ලලිත් – කුගන් නඩුවේ සාක්ෂි දීමට ගෝඨාභය අකමැති ඇයි ?

දැන් තීන්දුව ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවට අදාළ ව සාක්ෂි ලබාදෙන්නැයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කෙරිණි. තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු ඇති නිසා යාපනයට යා නොහැකි බව කියමින් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ගියේය. 2019 නොවැම්බර් 16 පැවැති ජනාධිපතිවරණය අවසන් වන තෙක් අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලැබුණේ නැත. ඉන්පසු ආරක්ෂක ගැටළු කතාව පසෙකට කෙරිණි. ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් අධිකරණයට කිව්වේ ‘දැන් තමන්ගේ සේවාදායකයා ජනාධිපති නිසා ඔහුට මුක්තිය ඇති බවයි.’ අභියාචනාධිකරණය එය පිළිගත්තේය.

සැකකරුවකු නෙමෙයි, සාක්ෂිකරුවෙක් !

ඉන්පසු වින්දිත පාර්ශ්වය ඒ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීමට උත්සාහ කරන්නේ සැකකරුවකු ලෙස නොව, සාක්ෂිකරුවකු ලෙස වන බවයි.
ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පෙන්වා දෙන්නේ ජනාධිපති ධුරය දරන්නාට ඇති මුක්තිය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් නොවන බවයි. ඔහුට අපරාධ නඩු සම්බන්ධයෙන් මුක්තියක් තිබේ. යම් අවස්ථාවකදී ජනාධිපතිවරයාට සාක්ෂි ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයකින් සිතාසි යවනු ලැබුවහොත්, ඔහු එය පිළිගන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතු වේ. යම් අපරාධයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සාක්ෂිය අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී, ඔහු කැමැත්තෙන් සාක්ෂි ලබාදෙන්නේ නම්, ඊට බාධාවක් තිබිය නොහැකිය. මේ අනුව ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීමට කැමැති ද, නැද්ද යන්න පිළිබඳ පූර්ව විනිශ්චයකට එළඹීමට අධිකරණයට හැකියාවක් තිබේ ද?

යටි අරමුණ කුමක්ද?

අනෙක් අතට අධිකරණයට කැඳවීමක් කොට, ඒ අනුව කටයුතු නොකිරීම යනු දඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි. එම නිසා එය අපරාධ ක්‍රියාවකට සම්බන්ධ වන නිසා, ඊට අදාළව ද මුක්තිය හිමි වන බවට තර්කයක් ගොනු කළ හැකිය. තවත් පැත්තක් තිබේ. ඇතැම් නීතිඥයන් පෙන්වාදෙන්නේ කැමැත්තෙන් වුවද, ව්‍යවස්ථාවෙන් පැවරූ අයිතියක් අත්හළ නොහැකි බවයි. මේ ආකාරයට නීති තර්ක හරහා වෙනත් මානයන්ට යොමු විය හැකිය. එහෙත් හෘද සාක්ෂියට අනුව, ඔබ යම් අපරාධයක අත්‍යවශ්‍ය සාක්ෂිකරුවකු වූ විට, එය මගහැරීමට වෙනත් උපක්‍රම භාවිත කරන්නේ නම්, ඔබේ යටි අරමුණ විය හැක්කේ කුමක්ද?

2011 – 2021

2011 දෙසැම්බර් මස 09 වැනිදා ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කෙරිණි. ඒ අදින් අවුරුදු දහයකට පෙර ය.
ලලිත් හා කුගන් පැහැරගැනීම සිදු වී ඇත්තේ දෙසැම්බර් 09 වැනිදා පස්වරු 5.30 පසු වී කෙටි කාලයක් තුළ බවට සාක්ෂි ඇත. යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ පස්වරු පහට පමණය. පසු දින, එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවක සංවිධාන කටයුතු ඔවුහු සිදු කරමින් සිටියහ.
කුගන්ගේ අසල්වැසියන් පවසන ආකාරයට ඔවුන් පස්වරු පහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබේ. එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය හා ගම්වැසියන් පවසන කරුණු අතර පරස්පරතා රැසක් තිබේ. ඒ පරස්පරතා ලිහන පාර වැසීම ඉතා වේගවත්ව සිදු කෙරිණි.

කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා තිබිණි. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි. මෙම යතුරු පැදිය සම්බන්ධයෙන් නිර්වේලි ප්‍රදේශවාසීන් විසින් ෂන්මුගන් වඩිවේල් නම් එවකට එම ප්‍රදේශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 09 වැනිදා ය. යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී ලලිත් – කුගන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය වෑන් රථයකින් සහ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. එහෙත් ඒවා ඉදිරියට යන්නේ නැත. ඊට හේතුව අතුරුදන් කළ පාර්ශ්වය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හොඳින් දැන සිටීම විය හැකිය.

අත්අඩංගුවට ගැනීමක්?

