේ වැටලීමට ගියේ විශේෂ කාර්ය බළකායට අනුයුක්ත WP GK 8966 අංක දරන වෑන් රථයෙන් සහ WP PVO 6178 අංක දරන යතුරු පැදියෙන් බවත් එම ලිපියේ සඳහන් වේ.

කෙසේ වෙතත් සීසීටීවී දර්ශනවල සටහන් වී ඇත්තේ GK 8766 අංක දරන වෑන් රියක් සහ VO 6176 දරන යතුරුපැදියෙන් එම පිරිස ගොස් ඇති බවයි. නිවැසියන් ද ප්‍රකාශ කළේ පොලිස් විශේෂ කාර්ය බළකායේ යැයි කියන පිරිස පැමිණියේ මෙම අංක දෙක සහිත වාහනවලින් බවයි.

RMV හි සඳහන් සැබෑ අංක

අප කළ සොයාබැලීමක දී තහවුරු වූයේ වෑන් රියේ සටහන්ව තිබූ බව කියන අංකයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ත්‍රිරෝද රථයක් බවයි. 2001 වසරේ නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් එම ත්‍රිරෝද රියේ මොඩලය ලෙස සටහන් වී ඇත්තේ ‘බජාජ් ඔටෝ’ යන්නයි. එහි එන්ජින් අංකය වන්නේ AEMBHF 39247 යි. යතුරුපැදියේ සවිකර තිබූ අංකය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ, TVS – SCOOTY PEP+ වර්ගයේ යතුරුපැදියක් ලෙසයි. එහි එන්ජින් අංකය වන්නේ 0G3CA 2093628යි. එහි නිෂ්පාදිත වර්ෂය 2010 ලෙස සඳහන් ය.
සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති බව කියන අංක සහ වැටලීමට ගිය බවට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා ලිඛිතව දන්වා ඇති අංක අතර පරස්පරතාවක් ඇති බැවින්, අපි ඒ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් විමසීමක් කළෙමු.

‘මට එවපු දේ මම දුන්නා’

ප්‍රශ්නය: පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරන වාහන අංක සහ සීසීටීවී දර්ශනවල වාහන අංක අතර පරස්පරතාවක් තිබෙනවා. විශේෂ කාර්ය බළකාය ආවේ ව්‍යාජ අංක තහඩු සහිත වාහනවලින් කියන චෝදනාවට පොලිසියේ ප්‍රතිචාරය මොකක් ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක: පොලිස් විශේෂ කාර්ය බළකාය වාහන අංක වගයක් මට එවලා තිබුණා. ඒ අංක එක්ක තමයි මම නිවැරැදි කිරීම යොමු කළේ.
ප්‍රශ්නය: සීසීටීවීවල තියෙන අංකයි, ඒ අංකයි වෙනස් නේ ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක: නෑ, මට එහෙම ක්ලියර් කරලා එවලා තිබුණේ නෑ. එස්ටීඑෆ් කමාන්ඩන් එවපු එක නේ මං යවලා තියෙන්නේ.
ප්‍රශ්නය: සීසීටීවීවල තියෙන අංක බොරු කියන එක ගැන එස්ටීඑෆ් එකෙන් අහලා කියන්න ඔබතුමාට පුළුවන් ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක: ඒක අහන්න පුළුවන්… නමුත්, මම අහන්න… ඕකට විමර්ශනයක් යනවා. ඇමැතිතුමා කියලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් එස්ටීඑෆ් එකෙන් කරනවා නේ. ඒ නිසා අපි ඒක අහන්න යන එක එතිකල් නැහැ නේ.
ප්‍රශ්නය: එහෙම නම් විමර්ශනයක් යන අතරතුර මේක බොරු කියලා නිවේදනයක් දාන එකත් ගැටලුවක් නේ ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක: එස්ටීඑෆ් කමාන්ඩන් මට එවනවානේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මේක වැරැදි, නිවැරැදි කරලා දෙන්න කියලා.
ප්‍රශ්නය: ඔබතුමාට බැරි ද ඉතින් මීඩියාවලින් අහනවා කියලා මේ ප්‍රශ්නය අහන්න ?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක: මට අහන්න පුළුවන්. මට ඒක අහලා ඔෆීෂියල් ආන්සර් එකක් දෙන්න බැහැ නේ. ඒක හරි නෑනේ. විවාදයට භාජනය වෙච්ච සිද්ධියක් නේ. ඒක ගන්නවා නම් මම ගන්න ඕනෙ ලිඛිතව (ඉන්රයිටිං). ඉන්රයිටිං ලියලා, ඉන්රයිටිං ආන්සර් එකක් ගන්න ඕනෙ. දැනට විමර්ශනයක් යන නිසා ඒගොල්ලෝ ක්ලියර් කරයි මොකක් ද කියන එක. ඉන්වෙස්ටිගේෂන් එකක් යන නිසා මම මෙහෙන් මීඩියා රිලීස් එකක් කරලා නෑ ඔය සම්බන්ධව. එස්ටීඑෆ් එකෙන් නිවැරැදි කිරීමක් එව්වාම මම ඒක මාධ්‍යයට යවන්න ඕනෑ නේ. ඒ නිසා එයාලා එවපු නිවැරැදි කිරීම තමයි, මම යැව්වේ. විමර්ශනයේ දී අනාවරණය වෙයි. මම ඒක අහන එක එච්චර ගැළපෙන්නේ නැහැ නේ.

