ඔමික්‍රෝන් මෙරටට ආවේ රාජ්‍ය අනුග්‍රහයෙන් ද?, එන්නත නොගත් යුවළ නයිජීරියාවට ගිය හැටි අභිරහසක්

කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ, මිලිටරි ඇඳුම් ඇඳගත් ලොක්කන්ගේ පුදුමාකාර සංදර්ශන දකින්නට ලැබිණි. වසංගත පාලනය ගැන විද්‍යානුකූලව කටයුතු කිරීමේ දැනුම හා පළපුරුද්ද සහිත විශේෂඥයින් පිටමං කොට ‘යුද්ධ කිරීමට දන්නා’ අය අතට කොරෝනා මර්දනය භාර කළේ, එය ‘හරියට කරන්නට’ බව කියමිනි.
එහෙත් දැන් ඒ සංදර්ශනවල ව්‍යාජය සමාජය ඉදිරියේ හෙළිදරව් වී තිබේ. දැඩි අධීක්ෂණයක් යටතේ පැවතිය යුතු ගුවන් තොටුපළ පවා ‘කයිමන්  දොරකඩ’ සේ හෑල්ලුවට ගොස් ඇති අයුරු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලංකාවට පැමිණි ආකාරයෙන් පෙනේ.

කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් මිනිසුන් පීඩාවට පත් කරමින් පැතිරෙන්නේ ය. ‘ඩෙල්ටා’, ‘බීටා’ ලෙස වෙනස් වූ වෛරස් ප්‍රභේදය මේ වන විට ‘ඔමික්‍රෝන්’ නමින් වෙනස් වී තිබේ. ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනා ගන්නේ දකුණු අප්‍රිකාවෙනි. එහි ඇති විශේෂත්වය වන්නේ අනෙකුත් ප්‍රභේදවලට වඩා වේගයෙන් මෙය පැතිර යෑම ය. එනම් රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යෑම ය.

දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් මෙම නව ප්‍රභේදය වැළඳුණු කොවිඩ් රෝගීන් මේ වන විට ලෝකයේ රටවල් ගණනාවකින්ම වාර්තා වීමට පටන්ගෙන තිබේ. පළමු රෝගියා වාර්තා වී දින කිහිපයක් ඉක්ම යද්දී, කොවිඩ් 19 ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

පළමු ඔමික්‍රෝන් රෝගියා හමුවේ

ශ්‍රී ලංකාව ද මේ වන විට ආගමන නීති ලිහිල් කර ඇති අතර, එම නිසා ගුවන්තොටුපොළ හරහා මෙරටට බාධාවකින් තොරව සංචාරකයන්ට ඇතුළු වීමට ඉඩපහසුකම් සලසා දී තිබේ. නමුත්, දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන සංචාරකයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ලෝකයේ ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වූ මුල් අවස්ථාවේම ය.

එසේ වුව ද, ලංකාවේ පළමු කොවිඩ් ඔමික්‍රෝන් රෝගියා හඳුනා ගන්නේ ඉකුත් දෙසැම්බර් 03දා ය. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ගැන කළ පරීක්ෂණයේදී ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායම මෙම පරීක්ෂාව කර ඇත. ඇය මාරවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. විසිපස් වියැති එම කාන්තාව හා තිස්දෙහැවිරිදි වියැති ඇයගේ සැමියා නයිජිරියාව බලා පිටත්ව යන්නේ ඉකුත් ඔක්තෝබර් අගභාගයේ දී ය. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙනි.

