අධිරාජ්‍යවාදයට එරෙහි පලස්තීන ජනතාවගේ අරගලය දිනවිය යුතුයි

සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්

අංජන අමරසිංහ

පලස්තීනයේ නිදහස හා ස්වෛරීත්වය උල්ලංඝනය කරමින් පලස්තීන ජනතාවගේ මානුෂීය අයිතීන් පවා අහෝසි කරමින් ඊශ්‍රායලය හා අධිරාජ්‍යවාදීන් විසින් සිදුකරනු ලබන ම්ලේච්ඡ ප්‍රහාරයන්ට මෙන්ම අසාධාරණයන්ට එරෙහිව පලස්තීන ජනතාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ තම රට නිදහස් කරගැනීමේ අරගලයක නිරත වෙමින් සිටිනවා. අන්න ඒ සාධාරණ අරගලයට සමාජවාදී තරුණ සංගමය ලෙස අපගේ සහයෝගය පලස්තීන ජනතාව වෙනුවෙන් ලබා දෙනවා.

 සමාජවාදී තරුණ සංගමය ලෙස විවිධ අවස්ථාවලදී පලස්තීනය වෙනුවෙන් සහයෝගිතා වැඩසටහන් සිදු කරනවා අප දැක තිබෙනවා. මොකක්ද මේ පලස්තීනය වෙනුවෙන් ඔබලා විශේෂයෙන් පෙනීසිටීමට හේතුව?

පලස්තීන නම ඇසූ පමණින් අපට මතකයට එන්නේ පලස්තීන – ඊශ්‍රායල් ගැටුම නැත්නම් ගාසා තීරයේ බටහිර ඉවුර යුද්ධයයි. දශක ගණනාවක් තිස්සේ ස්ථිරසාර විසඳුමක් නොමැති ව දිග්ගැස්සෙන මේ ජන සංහාරය හේතුවෙන් පලස්තීනුවන් තම උපන් භූමියේ සරණාගතයන් බවට පත්ව තිබෙනවා. පලස්තීනයේ නිදහස හා ස්වෛරීත්වය උල්ලංඝනය කරමින් පලස්තීන ජනතාවගේ මානුෂීය අයිතීන් පවා අහෝසි කරමින් ඊශ්‍රායලය හා අධිරාජ්‍යවාදීන් විසින් සිදුකරනු ලබන ම්ලේච්ඡ ප්‍රහාරයන්ට මෙන්ම අසාධාරණයන්ට එරෙහිව පලස්තීන ජනතාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ තම රට නිදහස් කරගැනීමේ අරගලයක නිරත වෙමින් සිටිනවා. අන්න ඒ සාධාරණ අරගලයට ලොව පුරා ඊට සහාය දක්වන වාමාංශික ප්‍රගතිශීලී හා අධිරාජ්‍ය විරෝධී සියලු ජන කොටස් හා එක්වෙමින් සමාජවාදී තරුණ සංගමය ලෙසත්, ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් යුක්තිය හා මනුෂ්‍යත්වය වෙනුවෙන් අපගේ සහයෝගය පලස්තීන ජනතාව වෙනුවෙන් දිගින් දිගටම ලබා දෙනවා.

 ඊශ්‍රායලයට මේ විදිහට පලස්තීනය අත්පත් කර ගන්න තියෙන වුවමනාව නැත්නම් මේ ගැටුම කුමක්ද?

