‘දෙලොවක් අතර’ සහ ‘වියසිදුරු’ අතර කිසියම් සම්බන්ධයක් තියෙනවා ද?

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන විවිධ අවස්ථාවල ලැබිලා තියෙනවා. නමුත් ළඟ දී අපට ආරංචි වුණා කැලණිය විශ්වවිද්‍යාලය නිෂ්පාදිත චිත්‍රපටයකට ජාත්‍යන්තර සම්මාන කිහිපයක් ලැබුණු බව. මේ ගැන විපරම් කරන්න අපි ‘වියසිදුරු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි මුණගැසුණා.

මුලින් ම කියන්න මොකක්ද මේ සම්මාන ගැන කතාව ?

පසුගිය නොවැම්බර් 29 කල්කටාවේ දී පැවැත්වුණු ‘කල්කටා ජාත්‍යන්තර සංස්කෘතික චිත්‍රපට උලෙළේ’ දී ‘වියසිදුරු’ චිත්‍රපටය ජයග්‍රහණයක් හිමි කර ගත්තා. ඒක තමයි ඔය කියන සම්මාන කතාව.

මේ චිත්‍රපටයට ලැබෙන පළමුවෙනි ජාත්‍යන්තර සම්මානය ද මේක ?

නෑ. මේකට මීට කලින් ප්‍රංශයේ ‘පැරිස් ජාත්‍යන්තර සිනමා උලෙළේ’ හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි වුණා. ඊට අමතරව මේ වන විට තවත් ජාත්‍යන්තර සම්මාන උලෙළවල් ගණනාවක අවසාන වටය නියෝජනය කරමින් තිබෙනවා. එතකොට ඔය කල්කටා හෝ පැරිස් සම්මාන උලෙළවල දී විශේෂයෙන් ම චිත්‍රපට විවිධ ශානර ඔස්සේ තමයි ඉදිරිපත් වෙන්නේ.

මේ චිත්‍රපටිය නියෝජනය කළේ මොන ක්ෂේත්‍රය ද?

මේක ඇත්තටම පශ්චාත් නූතනවාදී සිනමා කාණ්ඩයට තමයි අයිති වුණේ. ලංකාවේ පශ්චාත් නූතන සිනමා කෘති ඉතා අතළොස්සක් පමණයි නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත්, වසර ගණනාවක් තිස්සේ පශ්චාත් නූතනවාදය පිළිබඳ විවිධ විද්වත් සංවාද, විශ්වවිද්‍යාලයීය පර්යේෂණ, සාකච්ඡා, විවාද, සිනමා විචාර සිදු වුණත්, සිනමා කෘති නිර්මාණය වීම සිදු වුණේ ඉතා සෙමෙන්. ඒක තමයි මේ චිත්‍රපටියේ විශේෂත්වය. ඒ වාගේම පශ්චාත් නූතන සිනමා කාණ්ඩය නියෝජනය කිරීමෙන් තමයි, කල්කටාවේ දී මේකට සම්මාන ලැබන්නෙත්.

ජාත්‍යන්තර අගැයීමට ලක්වුණ ‘වියසිදුරු’ චිත්‍රපටය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට නරඹන්න තාම අවස්ථාව ලැබුණේ නෑ නේ ද?

ඇත්තටම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා දැනට අවුරුදු දෙකක්. චිත්‍රපටයේ වැඩ අවසන් වෙන්නේ 2018 අප්‍රේල්. ඊට පස්සේ මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකාගාරය වෙත මුදාහරින්න සූදානම් වෙනකොට ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වුණා. එවක සමාජ තත්ත්වය හෝල් එකකට ගිහිල්ලා චිත්‍රපටියක් බලන්න පුළුවන් මට්ටමකට ගොඩනැඟිලා තිබුණෙ නෑ. ඊට පස්සේ කොරෝනා වසංගතයත් ආවා. මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙච්ච නිසා තමයි ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය ඉදිරිපත් කරන්න නොහැකි වුණේ. ඒ නිසා අපි ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කරන්න තීරණය කළා. නුදුරු අනාගතයේ දී ම ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

මොකක් ද ‘වියසිදුරු’ චිත්‍රපටියයි, පශ්චාත් නූතන සිනමාවයි අතර තියන සම්බන්ධය ?

