පිරිමැස්ම…

කන්තෝරු ඇරිල යන ගමන් ඒ කිට්ටුව සුපර් මාකට් එකෙන් මාසෙ අඩුමකුඩුම ටික ගත්තු කල්‍යාණි ඒකත් උස්සගෙන පාර අයිනට ගියෙ නන්ද එනකං. ගත්තෙ හැමදාම ගන්න බඩුමුට්ටු ටික වුණත්, ඒකට ගිය වියදම දෙගුණෙකට කිට්ටුයි. පාර අයිනට වෙලා හිටි කල්‍යාණි හිටියෙ වටපිට බල බල බොහොම සැකයකින්. සැකෙන් බයෙන් වටපිට බල බලා ඉන්න කල්‍යාණිව දැකපු ඡන්න කල්‍යාණි ඉස්සරහින් දඬුමොනරෙ නවත්තද්දී, කල්පනා ලෝකෙ ගිලිලා හිටි කල්‍යාණි කෑගැහැව්වෙ හොරෙක් ඇවිත් බෙල්ලෙන් ඇල්ලු‍වා වගේ.

වටේපිටේ මිනිස්සු ඒ පැත්ත බලද්දී, “මම හිටියෙ වෙන කල්පනාවක ඡන්න සොරි…” කියලා කල්‍යාණි කිව්වෙ, බයිසිකලේ හැන්ඩ්ල් එකත් අල්ලගෙන. ඒ පැත්තට හැරුණු මිනිස්සු තම තමන්ගෙ පාඩුවේ යන්න ආව ගමන යන්න හැරුණෙ “ගෑනුන්ටත් පිස්සු…” කියලා හිතින් කිය කියා.

“මොකද්ද යෝදියෙ වුණේ…?” කියලා ඡන්න අහද්දී, කල්‍යාණි කිව්වෙ, “බඩු මල්ල තියාගෙන මෙතැනට වෙලා හිටියෙ පණ බයේ… මොකෙක් හරි ඇවිත් මේ මලු‍ දෙක උස්සගෙන දුවයි කියලා…” කියලයි.

“ඕක ඇතුළෙ රත්තරන් බඩුත් තියේ ද…?” ඡන්න ඇහැව්වෙ පුදුමයෙන්.

“රත්තරන් නං බැංකුවෙ නෙ. එක අතකින් ඒවා ප්‍රවේසම්. මේ සීනි, පිටි, බිත්තර, එළවළු, හාල්, පොල්, තෙල් ඇතුළු අඩුමකුඩුම. මේවයෙ ගාණෙ හැටියට පාරක තොටක තියාගෙන තනියම ඉන්න බයයි.” කල්‍යාණි උත්තර දුන්නෙ ඇස් උඩ විසි කර කර.

“ඒකත් එහෙම ද…? තව ඩිංගෙන් වටේ මිනිස්සු මට අල්ලං ගහනවා ඒ කෑගැහිල්ලට.” ඡන්න කිව්වෙ කට කනට අරන්.

ඊට පහුවෙනිදා දවල් වරුවක් නිවාඩු දාපු පසුපෙළ බවලතියො සෙට් එක දවල් කෑමට එළිමහනකට සෙට් වුණේ පොඩි වෙනසකට කියලයි.

“දවල් කෑම පිටින් කෑවත්, වෙනදා වගේ ම උදේ ම නැගිටලා ඉව්වා කියපන්කො.” සීතා කියද්දී, පබයි, උදුම්බරයි, රාධායි ඇර අනෙක් සියල්ලෝ ම එකහඬින් කිව්වෙ, “අපිත් එහෙමයි” කියලයි.

“හරි ඉතින්, ඕක අද විතරක් වෙච්චි දෙයක් නෙවේ නෙ. මතක නෙ අපේ අතීත  ටි්‍රප් එක. ගිය වෙලේ ඉඳන් කළේ ගෙදර තියෙන බඩුමුට්ටු හොයා ගන්න ස්වාමිපුරුෂයන්ටයි, දරුවන්ටයි උත්තර බැන්ද එක නෙ. මේ මොන තරං කියෙව්වත් වැඩක් නෑ මේ රටේ බහුතර පුරුෂ චින්තනය එහෙමමයි. නිවස තුළ ශ්‍රමය සූරාකන්නො… ඒ මාතෘකාව ගැන කතා කරල අද දවසෙ ෆන් එක කුඩු කර ගන්න අවශ්‍ය නෑ නෝනල. එක්කො මං වගේ නිදහස් වෙන්න. නැත්තං කට පියාගෙන දාසභාවයේ ගැලී ඉන්න.”  වටේ පිටේ මේසවල ඉන්න අයත් මූණු උස්සල බැලු‍වෙ රාධාගෙ සීනු සද්දෙට.

“කමක්  නෑ ධර්මප්‍රදීපිකාව අනුව ලබන ආත්මෙ මනාපකායිකා දිව්‍යාංගනාවො වෙලා ඉපදෙන්න පුළුවන් සෙට් එකට ම.”  කියල කිව්වෙ උදුම්බරා.

“මේ ආත්මෙ නැති මොන ලැබීමක්වත් ලබන ආත්මෙට නං මට ඕනෑ නෑ. ලැබෙන දෙයක් දැන්…” සීතා කිව්වෙ රාධා දිහා බලාගෙන.

ඒ අතරෙ දී ප්‍රමිලයි, කුමාරියි ආවෙ දිවා ආහාර අරං. කන අතරෙ දී කල්‍යාණි කිව්වෙ, “කෑම කන්න දුන්නු ප්ලාස්ටික් හැඳි ටික විසි නොකර මට දෙන්න…” කියලයි.

උදුම්බරා ප්‍රශ්නාර්ථ මූණක් දාගෙන කල්‍යාණි දිහා බලද්දි එයා අහිංසක ලීලාවෙන් කිව්වෙ, “සීනි, පිටි, පහේ බෝතල්වලට දාගන්න. කලින් රුපියල් පහට තිබුණු ප්ලාස්ටික් හැන්ද දැන් රුපියල් දොළහක්…”  කියලයි.

“මේ යන විදියට නං කිසිවක් අපතේ යවන්න හොඳ නෑ. ඉතුරු වෙච්චි කෑම ටිකත් අරං යන්නයි වටින්නෙ…” කියලයි සීතා කිව්වෙ, විසි කරන්න නියමිත ඉතුරු බිතුරු දිහා බලාගෙන.

■ හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

6 − one =