එවකට පැවැති ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා වූයේ කෙහෙළිය රඹුක්වැල්ල ය. වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ය. ලලිත් – කුගන් අතුරුදන් කළ දෙසැම්බර් මාසයේ ම, 15 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ ලලිත් – කුගන් අතුරුදන් වී නැති බවත්, ඉක්මනින්ම ඔහු පොලිසිය හෝ හමුදාව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් ය. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීමක් ගැන කතාවකි. ඒ ප්‍රකාශය කළේ එවකට ආණ්ඩුවේ නිල ප්‍රකාශක ලෙස කටයුතු කළ ඇමැතිවරයා ය.
පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම සම්පූර්ණ වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. පොලිස් ස්ථානය භාරව කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ සියලුම කාර්යයන් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බව උක්වත්ත එ. මාරසිංහ සහ තවත් අය නම් තීන්දුවේ සඳහන් ය. අත්අඩංගුවේ සිටියදී සිදු වන ඇඟේ සීරීමකට පවා ස්ථානාධිපතිවරයා පිළිතුරු බැඳිය යුතුය. එහෙත් පසුගිය කාලයේ එසේ අත්අඩංගුවට ගත් සියයකට ආසන්න පිරිසක් ආයුධ පෙන්වන්නට ගොස්, පළායෑමට උත්සාහ දැරීමේදී වෙඩි තැබූ බව පවසමින් ඝාතනය කෙරිණි. එකම කතාන්දරය පොලිසිය අධිකරණයට කිව්වේය. එය අසා සිටි එක් විනිසුරුවරයකු හෝ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ඒ ගැන විමසුවේ ද?
කෙහෙළිය රඹුක්වැල්ලගේ මල්ලෙන් එළියට පැන්න බළලාට අනුව නම් ලලිත් – කුගන් අත්අඩංගුවේ ය. එහෙත් එවැන්නක් මෙතෙක් තහවුරු වූයේ නැත. ඔවුන් සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන් ඉදිරිපත් කෙරුණේ ද නැත. හමුදා අත්අඩංගුවේ දිගටම තබාගත නොහැක. පොලිසියට භාරදිය යුතුය. එවැන්නක් සිදු වූයේද නැත.
මේ සම්බන්ධයෙන් දෙවරක් කැඳවීමෙන් පසු, 2016 මැයි මාසයේදී අධිකරණයට පැමිණි කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණේ එවකට පැවැති ආරක්ෂක කවුන්සිලයෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්‍රකාශය කළ බවයි. එසේ නම් ඒ ආරක්ෂක කවුන්සිලය නියෝජනය කළ සියල්ලන් ඒ ගැන යම් තොරතුරක් දැන සිටිය යුතුය. සේනාධිනායක ලෙස ජනාධිපති, හමුදා ප්‍රධානීන්, පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානියා සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ඒ කවුන්සිලය ඒ වකවානුවේ නියෝජනය කළහ.

මගහැරීමේ උපක්‍රම

2019 සැප්තැම්බර් 27 දා ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටිය යුතු විය. ඒ 2019 ජුනි 21 දා කළ නියෝගයක් ප්‍රකාරව ය. නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුනි 21 දා පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට මුලදී දැනුම් දී තිබිණි. එහෙත් ඔහුගේ නීතිඥයන් එදින අධිකරණයට දැනුම් දුන්නේ තමන්ගේ සේවාදායකයා විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නැති බවටයි. ඒ අනුව සැප්තැම්බර් 21 දිනය ලැබිණි.
21 වැනිදා ද ගෝඨාභය අධිකරණයට ගියේ නැත. මාධ්‍ය මගින් ඊට පෙර, අනාවරණය කළේ ආරක්ෂක හේතු දක්වා නඩුවෙන් මගහැර යෑමට ඔහු උත්සාහ කරන බවයි. උතුරු-නැගෙනහිර හැර, අනෙක් ඕනෑම පළාතක පිහිටි අධිකරණයකදී තමන්ට මේ නඩුවේ සාක්ෂි ලබාදීමට අවස්ථාව ඉල්ලමින් ගෝඨාභය අභියාචනාධිකරණයට ගියේය.

එහෙත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඒ කාලයේදී ම ගෝඨාභය රාජපක්ෂ යාපනයට ගියේය. එයින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට තර්ක කළ හැකිය. ආරක්ෂක හේතු මත නඩුවක සාක්ෂි දෙන්නට යන්නට බෑ කී ඔහු, පෞද්ගලික වාසිය තකා එසේ ගියේ කෙසේද? ඉන්පසු ඔහු මුක්තිය අස්සේ සැඟවිණි.
මේ සියලු අපරාධ නඩු විභාගවලට අදාළ ව තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බව ඔහු මුලදී කියා ඇත. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදීද අධිකරණයේ ස්වාධීනත්වය වැනි වචන වගයක් කිව්වේය. එහෙත් ඒ කිසිවක් සිදුවූයේ නැත. බලය අවභාවිත කරමින් තමන්ගේ සියලු සෙල්ලම් වසාගන්නා ගෝඨාභය රාජපක්ෂලාගෙන් එවැන්නක් අප බලාපොරොත්තු වූයේ ද නැත.
එහෙත්, අපි දිගටම ලියන්නෙමු !

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

eighteen − three =