ඔක්කොම අවුල් කළ ගෝඨාභය ව්‍යවස්ථාවත් අවුල් කළා ද?

මුදල් ඇමතිගේ පත්වීමත්, අයවැයත් අභියෝගයට

නන්දසේනගේ ධුර කාලයෙන් වසර දෙකක් අවසාන ය. අය-වැය යෝජනා දෙකක් ද අවසාන ය. ගෙවුණු වසර දෙක ගැන කියන්නට ඇත්තේ කුමක් ද? මේ දවස්වල වැඩබිමේ, හන්දියේ, ත්‍රීවීල් එකේ හැම තැන  ඒ ගැන ඇත්තේ, ලුණු ඇඹුල් සහිත කතාවකි. එක ම එක දෙයක්වත් හරියට කළේ නැත. හැම දේ ම අනා ගත්තා යැයි හැමෝ ම කියති. කිසි කෙනකුට තමන්ට මේ දේ කළා යැයි සතුටු වන්නට දෙයක් නැත. හැමෝගෙ ම ප්‍රශ්න තව තවත් අවුල් කළ බව නම් කිව හැකි ය.

ගෙවුණු වසර දෙකට ම අලුතින් රුපියල් කෝටි ලක්‍ෂ දෙක සහ තුන බැගින් ‘කෝටි ලක්‍ෂ පහක් ම’ ණය ගත්තේ ය. ලබන අවුරුද්දට තවත් අලුතින් රුපියල් කෝටි ලක්‍ෂ තුනක් ණය ගන්න යෝජනා කරන්නේ ය. ඒ කියන්නේ, නන්දසේනගේ පාලන කාලයේ පළමු වසර තුන තුළ දී අලුතින් කෝටි ලක්‍ෂ අටක් එනම්, ටි්‍රලියන අටක් ණය ගන්නේ ය. නිදහසින් පසු දෙදහස් පහ වසර වන තෙක් ම ගත්ත මුළු ණය ප්‍රමාණය කෝටි ලක්‍ෂ දෙකකි. එනම්, ටි්‍රලියන දෙකකි. නන්දසේනගේ කෙරුවාව මෙයින් හොඳින් තේරුම් ගත හැකි ය.

විකිණීමේ අලුත් පදය ‘නවීකරණය’

අය-වැය අතරතුර දීත් බැසිල් ඉන්දියාවට ගියේය. ඒ තව ණයක් ඉල්ලා ගන්නට ය. විවිධ යෝජනා අතරේ එහි පැහැදිලිව ඇත්තේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය සඳහා ණය ගැනීම ය. දැන් අලුත් ම වචනය ‘නවීකරණය’ යන්න ය. විකිණීම, බදු දීම, ආයෝජනය වෙනුවට අලුත් වචනය නවීකරණය වී තිබේ. කොච්චර හංගන්න හැදුවත්, හංගන්න නොහැකි ය. මේ පොරොන්දු වී ඇත්තේ, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉදිරියටත් ඉන්දියාවට දෙන බව  ය. යන්න කලින් අලුතින් මිනුම් නිලධාරීන් යොදවා තෙල් ටැංකි භූමිය මැනීම් කළේ මේකට ය. බැසිල් ඉන්දියාවේ ඉන්න විට දී උතුරේ දූපත්වල සැලැසුම් කර තිබූ චීන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අවසන් කළේ ය. ඒ වෙනුවට ඉන්දියාවේ අදානි කොම්පැනියේ ව්‍යාපෘති කිහිපයක් උතුරේ ක්‍රියාත්මක  කරන්නට එකඟ වුණේය.

මේ වන විට නන්දසේන විසින් කැබිනට් අමාත්‍යවරුන් තිස්දෙදෙනකු පත් කර ඇත්තේ ය. රාජ්‍ය අමාත්‍යවරුන් හතළිස්හතර දෙනකු පත් කර ඇත්තේය. මෙය බරපතළ ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවට අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙන්නේ මූනිච්චාවට නොවේය. ඒ ආකාරයෙන් ම ඉටු කරනවා යන්න පිළිබඳ නීත්‍යනුකූල දිවුරුමකි. මෙලෙස පත් කොට තිබෙන ඇමැති මණ්ඩලය නීත්‍යනුකූලව වලංගු නොවන්නේය.

