දිළිඳුකම පිටු දැකීමට කළ යුත්තේ කුමක්ද?

දරිද්‍රතාව යනු බෙහෙවින් සංකීර්ණ සංකල්පයක්. එහි විවිධ මානයන් දැකිය හැකි අතර, පුද්ගලයකු ලබන ආදායම් තත්ත්වයේ මට්ටම අනුව මෙම මානයන් තීරණය වනවා. ලෝකයේ අන්ත දරිද්‍රතාව (ෑංඑරුපැ ඡදඩැරඑහ) ලෙස අරුත්ගන්වන්නේ පුද්ගලයකුගේ දිනක ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90ක් හෝ ඊට වඩා පහළ ආදායම් ලබන තත්ත්වයක්. රටක සමස්ත ජනගහනයෙන් කුමන ප්‍රමාණයක් මෙම අගයට වඩා පහළ සිටින්නේ ද යන්න මත අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන ජනගහනයේ ප්‍රමාණය තීරණය වනවා. මෙම අර්ථකථනය අනුව අදහස් වන්නේ පුද්ගලයකු අවම මට්ටමින් නොමැරී ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් හෝ ආදායම් ප්‍රමාණය මිස යහපත් ජීවන තත්ත්වයක් ඇති බවක් නොවේ. ඊට අතිරේකව දිළිඳුකම පිළිබඳ විග්‍රහයේ දී නිරපේක්ෂ දරිද්‍රතාව (්ඉිදකමඑැ ඡදඩැරඑහ) සහ සාපේක්ෂ දරිද්‍රතාව (ඍැක්එසඩැ) ලෙස තවත් තත්ත්වයන් දෙකක් ද අවධානයට යොමු වනවා. මෙයින් නිරපේක්ෂ දරිද්‍රතාව යනු ආහාර, ඇඳුම් සහ නිවාස යන මූලික මිනිස් අවශ්‍යතාවන් සපුරා ගැනීමේ හැකියාව අහිමි වීමයි. සාපේක්ෂ දරිද්‍රතාව යන්නෙන් අදහස් වන්නේ සමාජය තුළ යහපත් ජීවන තත්ත්වයක් ඇති කර ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නොහැකි වීමයි.

වර්ෂ 2000ත් 2015ත් අතර වසර 15ක කාලය තුළ ලෝකයේ අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන ජනගහනය මිලියන 802කින් පමණ පහළ දැමීමට ලෝකයේ රටවල් 15ක් සමත් වී තිබෙන බව බව ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් අන්ත දරිද්‍රතාව සහිත රටවල් 15ක දත්ත ඇසුරින් වාර්තාවක් එළිදක්වන ලෝක බැංකුව මෙම තොරතුරු හෙළි කරනවා. අදාළ අධ්‍යයනයට රටවල් 114ක් පාදක වී තිබෙනවා. ඉන් රටවල් 15ක් සැසැඳීමේ දී ඉහත තොරතුරු හෙළිව තිබෙනවා. මෙම රටවල් 15 තුළ 2000 වසරේ සිට 2015 වසර අතර කාලය තුළ සාමාන්‍යයක් ලෙස 1.6%ක ප්‍රමාණයකින් අන්ත දරිද්‍රතාව පහළ ගොස් ඇති අතර, එම ප්‍රමාණය මිලියන 802ක්. මෙම රටවල් 15න් 07ක් ම උප සහරා කලාපය නියෝජනය කිරීම විශේෂත්වයක්. මෙම රටවල් අතුරින් 2015 වන විට වැඩිම අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවක් සිටියේ ඉන්දියාව තුළයි. එය 21%ක්. ප්‍රමාණය රටේ ජනගහනයෙන් මිලියන 268ක්. චීනයේ 2015 වන විට අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන ජනගහනය  වූයේ මිලියන 10ක් පමණයි. එය ආසන්න වශයෙන් සමස්ත ජනගහනයෙන් 1%ක ප්‍රතිශතයකි.

දිළිඳුකම පිළිබඳව අපේ රටේ විවිධ දෑ කතාබහ වුවත්, තත්ත්වය පවතින්නේ ඉතා බැරෑරුම් තැනකයි. 2013 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන ජනගහනය වාර්තා වන්නේ 1.8%ක් ලෙසයි. එය සාපේක්ෂව ලෝකයේ තත්ත්වය හා සැසඳීමේ දී හොඳ මට්ටමක්. එය මේ වන විට සියයට 1ක අගයක ති‍බිය හැකියි. නමුත්, අපේ රටේ නිරපේක්ෂ දරිද්‍රතාව සහ සාපේක්ෂ දරිද්‍රතාව ඉතා ම ඉහළ මට්ටමක පවතින බව වාර්තා වනවා. ලෝක බැංකුවම පෙන්වා දෙන පරිදි අපේ රටේ ජනගහනයෙන් 45%ක් තවමත් ලබන්නේ දිනකට ඇමෙරිකානු ඩොලර් 5ක් හෝ ඊට අඩු ආදායමක්. ඒ අනුව ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස ඇතුළු මූලික මිනිස් අවශ්‍යතාවන් සම්පාදනය කර ගැනීමට සහ යහපත් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට රටේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට හැකිව නැහැ.  