මේ ගැටුමට පාදක වී තිබෙන්නේ පලස්තීනය සම්බන්ධ ඉතිහාසය ඉතා දීර්ඝ එකක් වුවත් වැනි 07 වැනි ශතවර්ෂය වන විටත් මෙම ප්‍රදේශය මූලික වශයෙන් පැවතියේ අරාබි (ඉස්ලාමීය ආගමික) රටක් ලෙසයි. ඊට අමතරව යුදෙව්වන් 4%ක් ද  ක්‍රිස්තියානි පලස්තීනුවන් 10 %ක් ද පමණ එහි ජීවත් වුණා. පොදුවේ මෙම ජනතාව තමන්ව හඳුන්වාගත්තේ පලස්තීනුවන් ලෙසයි. කෙසේ නමුත් 1800 වසර අගදී යුරෝපය තුළ “දේශපාලන සියොන්වාදීන්” යනුවෙන් කුඩා අන්තවාදී සංවිධානයක් බිහි විය. එහි අරමුණ වූයේ ලෝකයේ තැනින් තැන විසිරී සිටි යුදෙව් ජාතිකයන්ට ලොව කොතනක හෝ තනි යුදෙව් රාජ්‍යයක් ඇති කිරීමයි. ඒ අනුව එකී කණ්ඩායම් නායකයන් විසින් එම රාජ්‍ය පලස්තීනය තුළ පිහිටුවීමට තීරණය කළ අතර ඒ සඳහා විවිධ උපාය මාර්ග යොදා ගන්නට වුණා. “මිනිසුන් නැති භූමියකට, භූමියක් නැති මිනිසුන්” වැනි ප්‍රෝඩාකාරී සටන් පාඨ යොදා ගනිමින් යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමණය වීම දිරිමත් කෙරිණි. මෙම ක්‍රියාවලිය සඳහා ලෝක අධිරාජ්‍යවාදී බලවතුන්වන බි්‍රතාන්‍ය හා එක්සත් ජනපදය විසින් තමන්ගේම කලාපීය උපාය උපායමාර්ග වෙනුවෙන් උදව් කළා.

පලස්තීන ජනතාවට එල්ල වූ එම ප්‍රචණ්ඩත්වයේ උච්චතම අවස්ථාව වූයේ ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවීමට ආසන්න එනම් 1947 හා 1949 අතර කාලයේදී යුදෙව් ත්‍රස්ත කල්ලි විසින් පලස්තීන ගම්වලට ප්‍රහාර එල්ල කොට දහස් ගණන් ජනතාව මරා දැමීම හා පලවා හැරීමයි. ඒ අනුව 1948 දී පලස්තීනුවන් 75000 පමණ පලවා හැරියා. මෙම මානව ඛේදවාචකය හැඳින්වූයේ “අල් නක්බා”

කියලයි. 1948 දී එක්සත් ජාතීන්ගේ යෝජනාවක් අනුව පලස්තීන භූමියෙන් 55% ක් ජනගහනයෙන් 30%ක් වන ඊශ්‍රායලයට ද, භූමියෙන් සියයට 45%ක් ජනගහනයෙන් 70%ක් වූ පලස්තීනයට ද වෙන් කළ ද ඊශ්‍රායලය විසින් පලස්තීන භූමිය අත්පත් කරගැනීම තවදුරටත් සිදුවුණා. ඊශ්‍රායලය පැහැදිලිවම අන්තර්ජාතික නීතිය හා මහජන මතය පවා උල්ලංඝනය කරමින් අත්පත් කරගත් ප්‍රදේශ වල යුදෙව් ජනාවාස හා හමුදා කඳවුරු ඉදිකිරීම දිගින් දිගටම අද දක්වාම කරගෙන යනවා.

■  මේ මොහොතේ පලස්තීනයට මුහුණ දෙන්න වෙලා තියෙන අවදානම මොන වගේද?

විශේෂයෙන් දිගින් දිගටම සිදුවන ප්‍රහාර හා භූමිය ආක්‍රමණය හේතුවෙන් පලස්තීන ජනතාව ඉතා ශෝචනීය තත්ත්වයකට පත් වෙලා තියනවා. පලස්තීන සාමාන්‍ය ජනතාව වගේම කුඩා ළමුන් පවා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම පලස්තීනුවන්ගේ දෛනික ජීවිතය දැඩි ලෙස තර්ජනයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලය තුළ විශේෂයෙන් 2004 – 2018 දක්වා පලස්තීනුවන් ගේ නිවාස ඒකක 54ක් සෑම වසරකටම විනාශ කර තිබෙනවා. නමුත් මේ වසරේ මේ දක්වා නිවාස ඒකක 155 ක් විනාශ කර තිබෙන බවට වාර්තා පළ වෙනවා. මෙහි නවතම තත්ත්වය වන්නේ මෙම ආක්‍රමණ හා නීති විරෝධී ජනාවාසකරණය පිළිබඳව පසුගිය නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයක් සිදුකරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් කියා සිටියේ බටහිර ඉවුරේ ඊශ්‍රායල් ජනාවාස පිහිටුවීම ජාත්‍යන්තර නීතියට පටහැනි නොවේය යනුවෙනි. මෙම ප්‍රකාශය හේතුවෙන් වර්තමාන එක්සත් ජනපද පාලනය පලස්තීන විරෝධී න්‍යාය පත්‍ර අනුගමනය කරමින් ඊශ්‍රායලයේ යටත්විජිත න්‍යාය පත්‍රය බල ගැන්වීමට හා නීත්‍යානුකූල කිරීමටද උත්සාහ දරා ඇත්තේ සියලු පිළිගත් ජාත්‍යන්තර නීති සම්මුතීන් උල්ලංඝනය කරමින්. මෙම හැසිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වන ලෙස පලස්තීනය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

