තග් බණ සහ නිහඬ අනුබලය…

‘තග දැමීම’ යනු පාදඩ දේශපාලන සංස්කෘතියේ අවියකි. එය ජේ. ආර්, ප්‍රේමදාස යුගයේ සිට රනිල්, සජිත් යුගය දක්වා එජාප උරුමයක් විය. පාලකයා තම වෘත්තීය සමිති සාමාජිකයන් යොදවා මැර බලයෙන් වෘත්තීය අරගල, ජනතා සටන් මර්දනය එහි දේශපාලන ස්වරූපයයි.

එජාප, සජබ යුගයේ එහි අවසාන සෙන්පතියා මරික්කාර් බව දේශපාලන ඉතිහාසය පවසයි. ඒ යහපාලනයේ අවසාන කාලයේ ඛනිජ තෙල් සංස්ථා වර්ජනයේ දී ය. අසූව දශකයේ දී ජවිපෙ නායක රෝහණ විජේවීර, මෙම අනීතික මැර හමුදා ‘තග් සංස්ථාව’ ලෙස නාමකරණයට ලක් කළේ ය. ‘තග් සංස්ථා’ අනීතිකව ජනතා අරගල මර්දනය කරන විට මැරයන්ගේ ආරක්ෂාවට නීත්‍යනුකූල පොලිසිය යෙදැවීම මෙහි ස්වභාවයයි. (එනම් රාජ්‍ය ආරක්ෂාව සැපයීමයි) ‘තග් සංස්ථාව’ හා එහි ක්‍රියාකාරීත්වය රාජපක්ෂ පාලනය තුළ  විවිධ විකාශනයන් ඔස්සේ ‘සිවුරුකරණය’ කොට තිබේ.

“උඹලට බණ කියන්න හරි රටක් තියෙන්නේ අපි කරපු කැපකිරීම් නිසා බව දැනගනිල්ලා” යන තර්ජනයෙන් කියැවෙන්නේ බුදුදහම නොව රාජපක්ෂ දහම ය. රාජපක්ෂලා පවසන්නේ ද “යුද්ධය දිනාගත්තේ අපි නිසා අපේ දේවලට ඇඟිලි ගහන්න එපා” යන්න ය. එයින් කියැවෙන්නේ යුද්ධය දිනු නිසා ඔවුන්ට රට පිළිබඳ පරම උරුමයක් තිබෙන බවයි. මෙම හාමුදුරුවන් ප්‍රකාශ කරන්නේ “මම රාජපක්ෂලා සෙවණේ වැඩෙමින් සිවුරක් ලා සිටින නිසා රටම ඔහුගේ අනීතික ක්‍රියාවන්ට බිය විය යුතු බව ය.

බෞද්ධ භික්ෂුත්වයේ අර්ථය පසෙක ලා රාජපක්ෂවාදීත්වය සහ හුදු සිවුර පමණක් අවියක් කොටගෙන ජනතාවට අනීතික බලපෑම් කිරීම එහි මූලික ලක්ෂණයයි. ප්‍රධානම උදාහරණය වන්නේ ජනාධිපති පත් කළ ‘එක රටක් එක නීතියක්’ කමිටුවේ සභාපති ඥානසාර හාමුදුරුවන් දුරකථන මාර්ගයෙන් තරුණ බෞද්ධ භික්ෂුන් දෙනමකට ‘තග’ දැමීමයි. ඒවා ‘රෙකෝඩ්’ කර මේ වන විට ‘යූ ටියුබ්’ හි සැරිසරයි. ඥානසාර හාමුදුරුවෝ එහිදී භාවිත කරන “ඕන නිවන් මඟුලක්”, “භාවනා රෙද්දක්” වැනි ආගමට අපහාස කරන වචනවල බෞද්ධාගමික විරෝධී සහ අසභ්‍යකමට වඩා එහි දී යොදා ගන්නා ‘බල යෙදැවුම්’ භයානකය.