බැසිල් ඉන්දියාවට ගොස් වැසිකිළි පෝච්චි විවෘත කරනවා නම්, මාධ්‍යයට පෙන්වූයේ ය. බැසිල් ලවා ඉන්දියාවේ වැසිකිළි විවෘත කරවා ගත් ඉන්දියානු ආණ්ඩුව ජනතාවගේ ඇස් වහලා තෙල් ටැංකි ටිකට වැඩේ දෙන්නේ ය. සාමාන්‍ය ගැලරියට වැසිකිළි කතාව නැඟලා යන්නේ ය. ඒත්, ඒ පිටුපස්සේ ඇති මහා දැවැන්ත ධන නිධානයක් වුණු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මුළුමනින්ම පවරා දීම වැසී යන්නේ ය. රටේ සම්පත් බේරා ගන්නට පාවාඩ එළලා ගෙන්වා ගත් දියසෙන් කුමාරයා අද වෙන කොට රට ම විකුණන්නේ ය. අපේ රට ආසන්න මුහුදේ වසරකට නැව් තිස්හය දාහක් පමණ එහා මෙහා යන්නේ ය. තෙල් ටැංකි ටික වැඩිදියුණු කරලා ඒ නැව්වලට තෙල් දුන්නා නම්, රටේ ණය අර්බුදය පහසුවෙන් විසැඳිය හැකි ය. විදේශ නැව්වලට තෙල් සැපයූ විට අපට එන්නේ ඩොලර් ය. එය වත්මන් ඩොලර් අර්බුදයට පැහැදිලි, ස්ථිර උත්තරයකි. ඒත්, මේ පාලකයන් කරන්නේ එය තව දුරටත් ඉන්දියාවට ලබා දීම ය.

කෙරවලපිටියට කෙළවූ හැටි

කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවට දුන්නේ කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා හොර රහසේ ය. මහ රෑ දොළහට ගිවිසුම් අත්සන් කළේ රටක ජාතික ආරක්‍ෂාව ද පරදුවට තබමිනි. අද වෙන කොට ඒ ගිවිසුමේ එක් වගන්තියක් බරපතළ ප්‍රශ්නයක් ලෙස මතු වී තිබේ. එනම්, වසර දෙකක් යන තෙක් ගිවිසුම හෙළිදරවු නොකළ යුතු බවට වූ වගන්තියයි. දිගින්දිගට ම පාර්ලිමේන්තුවට මේ ගිවිසුම ඉදිරිපත් කරන්න යැයි කිව්ව ද, එය මඟහැර යයි. එදා දෙදහස් හතේ දී ගෝඨාභය රාජපක්‍ෂ සහ ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් අත්සන් කළ ආරක්‍ෂක ගිවිසුම ද දිගින්දිගට ම හැංගුවේ ය. අන්තිමට පාර්ලිමේන්තුවට දැම්මේ තැනින් තැන ‘ටිපෙක්ස්’ කරන ලද ගිවිසුමකි. අදටත් ඒ මහා පාවා දීමේ ගිවිසුම ක්‍රියාත්මක ය.

පොහොරත් ශවේන්ද්‍රට

කාබනික පොහොර ප්‍රශ්නයෙන් මුළු රටත්, ජනතාවත් මහා විනාශයකට ඇද දැම්මේ ය. අන්තිමට සිද්ධ වුණේ රජයෙන් ලබා දීපු පොහොර සහනාධාරය කප්පාදු කර දැමීම ය. නැනෝ පොහොරවල දීත්, චීන පොහොරවල දීත්, කෝටි ගාණක පාඩුවක් විඳින්නට සිදු වීම ය. ඒ දෙකෙන් ම කෝටි ගාණක හොරකම් ද සිදු වීම ය. අද වෙන කොට ආයෙත් වතාවක් ‘හරිත ගොවිතැන’ කියලා තවත් අවුලක් පටන් අරගෙන ය. එතැන දී කළේ රජයේ ප්‍රධාන පොහොර සමාගම් දෙක ම නන්දසේන යටතට පවරා ගැනීම ය. තමන්ගේ ගෝලයා වන ශවේන්ද්‍රට ඒ දෙක ම ලබා දීම ය. මහින්දානන්ද නිකම් බොරුවට කයිවාරු ගැහුවාට අන්තිමට සිද්ධ වුණේ ඒක ය. කෘෂිකර්ම ඇමැති නිකම් ම නිකම් පඹයකු බවට පත් කිරීම ය. මහින්දානන්දට මාධ්‍ය ඉස්සරහා කටඋත්තර නැති වුණේ ඒක ය.