ලෝක සිනමාවේ පශ්චාත් නූතන සිනමා ශානරය කියලා එකක් ගොඩනැඟිලා තියෙනවා. එවැනි ලක්ෂණ තියන ගොඩක් චිත්‍රපටි තියනවා. ‘බ්ලූ වෙල්වට්’ (Blue Velvet),  ‘බීන්ග් ජෝන් මැල්කොවිෂ්’ ( Being John Malkovich),  ‘පල්ප් ෆික්ෂන්’ ( Pulp Fiction), ‘ද ටෲමන් ෂෝ’ (The Truman Show) වගේ චිත්‍රපටි මේ ශානරයට අයත් වෙනවා. ඒවගේ ම ලංකාවෙත් සිනමා කෘති කිහිපයක් ම බිහි වුණා. මේකත් ඒ වගේ චිත්‍රපටියක්.

ඇයි ඔබ පශ්චාත් නූතන සිනමා ශානරය තෝරා ගන්නේ ? මොකක් හරි විශේෂ හේතුවක් තියෙනව ද?

මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේත්, ඊට පෙරත් පශ්චාත් නූතනවාදය පිළිබඳව ලියැවුණු යම් යම් පර්යේෂණ සහ විචාර කියවන්න උනන්දුවක් දැක්වූවා. විශ්වවිද්‍යාලයේ දී පශ්චාත් නූතන සිනමාව පිළිබඳව පර්යේෂණ සිදු කරලා තියෙනවා. ඒ නිසා මට හිතුණා පශ්චාත් නූතන සිනමා ලක්ෂණ සහිත නිර්මාණයක් කරන්න.

මොනවද මේ පශ්චාත් නූතන සිනමාවේ අංග ලක්ෂණ ? කෙටියෙන් කිව්වොත් ?

මේ ලක්ෂණ අතර කිහිපයක් ගත්තොතින් මහා ආඛ්‍යාන ප්‍රතික්ෂේප කිරීම, විසංයෝජනය, අන්තර්පඨිතත්ත්වය, සංග්‍රහනුකරණය, කර්තෘ ඝාතනය වගේ ලක්ෂණ ගොඩක් තියෙනවා. අන්න ඒ වගේ ලක්ෂණ කිහිපයක් පර්යේෂණාත්මකව සිංහල සිනමාවේ දී භාවිත කිරීමේ අරමුණකින් තමයි, අපි මේක ඉදිරිපත් කරන්නේ. මං හිතනවා චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වෙනවාත් එක්කම පශ්චාත් නූතන සිනමා විචාර මඟින් මේ චිත්‍රපටයේ පශ්චාත් නූතන සිනමා ලක්ෂණ පිළිබඳව විචාරකයන්ගේ වගකීම ඉටු කරයි කියලා. මම කතා කරනවට වඩා ඒක හොඳයි කියලයි මගේ අදහස.

සිනමා ශාලාවලට ඉදිරිපත් නොවුණට මේ චිත්‍රපටය පිළිබඳව අපිට අහන්න ලැබුණා. ඒ වගේ ම විවිධ රූප රාමු කොටස් දකින්න ලැබුණා. ඒ දැකපු අය අතුරින් කෙනෙක් දැක් වූ අදහසක් තමයි ලෙස්ටර් මහත්තයාගේ ‘දෙලොවක් අතර’ චිත්‍රපටයයි ‘වියසිදුරුයි’ අතර ගැළපීමක් තියෙන බව. මොකක්ද ඒ කතාව ?