එන්නත් මාත්‍රා දෙකම නොගත් පිරිසට කටුනායක ගුවන්තොටුපොළ තුළට ඇතුළු විය නොහැකි ය. ගුවන්තොටුපොළට ඇතුළු වීමට නම්, එන්නත් කාඩ් පත එහි සිටින ආරක්ෂක නිලධාරීන්ට පෙන්විය යුතු ය. එන්නත් කාඩ්පත හෝ එහි පිටපතක් හෝ නොමැති කිසිවකුට රටින් පිටව යා නොහැකි ය. නීතිය එය බැවින්, දකුණු කොරියාවේ පැවැති සමුළුවකට සහභාගී වීම සඳහා මෙරටින් පිටව යාමට කටුනායක ගුවන්තොටුපොළට ඔක්තෝබර් 23දා ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ගුවන් යානයට ගොඩ වීමට ඉඩ නොලැබුණේ, එන්නත්කරණ කාඩ් පත රැගෙන නොපැමිණීම නිසා ය.

වෛද්‍ය අනිල් ජාසිංහ මුළු රටම හඳුනන චරිතයක් වුව ද, ගුවන්තොටුපොළින් ගුවන් යානය වෙත ගොඩ වීමට එහි සිටි නිලධාරීන් ඉඩ නොදුන්නේ ඔහු එන්නත් කාඩ්පත රැගෙන නොඒම හේතුවෙනි. තමන් එන්නත් ලබාගෙන ඇති බව ඔහු පුන පුනා කීවත්, කාඩ්පත නොමැති වීම යන කාරණය මත ඔහුට ගුවන්තොටුපොළේ රස්තියාදු වීමට සිදු විය. පසුව එන්නත් කාඩ් පතේ ඡායාරූපයක් සිය ජංගම දුරකථනයට ගෙන්වාගෙන එය පෙන්වීමෙන් පසු ඔහුට ගුවන් යානයට ගොඩ වීමට අවස්ථාව සැලැසිණි.

එන්නත නොගෙන විදෙස්ගත වූ යුවළ

රටම හඳුනන චරිතයකට එසේ වුව ද, ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවට හා ඇයගේ සැමියාට කිසිදු එන්නත් කාඩ් පතක් ඉදිරිපත් කිරීමකින් තොරවම නයිජීරියාව බලා පිටත්ව යෑමට අවස්ථාව හිමි වන්නේ ය. එන්නත් කාඩ් පත පෙන්වීමට එන්නත් ලබා ගෙන තිබිය යුතු ය. නමුත්, මෙම කාන්තාව සහ ඇයගේ සැමියා කිසිදු එන්නතක් ලබාගෙන නැති දෙපළක් වුව ද, ඔවුහු රටේ නීතියට පිටින් විදේශගත වූහ.

අනිල් ජාසිංහට නොලැබුණු අයිතිය ඇයට හා ඇයගේ සැමියාට ලැබුණේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැත. එම කාන්තාව කිසිදු එන්නතක් ලබාගෙන නැති බව රටට හෙළි කළේ ද, ලෝකයට දැඩි තර්ජනයක් මතු කළ කොවිඩ් විකෘති ප්‍රභේදය ඇයට වැළඳී ඇතැයි තහවුරු කර ගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දරම ය.
සමුළුවකට සහභාගී වීමට බව කියමින්, මෙරටින් පිටත්ව ගිය කාන්තාව හා ඇයගේ සැමියා මාසයක පමණ කාලයක් නයිජීරියාවේ රැඳී සිට මෙරටට පැමිණෙන්නේ ඉකුත් නොවැම්බර් මස 24දා ය. ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂාවකට ලක් කරනුයේ, අප්‍රිකානු රටවල මේ වන විට පැතිර යන ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුකොටගෙන ය.

නිරෝධායන නීති ඈලියාවට

එම ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂාවේ දී ඇය කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම නිසා ඔවුන් යොමු කෙරෙනුයේ, පානදුර, ලුනාවේ පිහිටි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ය. නමුත් ඇය ඊට පසු දින ම එම මධ්‍යස්ථානයෙන් පිටව යන්නේ නිවෙසේ නිරෝධායනය සඳහා යොමු වන බව පවසමිනි. එහි දී ඇය ඔවුන් පදිංචි මාරවිල නිවසේ නිරෝධායනය වන බවට ලුනාව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

මේ අතර ඇයගේ ප්‍රතිදේහ සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති සහ සෛල ජෛව විද්‍යා අංශයට යොමු කරනුයේ, ජාන විශ්ලේෂණයක් කිරීම සඳහා ය. එහි දී ඇය ආසාදිතව ඇත්තේ, කොවිඩ් දරුණු ප්‍රභේදයක් ලෙස සැලැකෙන ඔමික්‍රෝන් මඟින් බව හඳුනා ගන්නේ ය. ඒ දෙසැම්බර් මස 03දා ය.