“උඹලට බණ කියන්න හරි රටක් තියෙන්නේ අපි කරපු කැපකිරීම් නිසා බව දැනගනිල්ලා” යන තර්ජනයෙන් කියැවෙන්නේ බුදුදහම නොව රාජපක්ෂ දහම ය. රාජපක්ෂලා පවසන්නේ ද “යුද්ධය දිනාගත්තේ අපි නිසා අපේ දේවලට ඇඟිලි ගහන්න එපා” යන්න ය. එයින් කියැවෙන්නේ යුද්ධය දිනු නිසා ඔවුන්ට රට පිළිබඳ පරම උරුමයක් තිබෙන බවයි. මෙම හාමුදුරුවන් ප්‍රකාශ කරන්නේ “මම රාජපක්ෂලා සෙවණේ වැඩෙමින් සිවුරක් ලා සිටින නිසා රටම ඔහුගේ අනීතික ක්‍රියාවන්ට බිය විය යුතු බව ය.

“හිටපල්ලා තොපේ මහ එකා එක්ක හම්බ වෙන්න එන්නම්” යැයි පවසන්නේ එම තර්ජනයයි.

‘බොදුබල සේනා’ ද ඥානසාර හාමුදුරුවන් ද කවුරුන් දැයි රටම දනිති. අල්පතරයක් හැර රටේ බහුතරය ඔවුනගේ හැසිරීම්වලට සහ ක්‍රියාවලට විරුද්ධ ය. ප්‍රශ්නය එය නොවේ. මේ හාමුදුරුවන්ගේ හාම්පුතුන් වන ජනාධිපති හෝ අගමැති හෝ වෙනත් දේශපාලන බලාධිකාර මේ අවනීතිය දෙස ගොළු, බිහිරි ව්‍රතයෙන් බලා සිටීමයි. දේශපාලන අර්ථයෙන් ඔවුන් විසින් හෝ ආගමික අර්ථයෙන් මහා නායක, නායක හිමිවරු හෝ මෙය ප්‍රශ්න නොකරති. සියල්ලො ම මුනිවත රකිති. චණ්ඩි අපේ හාමුදුරුවෝ හරුප දෙසමින් යති. මෙයට හේතු දෙකක් විය හැකි ය. එක ඔවුන් එය අනුමත කරන නිසාවෙනි. නැතිනම් මේ මැර හැසිරීමට බියෙන් ය.

සිවුරක් ඇඟලාගෙන වියරුවෙන් මෙන් කරන මේ හැසිරීම මනුෂ්‍යත්වයට පමණක් නොව දහමටද මහත් නිගාවකි. අපේ රටේ ජීවත්වන විවිධ ජනකොටස්වලට අපහාස කරමින් හැසිරෙන මේ භික්ෂුවට ‘එක රටක් එක නීතියක්’ ඇති කිරීම භාරදී තිබීමේන් ආණ්ඩුවේ තකතීරුබවද පැහැදිලිය.

රටක ප්‍රජාතන්ත්‍රවාදයට, මානව අයිතීන්ට මේ තර්ජනය බරපතළව බලපායි. අදහස් දැක්වීමේ නිදහස මෙහි නැත. සාකච්ඡාව නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය මෙහි නැත. මේ ‘තග් බළකායවල්’ තම ජනතා විරෝධී හැසිරීම්වලට දේශපාලන ආරක්ෂාව සලසා ගන්නේ පාලකයා වෙනුවෙන් ජනතාව පෙළීම හා ජනතාව බෙදීම හරහා ය.

මේ හිතාමතා ඇති කළ අරාජිකත්වය අවසන් කළ හැක්කේ සංවිධානාත්මක මැදිහත් වීමක් හරහා ගොඩනංවන ජනතා බලයකට පමණි. එතෙක්ම වනවාසී භික්ෂුන් පවා යළි දේශපාලනයට කැඳවන මේ ත්‍රාඩ ක්‍රියා ඉදිරියටත් විඳින්නට සිදු වනු ඇත. ආරක්ෂාව ද, විනය ද, සදාචාරය ද මානව හිතවාදී තත්ත්වයට පත් කළ කළ හැක්කේ මේ මැර සංස්කෘතියට එරෙහි සංවිධානාත්මක දේශපාලන බල තහවුරුවකින් පමණි●

Leave A Reply

Your email address will not be published.

one × one =