දැන් සියලු රසායනික පොහොර වර්ග, බෙහෙත් වර්ග පිටරටින් ගෙන්විය හැකි ය. ඒත්, නිසි කලට වේලාවට ගොවියාට ඒවා ලැබුණේ නැත. නැති අවුලක් ඇති වූවා පමණ ය. ඒ මඳිවාට රසායනික පොහොර දාපු සහල් බුරුමයෙන් ගෙන්වලා ජනතාවට කන්න දෙන්නේ ය. පිටරටින් හාල් ගෙන්වන තත්ත්වයටත් රට පත් කළේ ය.

ව්‍යවස්ථාවට පටහැනි ඇමති ධුර

මේ ඔක්කො ම අර්බුද අස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය බරපතළ කාරණාවක් පිළිබඳ නඩු විභාගයක් පවත්වයි. එනම්, නන්දසේන රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇමැති ධුර පත් කිරීම පිළිබඳව ය. ව්‍යවස්ථාවට අනුව පත් කළ හැක්කේ කැබිනට් අමාත්‍යවරුන් තිස් දෙනකු පමණ ය. නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් හතළිස් දෙනකු පමණ ය. එය ව්‍යවස්ථාවේ 147(1)(අ) සහ 147(1)(ආ) යන වගන්තිවල ඉතා පැහැදිලිව සඳහන් ය. මේ වන විට නන්දසේන විසින් කැබිනට් අමාත්‍යවරුන් තිස්දෙදෙනකු පත් කර ඇත්තේ ය. රාජ්‍ය අමාත්‍යවරුන් හතළිස්හතර දෙනකු පත් කර ඇත්තේ ය. මෙය බරපතළ ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවට අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙන්නේ මූනිච්චාවට නොවේ ය. ඒ ආකාරයෙන් ම ඉටු කරනවා යන්න පිළිබඳ නීත්‍යනුකූල දිවුරුමකි.

මෙලෙස පත් කොට තිබෙන ඇමැති මණ්ඩලය නීත්‍යනුකූලව වලංගු නොවන්නේ ය. ඒ අනුව ඔවුන් විසින් ලබා දෙනු ලබන කිසිදු නියෝගයක් ද, විධානයක් ද නීත්‍යනුකූල නොවන්නේ ය. ඒ අනුව බැසිල් රාජපක්‍ෂගේ ඇමැති ධුරය ද, නාමල් රාජපක්‍ෂගේ ඇමැති ධුරය ද, චමල් රාජපක්‍ෂ, දිලුම් අමුණුගම, නාමල් රාජපක්‍ෂ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අයගේ රාජ්‍ය ඇමති ධුර ද නීත්‍යනුකූල නොවන්නේ ය. මෙහි බරපතළ ම ප්‍රශ්නය වන්නේ මුදල් ඇමැතිගේ ධුරය නීත්‍යනුකූල නොවීම ය. එවිට ඔහු ඉදිරිපත් කළ මුළු අය-වැය ම නීත්‍යනුකූල නොවන්නේ ය. කිසිදු අමාත්‍යවරයකුට වෙන් කළ මුදල් නීත්‍යනුකූල නොවන්නේ ය. කොටින් ම ගතහොත්, අය-වැය ඉදිරිපත් කරන්නටවත්, කිසිදු ගැසට්ටුවකට අත්සන් කරන්නටවත් බැසිල් රාජපක්‍ෂට නීත්‍යනුකූල බලයක් නොමැත්තේ ය.

ඊළඟ උසාවි දිනය ඇත්තේ, ලබන ජනවාරි විසිහත් වැනිදා ය. ඒ වන තෙක් නම් ප්‍රශ්නය දිග්ගැසෙන්න දිය නොහැකිය. මේ ගෙවෙන හැම තත්පරයකට ම මෙය අදාළ ය. එබැවින්, උසාවි දිනය එළැඹෙන්නට පෙර මෙය විසඳා ගත යුතුය●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

1 + 2 =