ඒ අනුව ඇය ලබා දුන් තොරතුරු අනුව නිරෝධායනය වන නිවස වෙත සෞඛ්‍ය බලධාරීන් පැමිණෙන්නේ ඇය මෙරටින් හඳුනා ගත් පළමු ඔමික්‍රෝන් රෝගියා වූ බැවිනි. මන්ද, මෙම රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා එය තවත් පිරිසකට බෝවීම පාලනය කිරීමට උපරිම පියවර ගත යුතු නිසා ය. එහෙත්, බලධාරීන් එහි යන විටත් ඇය හා සැමියා සෞඛ්‍ය අංශ වෙත ලබා දුන් ලිපිනයේ සඳහන් නිවසේ නොසිටියහ.

පසුව ඇයව සොයා ගැනෙන්නේ වෙනත් නිවසක සිටිය දී ය. සෞඛ්‍ය අංශ කළ සොයාබැලීමේ දී ඇය හමු වන්නේ තල්විල, සමෘද්ධි මාවතේ නිවසක රැඳී සිටිය දී ය. පුදුමයට කාරණය එය නොවේ ය. මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ ඇය පදිංචිව සිටින ප්‍රදේශයේ කිසිදු සෞඛ්‍ය බලධාරියෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් තබා අසල්වැසියෙක්වත් ඇය කොවිඩ් රෝගියකු බව හෝ ඇය නිවසේ නිරෝධායනය වන කෙනකු බව හෝ නොදැන සිටීම ය.

තොරතුරු සැඟවීම

එම වැරැද්ද සිදු වූයේ කොතැනක ඇති වූ දෝෂයකින් ද යන්න හා ඒ දෝෂය සිදු වූයේ කෙසේ ද යන්න කියාවත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ නැත. එම කාරණය ගැන මාධ්‍ය විමසද්දී, ඔවුහු ගොළු වෙති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනුයේ, එම කාන්තාව හා ඇයගේ සැමියා සිද්ධියට අදාළව බොහෝ තොරතුරු සඟවන බව ය.

මාරවිල පදිංචි මෙම කාන්තාව හා සැමියා මෙරටින් පිටත්ව යන්නේ ඔක්තෝබර් 23දා ය. එහි දී ඔවුන් ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ට පවසා ඇත්තේ, ක්‍රිස්තියානි හා ව්‍යාපාරික සමුළුවකට සහභාගී වීමට නයිජීරියාව බලා පිටත්ව යන බවකි. එහි දී කාන්තාවගේ සැමියා කරන රැකියාවක් ගැන කිසිවක් අනාවරණය වී නැත. නමුත්, ඇය පෙනී සිට ඇත්තේ, ඉංග්‍රීසි කථිකාචාරිනියක් ලෙස ය. මාර්ගගත ක්‍රමයට සිසුනට පන්ති පවත්වන බව වැඩිදුර තොරතුරු සොයාබැලීමේ දී හෙළිදරව් විය.

පොලිසිය හෙළි කර ගත් තොරතුරුවලට අනුව මෙම යුවළ පදිංචිව සිටිනුයේ, මාරවිල පොලිස් බලප්‍රදේශයේ, තල්විල, සමෘද්ධි මාවතේ නිවසකය. එහෙත්, ඔවුන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ලබා දී තිබුණේ, මාරවිල සමනල මාවතේ නිවසක තොරතුරු ය.

පිටුපස ආගමික නිකායක්?

