මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු ද?

ලංකාව කෘෂිකර්මාන්තය මූලික කර ගත් ආර්ථිකයක් පැවැති රටකි වර්තමානය තුළ එය එසේ නොවුණ ද, අතීතය විමසා බැලීමේ දී අපට එයට සාක්ෂි ඕනෑතරම් තිබේ. අනුරාධපුර, පොළොන්නරුව ආදී වියළි කලාප තෙත් කළ මහා වැව් දසදහස් ගණනක් රජවරුන් තැනුවේ ගොවිතැන ශක්තිමත් කිරීමට ය. රටේ පරිභෝජනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය රටක පාලනයට ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් ලෙස අතීත පාලකයන් සලකා ඇති බව පෙනේ. අනෙකුත් කුමන ආකාරයේ ගැටලු‍ තිබුණත්, පාලකයා මූලික ලෙසම ගොවීන්ගේ ගැටලු‍  විසඳා ඇත්තේ එනිසා ය. ඒ අතීතයයයි.

වර්තමාන පාලකයන් නොසලකාම හරින පිරිසක් ලෙස ගොවීන් පෙන්වා දිය හැකි ය. රටේ කෘෂිකර්මාන්තය තුළ නියැළෙන ගොවීන් තම ජීවිකාව පවත්වාගෙන යන්නේ ඉතාම නොසතුටකිනි. පරම්පරාවෙන් ලැබුණු දායාදයක් ලෙස ගොවිතැන තෝරා ගත් පිරිස් විනා තරුණ පිරිස් කෘෂිකර්මාන්තය තුළ නියැළීම ප්‍රතික්ෂේප කරමින් සිටිති. එයට ප්‍රධානම සාධකය වන්නේ කෘෂිකර්මාන්තයට ලැබෙන කුඩම්මාගේ සැලැකිලි ය.

ගොවීන් ගොවිබිම්වල සිටිනවාට වඩා සිටින්නේ මහ පාරේ ය. ඔවුන්ගෙන් නිතර නැඟෙන්නේ මැසිවිලි ය. ඔවුනට අවශ්‍ය පොහොර නොමැත. නිෂ්පාදන නිසි මිලකට අලෙවි කර ගත නොහැකිය. වගාවන්ට සිදු වන සත්ව හානි වැනි විවිධ කරුණු කාරණාවලට සාධාරණය ඉල්ලා ඔවුහු නිරන්තර අරගලයක නිරත වෙති. ණයබරින් පීඩා විඳිමින් තම දරුවන්ට නිසියාකාරව අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිකමින් ලාංකික ගොවීහු පීඩා විඳිති. පාලකයෝ ඔවුන්ගේ ගැටලු‍වලට කිසිදු ආකාරයේ තැකීමක් නොකරනවා පමණක් නොව ගොවීන්ට දේශපාලන ලේබල් අලවමින් නොයෙක් සාවද්‍ය ප්‍රකාශ කරමින් තමන්ගේ ගැලවීම සලසා ගනිති.

ලෝකය තුළ මොන ආකාරයේ ව්‍යසන පැවැතිය ද, නොනැසී පවත්වා ගත යුතු කර්මාන්තය කෘෂිකර්මාන්තයයි එයට හේතුව කුසගින්න සංසිඳුවා ගැනීම මිනිසාගේ පැවත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන බැවිනි. ලෝකයේ බොහෝ දියුණු රටවල් තම රටේ ආර්ථිකයෙන් වැඩි පංගුවක් කෘෂිකර්මාන්තය සඳහා වැය කරයි. බොහෝ රටවල කෘෂිකර්මාන්තයේ නියැළෙන්නේ තරුණ පිරිස්‍ ය. ඔවුන්ගේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත්‍ ය. එනිසා ලෝකයේ බොහෝ රටවල තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය තම රැකියාව ලෙස සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතී.

නමුත්, අප රට තුළ තරුණයෝ කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙමින් සිටිති. බොහෝ විට අපට ගොවිබිම් තුළ දැකිය හැකි වන්නේ වයෝවෘද්ධ ගොවීන්‍ ය. අප රට තුළ බොහෝ විට පියාගේ රැකියාවම දරුවන් ඉදිරියට පවත්වාගෙන යාමේ සංස්කෘතිකයක් තිබුණ ද,  එය ද කෘෂිකර්මාන්තය තුළ බිඳවැටී තිබේ. ගොවීන්ගේ දරුවන් පවා ගොවිතැන ප්‍රතික්ෂේප කරමින් වෙනත් රැකියා අවස්ථා සොයා යාම සුලබ වී ඇත. අප රට තුළ පවතින තත්ත්වය මත එය සාධාරණ ය. එම දරුවන්ට පවා තමන්ගේ දෙමවුපියන් විඳින දුක්ගැහට ඇස්පනාපිටම පෙනී යද්දී, ඔවුනුත් එම වෘත්තිය ම තෝරා ගැනීම කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි ය. එනිසා අනාගතයේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය බරපතළ කඩාවැටීමකට ලක් වීම වැළැක්විය නොහැකි වනු නියත ය. එය රටේ ඉදිරි පැවැත්ම බරපතළ අනතුරකට ලක්වීමකි.

මෙම ගැටලු‍ විසැඳීම සඳහා වූ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති අතර, බරසාර, අලංකාර වචන යොදා විවිධ ව්‍යාපෘති පැවැති සහ පවතින ආණ්ඩු නොයෙක් නොයෙක් කාලවල දී යෝජනා කළ ද ඒවා මහ පොළොව තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැත. අවම වශයෙන් රට තුළ පවතින කෘෂි අවශ්‍යතාව සපුරා ගැනීමටවත් නොහැකි තරම් අපේ කෘෂිකර්මාන්තය බිඳවැටී තිබේ. මේ මට්ටමින් හෝ මෙම කර්මාන්තය පවත්වාගෙන යන ගොවීන් පිළිබඳව අප ආඩම්බර විය යුතු ය; ඔවුන් රැකගත යුතු ය. ‘මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු යැ’යි කියමන අතීතයට වලංගු වුව ද, වර්තමානය තුළ රජකම් කරන පිරිස් හා ගොවියා සමාන කිරීමට ගොවියාට සිදු කරන නිගාවකි.

■ සිතුම් වීරතුංග

ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

Leave A Reply

Your email address will not be published.

one × 3 =