ලෝකයේ ඉතාම වේගයෙන් දිළිඳුකම පිටුදකින රට බවට පත්ව තිබෙන්නේ චීනයයි. වසර 2000 වන විට එරට ජනගහනයෙන් 40%ක් ජීවත් වූයේ අන්ත දරිද්‍රතා කඩඉමෙන් පහළ වන අතර, 2020 අග වන විට ලෝකයේ දිළිඳුකම මුළුමනින් ම පිටුදකින රට බවට චීනය පත් වීමට නියමිතයි. 1979 වසර වන විට චීනයේ දිළිඳු ජනගහනය රටේ සමස්ත ජනගහනයෙන් 97.5%ක් නැතිනම් මිලියන 770ක් වුණා. වසර 40ක ඇවෑමෙන් අද චීනයේ දිළිඳුකම ලෝකයේ පහළම අගය වන 1.7%ක අගයක් වාර්තා කරනවා. වසර 40ක කාලය තුළ මිලියන 850ක ජනගහනයක් අන්ත දරිද්‍රතාවෙන් සහ නිරපේක්ෂ දරිද්‍රතාවෙන් මුදා ගැනීමට චීනයට හැකි වීම ලෝක බැංකුව විසින් ම හඳුන්වන්නේ ආශ්චර්යයක් ලෙසයි. අපේ රට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ 1978 වන අතර චීනය සිය ආර්ථිකය ලෝකයට විවෘත කරන්නේ ඊට වසරකට පසුව එනම්, 1979 වසරේ දීයි. ඒ අනුව අපේ රට සහ චීනය එකම කාලයක ආර්ථික ප්‍රතිසංස්කරණවලට යොමු වූ රටවල් දෙකක්. නමුත් වසර 40ක ඇවෑමෙන් මේ රටවල් දෙක පවතින්නේ කෙසේ ද? 2020 වසර වන විට ලෝකයේ දිළිඳුකම සම්පූර්ණයෙන් ම පිටුදැක්ක රට බවට චීනය පත් වන විට අපේ රටේ දිළිඳුකමින් පෙළෙන ජනගහනය රටේ සමස්ත ජනගහනයෙන් 45%ක් ලෙස පැවැතීම අර්ථකථනය කරන්නේ කෙසේ ද? 

චීන රට පාලනය කරන්නේ එරට කොමියුනිස්ට් පක්ෂය විසින්. කොමියුනිස්ට් පක්ෂය විසින් දිළිඳුකම පිටුදැකීම සිය ජාතික සැලැසුම්වල ප්‍රමුඛතම ක්‍රියාවලිය ලෙස සලකනවා. 2012 වසරේ දී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ පිළිබඳව දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. මේ දිළිඳුකම පිටුදැකීම සඳහා චීනය විසින් ගෙන යන වැඩපිළිවෙළට පුද්ගලයන් මිලියන 2.78ක් යොදවා ඇති බව වාර්තා වනවා. මේ වන විට ලෝකය තුළ පිළිගැනෙන්නේ දිළිඳුකම පිටුදැකීම සඳහා ලෝකයේ විශාලතම මෙහෙයුම සිදු කරන ලද රට බවට චීනය පත්ව තිබෙන බවයි. ඔවුන් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ඒ සඳහා දියත් කළා. චීනය මුලින් ම සිදු කළේ රටේ ජනතාවගේ දිළිඳුකමට අදාළ විද්‍යාත්මක දත්ත එක්රැස් කිරීමයි. එම දත්ත මත පදනම්ව ගොඩනඟන පුරෝකථනයක් ඉලක්ක කර ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමයි. එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ඇගයුමට ලක් කිරීමයි. නමුත්, අපේ රටේ තත්ත්වය මුළුමනින් ම වෙනස්. 2012 වසරින් පසුව අපේ රටේ සමාජ, ආර්ථික දත්ත පිළිබඳව තිබෙන්නේ පුරෝකථනයන් සහ උපමානයන් මිස යථා තත්ත්වයන් නොවෙයි. මොක ද? අප ඊට පසුව ජනගහනය හෝ සමාජ, ආර්ථික දත්ත ලබා ගැනීම සඳහා කිසිදු ප්‍රධාන පෙළේ ජාතික සංගණනයක් සිදු කර නැහැ. ඇමති වෙනස් වූ විට එකම ආණ්ඩුවේ පවා ප්‍රතිපත්ති වෙනස් වන රටක් නිසා මේ තත්ත්වය තවත් දරුණුයි.     