කෙසේ වෙතත්, ඔවුන් නයිජීරියාවේ මාසයක් තිස්සේ සහභාගී වූ සමුළුව ගැන කිසිවක් කියන්නේ නැත. සෞඛ්‍ය අංශ මෙන්ම පොලිසිය ද ඒ ගැන හාරා අවුස්සමින් විමසා ඇතත්, ඔවුන්ගෙන් නිශ්චිත තොරතුරක් හෙළි කර ගැනීමට නොහැකි වී ඇත.
එන්නත්කරණ කාඩ්පතක් නොමැතිව රටම දන්නා අමාත්‍යාංශයක ලේකම්වරයකුට රට නියෝජනය කරමින් ලෝකයම පිළිගත් සමුළුවකට යෑමට ඉඩ නොලැබුණ ද, මාරවිල පදිංචි යුවළකට කිසිදු එන්නත් කාඩ් පතක් නොමැතිව කිසිවකුත් නොදන්නා සමුළුවකට යාමට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැන බලධාරීන් රටට හෙළි කළ යුතුය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ, මොවුන් එන්නත් ලබා ගෙන නැත්තේ එන්නත් නොපිළිගන්නා ආගමික මතවාදයක් මොවුන් අදහන නිසා බව ය. ඔවුනට ඕනෑ ම ආගමික මතවාදයක් පිළිගැනීමට අවකාශයක් ඇත. එහෙත්, නිරෝධායන නීතිය යටතේ පැන වූ නීතියක් කඩ කිරීමට කිසිදු පුද්ගලයකුට අයිතියක් නොමැත.

එසේ නම්, ඔවුන් එන්නත් කාඩ් පත නොමැතිව විදේශගත වූයේ කෙසේ ද යන්නත්, ව්‍යාජ ලිපිනයක් දී ලුනාව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටත් වූයේ කෙසේ ද යන්නත් සොයාබැලිය යුතු ය. මෙම කාන්තාව හා ඇයගේ සැමියා නියෝජනය කරන ආගමික නිකායට සම්බන්ධ රජයේ ඉහළ තැනැත්තකු ඔවුනට මෙලෙස විදේශගත වීමට උපකාර කළ බවට මතයක් ද සමාජය පුරා පවතියි.

එසේම ගුවන්තොටුපොළ බලධාරීන්ට අල්ලස් දී රටින් පිට වූ බවට මතයක් ද පවතියි. එය කෙසේ වුවත්, ඔවුන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් නිරෝධායනය නොවන පිරිසක් සේ රැඳීසිටිමින්, සාමාන්‍ය පරිදි වැඩකටයුතු කර ගත් බව අසල්වැසියන් සඳහන් කර ඇත. එසේ නම්, ඉක්මනින් ව්‍යාප්ත වන මෙම රෝගය රැගෙන ඔවුහු සමාජගත වී ඇත.

එම නිසා තවත් රෝගීන් වාර්තා වීමට ප්‍රථම මේ ගැන සෞඛ්‍ය අංශ පැහැදිලි පිළිතුරක් සමාජයට දිය යුතු ය. පොලිසිය සඳහන් කරනුයේ, බුද්ධි අංශ යොදවා මේ ගැන විමර්ශනයක් පැවැත්වෙන බව ය. ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් වූ පසුව දීර්ඝ ලෙස ප්‍රශ්න කොට මේ ගැන තොරතුරු හෙළිදරවු කර ගන්නා බව පොලිසියේ අදහස ය.

ඉදිරියට පැමිණෙන්නේ උත්සව සමයයි. මේ නිසා කල්පනාකාරී වන ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. රෙදිපිළි ගැනීම වෙනුවෙන් අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත්, නැවත රට වසා දැමීමකට යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද සඳහන් කරති. කෙසේ නමුත්, මුල සිට ම මෙරට කොවිඩ් ව්‍යාප්ත වූයේ බලධාරීන්ගේ මෙන්ම ජනතාවගේ ද නොසැලැකිල්ල හේතුවෙනි.

– ලසන්ත වීරකුලසුරිය

Leave A Reply

Your email address will not be published.

one + fourteen =