රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් අයවැයට විරුද්ධ වෙද්දී ඔවුන්ගේ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂ වෙයි

2022 වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය සඳහා ඊයේ (10) පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 93කින් සම්මත කර ගැනීමට ආණ්ඩුව සමත් වීය.

අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවති අතර එහිදී අයවැයට පක්ෂව ජන්ද 157ක් සහ විපක්ෂව ජන්ද 64ක් ලැබී ඇත.

මෙහිදී සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ සලකා බැලුණු මොහොතේදී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීමත් සමඟ ඡන්ද විමසීම පැවැත් විනි.

මෙම අවස්ථාවේ ආචාර්ය විජයදාස රාජපක්ෂ , ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරු අයවැය තෙවැනි වර කියවීම සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ නොසිටියේය.

මේ අතර පක්‍ෂ නායකයන්ට අවනත නොවන බව පෙන්වාදෙමින් රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ මුත් එම පක්ෂවල මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

එසේම අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මේ අනුව 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කර තිබේ.

2022 ජනවාරි 01 දිනයෙන් ආරම්භවී 2022 දෙසැම්බර් 31 දින අවසන් වන මුදල් වර්ෂය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට මෙලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිය අත්සන අද (10) දිනයේ තැබූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව ඊයේ  දින සිට 2021 අංක 30 දරණ විසර්ජන පනත වශයෙන් මෙය බලාත්මක වේ.

අයවැය විවාද පැවැත්වුණු මුළු දින ගණන 28 කි .

Leave A Reply

Your email address will not be published.

seventeen + 17 =