චීනය මුලින් ම සිදු කළේ නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනංවා එමඟින් ආදායම් උත්පාදනය ඉහළ දැමීමයි. රටේ ජනතාව උපායශීලී ලෙස මේ සඳහා යොදා ගනු ලැබුවා.  අද වන විට චීනයේ නිෂ්පාදන ආර්ථිකය කෙතරම් ප්‍රබල ද යත්, වසරකට මිලියන 2.5ක පමණ රැකියා ප්‍රමාණයක් ඔවුන් විසින්  නිර්මාණය කරනවා. එමෙන්ම අදාළ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ගෝලීය වෙළෙඳපළක් ද ඔවුන් විසින් නිර්මාණය කර ගනු ලැබුවා. අද ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ම චීන නිෂ්පාදන ආක්‍රමණය කර අවසන්. එමෙන් ම ලෝකයේ ප්‍රධාන රටවල් රැසකට ප්‍රධාන ම අභියෝගය බවට පත්ව තිබෙන්නේ ද මෙම චීන නිෂ්පාදනයි. 2018 වසරේ දී  චීනය විසින් අලෙවි කර තිබෙන භාණ්ඩ හා සේවාවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2,263ක්. නැති නම් ඩොලර් ටි්‍රලියන 2.3කට ආසන්න අගයක්. මෙලෙස උපයන ආදායමෙන් විශාල ප්‍රමාණයක් චීනය යොදවන්නේ සිය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමටයි. එයින් ද දිළිඳුකම පිටුදැකීම සඳහා විශාල වැයක් දරනවා. චීනයේ ව්‍යාපාර මත 30%ක පමණ බද්දක් පනවා තිබෙනවා. එමෙන්ම චීනයේ සමස්ත බදු ආදායමින් සෘජු බදු ආදායම 90%ක් තරම් ඉහළ තැනකයි පවතින්නේ. ජනතාව එදිනෙදා භාවිත කරන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වක්‍ර බදු ප්‍රමාණය  1% – 7%ත් අතර ඉතා ම පහළ අගයකයි පවතින්නේ. ග්‍රාමීය ප්‍රදේශවල මෙම වක්‍ර බදු ප්‍රතිශතය 1%ක් වන විට නාගරික ප්‍රදේශවල 5%ක් සහ විශාල නගරවල දී 7%ක් ලෙස වෙනස් කර තිබෙනවා. මෙම බදු ප්‍රතිපත්තිය ලෝකයේ ඉතා ම ආකර්ෂණීය බදු ප්‍රතිපත්තියක් වන අතර, එයින් මුළුමනින් ම ඉලක්ක කර තිබෙන්නේ පොදු මහජන සුභසාධනයයි; දිළිඳුකම පිටුදැකීමයි.

නමුත්, අපේ රටේ තත්ත්වය කෙබඳු ද? අපේ රටේ කිසිදු පාලකයකු නිෂ්පාදන ආර්ථිකයක් ගැන හිතන්නේ නැහැ. ගෝලීය වෙළඳපළ තුළ අපේ කොටසක් අත්පත් කර ගත යුතු බව සිතන්නේ නැහැ. ගෝලීය වෙළෙඳපළ ඉලක්ක කර හෝ අඩුම තරමින් අපේ රටේ අවශ්‍යතාවන් ඉලක්ක කර හෝ නිෂ්පාදන ක්‍රියාවලියක් අප සිදු කරන්නේ නැහැ. එවිට අප රටක් ලෙස ආදායම් උපයන්නේ කෙසේ ද? අනෙක් පසින් අපේ රටේ බදු ප්‍රතිපත්තිය මුළුමනින්ම අසංවිධානාත්මක මෙන්ම කිසිදු ඉලක්කයක් සහිත එකක් නෙමෙයි. සමස්ත බදු ආදායමින් වක්‍ර බදුවල දායකත්වය 80%ක් තරම් ඉහළ අගයක පවතින විට සෘජු බදුවලින් දායක වන්නේ 20%ක් තරම් පහළ අගයකිනුයි. මෙම බදු ප්‍රතිපත්තිය මුළුමනින්ම ගොඩනඟා තිබෙන්නේ සමාජයේ ජනතාව ලබන ආදායම් තත්ත්වය හෝ දිළිඳුකම පිළිබඳව සලකා නොවෙයි. ඒ නිසා මෙම බදු ප්‍රතිපත්තිය අද අපේ රටේ සමස්ත ජනතාවට ම පීඩනයක් එක් කර අවසන්. රටේ ජනතාවගෙන් 45%ක් නිරපේක්ෂ දරිද්‍රතාවෙන් පෙළෙනවා නම්, ඒ පිළිබඳව ඇත්තෙන්ම මේ රට කළවුන් ලැජ්ජා විය යුතුයි. රටේ තිබෙන මේ අවාසනාවන්ත තත්ත්වය වෙනස් කිරීමට නම්, අවම වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම හෝ බදු ප්‍රතිපත්තිය වහා ම වෙනස් කිරීම හෝ කළ යුතුයි.

 අනුහස් බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

one × 5 =