■  ලෝක පරිමාණයෙන් ඒ සිදුවීම් වලට හඬක් නැගෙනවාද?

ඇත්තෙන්ම  ඔව්.  විශේෂයෙන් නැගෙනහිර ජෙරුසෙලමේ අගනුවර කොටගත් නිදහස් පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පලස්තීන ජනතාව හා එක්ව එම සාධාරණ අරගලයට ලොව පුරා සමාජවාදී, අධිරාජ්‍යවිරෝධී සියලුම ජන කොටස්, සංවිධාන තම සහයෝගය පළ කරමින් සිටිනවා. ඇමෙරිකානු එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල උත්සාහයන් පරදවා පලස්තීන රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය හිමි කර ගැනීමට හැකිවීමද එම ජාත්‍යන්තර සහයෝගයේ ප්‍රතිඵලයක්. ඒ වගේම නොවැම්බර් 29 ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය ලෙස දිනයක් 1977 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෑම වසරකම මෙම දිනය පදනම් කර ගනිමින් ලෝකය පුරා විවිධ ජන කොටස්,  සංවිධාන පලස්තීන ජනතාව වෙනුවෙන් තම සහයෝගය පළ කරනවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩලයේ විවිධ කමිටුවල දී රටවල් විශාල ප්‍රමාණයකගේ සහයෝගයෙන් පලස්තීනයට සහයෝගය දක්වන යෝජනා සම්මත කිරීම් ද බොහෝ සිදුවී තිබෙනවා.

එවැනි ලෝක පරිමාණයේ නැගෙන හඬ ඇතුළෙ ලංකාවේ දායකත්වය කෙබඳුද?

විශේෂයෙන් ලංකාව රාජ්‍යයක් ලෙස දීර්ඝකාලීන සම්බන්ධතාවක් පලස්තීන රාජ්‍යය සමඟ තිබෙනවා. පලස්තීන තානාපති කාර්යාලය කොළඹ පිහිටුවා තිබෙන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පලස්තීනයේ රමල්ලා නුවර පිහිටා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පලස්තීන මිත්‍රත්ව සංවිධානයක් වගේම ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ද පිහිටුවාගෙන තිබෙන අතර විවිධ අවස්ථාවලදී පලස්තීනය වෙනුවෙන් සහයෝගිතා වැඩසටහන් පවත්වා තිබෙනවා. රටක් ලෙස ශ්‍රී ලංකාව පලස්තීනය වෙනුවෙන් ඉදිරිපත් වන යෝජනාවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී බොහෝ අවස්ථාවලදී ඡන්දය ලබා දී තිබෙනවා. අනෙක් අතට අප විසින් සමාජවාදී තරුණ සංගමය ලෙස වසර ගණනාවක් තිස්සේ විශේෂයෙන් ජාත්‍යන්තර සහයෝගිතා දිනය පදනම් කරගනිමින් තානාපති කාර්යාලය සමඟද එක්වී රට පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. බොහෝ විට මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරමින්  ඔවුන්වත් ඊට දායක කර තිබෙනවා. නමුත් මෙතැනදී එක් කනගාටුදායක කරුණක් තියෙනවා. ඒ තමයි අප මේ සිදුකරන ජාත්‍යන්තරවාදී, මානුෂවාදී ක්‍රියාමාර්ග අපේ රටේ සමහරුන් විවේචනය කරනවා. කරුණු හරිහැටි දන්නේ නැතිව වගේම ජාතිවාදී කෝණයකින් බලන නිසා මේ වෙනත් රටක ජාතියක අර්බුදයන් දැනෙන්නේ නැති තත්ත්වයකට පත්වෙලා තියෙනවා. නමුත් අප රටට ගැටලුවක් මතු වූ අවස්ථාවලදී විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ලෝකයේ විවිධ රටවල් විවිධ ආකාරයෙන් සහයෝගය තම කනගාටුව පළ කරද්දී ඒවා අපේ රටේ ජනතාවට සහ තරුණයන්ට දැනුනා. ඉතින් අපි සමාජවාදී තරුණ සංගමය ලෙස මෙම තත්ත්වය වෙනස් කරගෙන අපේ සහයෝගය රටක් විදියට ඉදිරියටත් ලබා දෙන්න කැපවී සිටිනවා.