‘දෙලොවක් අතර’ චිත්‍රපටියෙ සිදු වන්නේ කිසියම් රිය අනතුරකට මුහුණ දීපු මධ්‍යම පාන්තික තරුණයකුගේ මානසික ආතතිය සිනමාරූපීව ඉදිරිපත් කරන එක. ඒ අනුභූතියේ නූතන හැඩය ගත් යම් අත්දැකීමක් තමයි, ‘වියසිදුරු’ චිත්‍රපටයට වස්තුවිෂය වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ චිත්‍රපටය විශ්වවිද්‍යාලය මට්ටමින් සහ වෙනත් අයට ප්‍රදර්ශනය කරපු අවස්ථා කිහිපයක ඇතැම් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි, ‘දෙලොවක් අතර’ සහ ‘වියසිදුරු’ අතර කිසියම් සම්බන්ධයක් තියෙනවා නේ ද කියන එක. ඒකයි, මම හිතන්නේ ඔය ප්‍රශ්නය ඇති වෙන්න හේතුව.

එතකොට ‘දෙලො වක් අතර’ චිත්‍රපටියේ අත්දැකීම ඔබට බලපෑවා ද ‘වියසිදුරු’ තිර පිටපත ලියද්දී ?

නෑ ඇත්තටම ඒක පසුව විචාරකයන් ු මට කියපු අදහසක් මිසක ‘දෙලොවක් අතර’ චිත්‍රපටය හිතේ තියාගෙන ගොඩනඟපු එකක් නෙමෙයි මේක.

චිත්‍රපටය පශ්චාත් නූතන චිත්‍රපටයක් කියලා කිව්වාම, උගත්, සිනමා විචාරය පිළිබඳ දැනුමක් තියෙන විශ්වවිද්‍යාල උගතුන් ආදී අයට විතර ද මේක රස්විඳින්න පුළුවන් ?

කිසිසේත්ම නෑ. මේ චිත්‍රපටය මැද මාවතේ චිත්‍රපටයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. එච්. ඩී. ප්‍රේමරත්න වගේ අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ නාගරික මැද පන්තියත්, විශ්වවිද්‍යාල උගතුනුත්, ඈත පිටිසර ග්‍රාමීය පිරිසුත් වයස් භේදයකින් තොරව, උගත් – නූගත් භේදයකින් තොරව රසවින්දා. මිනිසුන්ගේ මතකයේ ඒවා රැඳිලා තිබුණා. ඒ වගේ මේ චිත්‍රපටය ඕනෑම පන්ති මට්ටමක සිටින ඕනෑම වයස් පරතරයක සිටින කෙනකුට විවිධ අර්ථවලින් විචාරය කර ගන්න, රසවිඳින්න පුළුවන් මට්ටමට තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.

මේ චිත්‍රපටිය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතර සම්බන්ධය කුමක් ද කියල පැහැදිලි කළොත් ?

‘මනමේ’, ‘සිංහබාහු’ වැනි නාට්‍යය ගැන කතා කරන කොට පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපට මතක් වෙන්නේ. ඉතින් අපිට හිතුණා, කැලණිය විශ්වවිද්‍යාලය සිනමා කෘති බිහි කරන තෝතැන්නක් බවට පත් කරන්න. ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රථම සිනමා කෘතිය බවට මෙය පත් වුණා. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කළ ප්‍රථම වෘතාන්ත සිනමා කෘතිය බවට ද මෙය පත් වුණා.

ඒ කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලය තමයි මේක නිෂ්පාදනය කළේ ?

මෙහෙමයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික දායකත්වයකින් පමණක් නිෂ්පාදනය වුණා කියන එක නෙමෙයි, මම එතැන අර්ථවත් කළේ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ගෞරව උපාධි පාඨමාලාවේ කථිකාචාර්යවරයෙක්. ඒ වගේම එම අංශය මඟින් පවත්වාගෙන යනු ලබනවා, සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒ පාඨමාලාවේ ශිෂ්‍යයන්ට සැබෑ සිනමා අත්දැකීමක් ලබමින් සිනමා කෘතියක් බිහි කරන්නේ කොහොම ද කියන එක ගැන අත්දැකීම් ලබා දෙන්නත්, ඔවුන් උකහාගෙන තිබෙන, ඔවුන් ගොඩනඟාගෙන තිබෙන හැකියාවන් හා ප්‍රතිභාවන් ඉදිරියට ගන්න පුළුවන් අවස්ථාවක් ගොඩනඟන්නත් තමයි මේ චිත්‍රපටිය බිහිවුණේ. මං මෙහි අධ්‍යක්ෂවරයා සහ සමායෝජකයා බවට පත්වුණා. නමුත් ඒ ඩිප්ලෝමා පාඨමාලාවේ ශිෂ්‍යයන් තමයි, මේ සිනමා කෘතියේ බහුතරයක් කාර්යයවල නිරත වුණේ. ඒ අනුව මේ නිර්මාණය බිහි කරද්දී, කැලණිය විශ්වවිද්‍යාලය හදන පළමු චිත්‍රපටය කියන සතුට මෙයට සහයෝගය දුන්න හැම කෙනාම වින්දා.

‘වියසිදුරු’වලට ජාත්‍යන්තර සම්මානත් ලැබුණා. මේ වගේ සම්මාන ලබන අධ්‍යක්ෂවරයකුට නිෂ්පාදකයන් නිකම් ඉන්න නම් දෙන්නෙ නෑ. ඔබ තවත් සිනමා කෘති ඉදිරියට බිහි කරන්න බලාපොරොත්තුවෙන් ඇති. කැමැති ද ඒ ගැනත් කියන්න ?

ඔව්. තව සිනමා කෘතියක වැඩ අපි පටන් අරගෙන තියෙන්නේ. මේ දවස්වල ඒකේ පූර්ව නිෂ්පාදන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. මාර්ගගත ක්‍රමයට විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට සිදු කරන ඉගැන්වීම් සඳහා වෙහෙසෙන එක තමයි, මගේ අංක එක. ඒ වගේම සිනමා ක්‍ෂේත්‍රයේ පර්යේෂණ කාර්යයේ මේ වෙලාවේ මා නිරත වෙලා සිටිනවා. විශේෂයෙන්ම මගේ ආචාර්ය උපාධි කටයුතු සඳහා. ඒ සඳහා විදේශගත වීමට පෙර නව චිත්‍රපටයේ වැඩ අවසන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නෙ. මුල්තැන ඉගැන්වීමටත්, විශ්වවිද්‍යාල පර්යේෂණවලටත් යොමු කරලා ඉඩ ලැබෙන හැම මොහොතකම මගේ කාලය මම යොමු කරන්නේ ඊ ළඟ සිනමා කෘතිය සඳහා තමයි.

ජාත්‍යන්තර සම්මානවල සතුටත් සමඟින් ලංකා පුවත් පතත් සමඟ කාලය ගත කරපු එක ගැන අපි බොහොම ස්තූතිවන්ත වෙනවා. ලාංකේය ප්‍රේක්ෂකයාට, පාඨකයාට කියන්න මොනවා හරි දෙයක් තියෙනවා ද?

මේ ජාත්‍යන්තර සම්මාන ලැබුණු ආරංචිය දැනුණු සැණින් ‘ලංකා’ පුවත් පත මේ පිළිබඳව සංවේදී වීම ගැන ස්තූතිය පුද කරනවා. ජීවිතය සුන්දර කර ගන්න පුළුවන් සාධාරණ සමාජයක් ගොඩනැඟීමට කවුරුත් එකතු වෙලා වැඩ කරමු. කලාකරුවෝ වගේම අනික් සියලු දෙනාත් ඒ සඳහා එකතු වෙමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ.

සාකච්ඡා කළේඋපුල් කොරටුවෙල

ප්‍රභාත් අගම්පොඩි

Leave A Reply

Your email address will not be published.

16 − thirteen =