ගිය සතියේ වාර්තාව

පුදුකුඩුඉරිප්පු පොලිස් බලප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානයෙන් සඟවා තබන ලදැයි කියන රත්‍රන් හා අවි ආයුධ ගොඩගැනීම සඳහා ගියැයි චෝදනා එල්ල වූ මහජන සාමය අමාත්‍යවරයාගේ ලේකම්වරයා සම්බන්ධයෙන් දිවුලපිටියේ ඉඩම් ගනුදෙනුවක් ගැන ද චෝදනාවක් ඇතැයි අපි පසුගිය සතියේ වාර්තා කළෙමු.
දිවුලපිටිය, උල්වල්පොල, සියඹලාගහවත්තේ ඇති තම සැමියාට අයත් ඉඩමකට වෙනත් පිරිසක් ව්‍යාජ ඔප්පු සකස් කිරීමක් ගැන මීගමුව විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති බවත්, නීතිය හා සාමය අමාත්‍යවරයාගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ පැමිණ ඉඩම බලහත්කාරයෙන් මැනීමට උත්සාහ කළ බවත්, මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය ද දැනුම්වත් කළ බවත්, පොලිසියේ සහ ඇමැතිවරයාගේ මැදිහත් වීම මත එම කටයුත්ත ව්‍යර්ථ වූ බවත් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් සමන්ති ජයකොඩි නම් කාන්තාවක විසින් සඳහන් කර තිබේ.

කිසිවකු අත්අඩංගුවට ගෙන නෑ

ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් 2019 මාර්තු 10 වැනිදා මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට SCIB/01 153 / 293 අංකයෙන් පැමිණිල්ලක් යොමු කළ බවත්, ඒ ගැන මේ වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් සමන්ති ප්‍රකාශ කළාය.
“2021 ජුනි මාසේ 13 වැනිදා සරත් වීරසේකර මහත්මයාගේ ලේකම්වරයෙක් ඇවිත් ඉඩම මනින්න ලෑස්ති වුණා. වත්තේ නැවතිලා හිටපු පිරිස මට මේ ගැන කිව්වම මම එතැනට ගියා. පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසකුත් ඉඩමට එහායින් වාහනය නතර කරගෙන හිටියා” යැයි ඇය සඳහන් කළා ය.

“කුඩු දානවා…”

“එස්ටීඑෆ් එකෙන් කියලා අවස්ථා දෙකක දී ඉඩමේ නැවතිලා ඉන්න අයගෙ ගෙදරට ඇවිත් තර්ජනය කරලා තිබුණා. ඔවුන්ට කුඩු දානවා කියලා බය කරලා තිබුණා. මේ ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කළා” යැයි ද සමන්ති කීවාය.
පොලිස් විශේෂ කාර්ය බළකාය යැයි කියා ගනිමින් පැමිණි පිරිස එක් අවස්ථාවක දී සීසීටීවී අක්‍රිය කිරීම සඳහා නිවසේ විදුලි පරිපථය විසන්ධි කළ බවත්, තවත් අවස්ථාවක කැමරාවක් වෙනත් පැත්තකට හැරවූ බවත් නිවැසියෝ කියති.

– තරිඳු ජයවර්ධන

Leave A Reply

Your email address will not be published.

seventeen + 15 =