නොවැම්බර් 29 වැනිදාට යෙදී තිබෙන පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් ඔබ සංවිධානය සැලසුම් කර තිබෙන්නේ මොන වගේ ක්‍රියාමාර්ගද?

සමාජවාදී තරුණ සංගමය ලෙස වසර ගණනාවක් තිස්සේ පලස්තීනයට ‘ජීවත් වීමට ඉඩ දෙනු’ මැයින් නිදහස් පලස්තීනයක් උදෙසා ජාතික සහයෝගිතා වැඩසටහන් බොහෝමයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවරත් අප විසින් පලස්තීනයේ මතුව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරියේදී අත් පත්‍රිකා බෙදා හැරීම හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීමටත් අධිරාජ්‍යවාදී ඇමෙරිකා එක්සත් ජනපදයේ හැසිරීමට එරෙහි විරෝධතා බැනර් අත්සන් කිරීම හා පෙත්සම් අත්සන් කිරීම වැනි වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙනවා. ඒ වගේම අප නියෝජනය කරන ලෝක තරුණ සංවිධානයන් තුළත් පලස්තීනය වෙනුවෙන් යෝජනා සම්මත කරගැනීමටත් විවිධ ක්‍රියාමාර්ගවලට සම්බන්ධවීමටත් අප කටයුතු කරනවා.

■  ඊශ්‍රායලය පිටුපස අධිරාජ්‍යවාදී රටවල් සිටින බව රහසක් නෙවෙයි. එවැනි මැදිහත්වීමක් තුළ ඔබලාගේ ක්‍රියාමාර්ග තුළින් එය පරාජය කරන්න පුළුවන්ද?

කලිනුත් ප්‍රකාශ කළා පලස්තීන ජනතාවගේ අරගලයට ලොව පුරා රටවල් සංවිධාන සහ පුද්ගලයන් ගේ මැදිහත්වීමත් ලැබූ ජයග්‍රහණ කිහිපයක් ගැන. පලස්තීනයට නිදහස ලබාදිය හැකිවන්නේ අධිරාජ්‍යවාදීන්ටත් ඊට උඩ ගෙඩි දෙන ධනේශ්වර පාලකයන්ටත් විරුද්ධව කරනු ලබන අඛන්ඩ අරගලයකින් පමණයි. එසේම පලස්තීන ජනතාව සමග ලොව පුරා සිටින සමාජවාදී, ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී සියලු ජනකොටස් ඒකරාශි කරගත් දැවැන්ත ජනතා ව්‍යාපාරයකින් පමණක් එය ඉටුකළ හැකි බව සමාජවාදී තරුණ සංගමය ලෙස අපි තරයේම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න සූදානම් බවත් කියන්න ඕන. ඒ වගේම ලංකාව තුළ විටින් විට පැන නගින ජාතිවාදී හා අන්තවාදී ප්‍රචණ්ඩත්වයන් හා ඊනියා දේශපාලන ව්‍යාපෘතීන්ට ගොදුරු නොවී එකම රටක එක් ජාතියක් ලෙස ලෝකය හමුවේ ශක්තිමත්ව නැගී සිටීමටත්, එකී ශක්තියෙන් පලස්තීනය සේම අසාධාරණයට පත් වන හෝ පත්වූ කවර ජාතියක් වෙනුවෙන් වුවද සිය සහයෝගය පළ කිරීමට එක්වන ලෙසත් අපි අපේ රටේ සියලු දෙනාට ආරාධනා කරනවා.

සංවාද සටහන – චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

4 × five =