‘වීදුරු මාළිගාව’ යනු එක් අයෙකුට පමණක් අයිති වූ කතාවක් නොවන්නේය

වීදුරු මාළිගාව පරිවර්තනය නිලූක කදුරුගමුව THE GLASS PALACE
Amitav Ghosh
වීදුරු තුළින් ඔබට ඔබ දකින්නට හැකිය. වීදුරු වලින් නිර්මිත කැඩපත් තුළ ඔබට ඔබ සොයාගත හැකිය. එහෙත් ඒ ඔබමද? සම්පූර්ණ ඔබමද? වීදුරු මාළිගාවක් තුළ ඔබ ඔබට සොයාගැනීමට පහසු වනු ඇතිද? එය ගැන කවරදාකවත් ඔබට සිතුණාද? ඔබ ඉදිරියේ ඔබවම පෙනෙන වීදුරු තුළ ඔබේ ආත්මය සැඟවෙන්නට හැකි බව කවදාකවත් ඔබට සිතුණාද? පිටු අටසිය ගණනක් පුරා ඔවුන්ගේ කතාව කියවූ පසුව මට මගෙන්ම විමසන්නට තිබුණේ එයයි.
එය යුග ගණනාවක් පුරා පරම්පරා කිහිපයක් මුහුණ දෙනු ලබන ජීවන අරගලයේ ප්රතිබිම්බයන් ඔබ වෙත විදහා පාන මුත් ඒ තුළ සැඟව ඇති ඔවුන්ගේ ආත්ම තුළ දෝංකාර දුන් බොහෝ දේ මේ “වීදුරු මාළිගාව” තුළ සඟවා ඇතැයි මට සිතේ. එය එක් තැනක ස්ථාවරව නොපැවත යුගයෙන් යුගය, තැනින් තැන, එක් එක් පුද්ගලයාට අනන්ය වූ එක්තරා ආකාරයකින් දෘශ්යමාන වන වීදුරු වලින් නිර්මිතය. මා වීදුරු යන්න මෙහිදී හුදෙක් වචනාර්ථයම ලෙස යොදා නොගනිමි.
ඉංග්රීසින් ලොව පුරා තම අධිරාජ්යයේ සෙවණැල්ල යටතට ගනු ලබන එක් රටක්; එලෙස හැඳින්විය හැක්කේ ඔවුන්ටම පමණි. නමුදු ඒ එක් රට එහි වැසියන්ට රාජ්යයකි. තමන්ගේ රාජ්යයේ සියළු දෙය යටත් කරගත් පසු, පාලකයන් පවා යටත් වැසියන් වූ පසු එම අධිරාජ්යවාදයේ වහළුන් මෙන් ජීවත් වන්නට සිදුවේ. එසේ සිදුවීමේ ප්රතිඵලය එක් පරම්පරාවකින් නොනැවතී ඉදිරියට යයි. එසේම ජාතියක් රටක් කියා තවදුරටත් වෙන්ව පවතින්නට හැකියාවක් නොමැති බව පෙන්වා දෙයි. ජාතීන්, තවත් රටවල් අතර බැඳෙන හුය හුදෙක් සංහිඳියාවම නොවන බවත් එකී බැඳෙන්නාවූ හුයෙන් දැවෙන්නාවූ තැනට ඇද දමන සංඛ්යාව වැඩිවන බවත් ඒ සියල්ලේ ආධිපත්යය යටත් විජිතවාදය තුළ සැඟව තිබෙන බවත් “වීදුරු මාළිගාව” අපට පහදයි.
එය කොටස් කිහිපයකින් සමන්විතය. ඒ එක් එක් කොටස යටතේ පරම්පරාවන් අතර කතාව ගලාගෙන යනුයේ ගඟක් සේ නම් එය ඉරවඩි ගංගාවම විය යුතුය. ඒ රාජ්කුමාර් හැඟුම්බර කරවන්නට ඉරවඩි ගංගාව තරම් ගංගා නම් ගඟවත් සමත් නොවන බැවිනි. එය එසේ යයි කියන්නට වචන වලින් ලියවුණු තැන් සොයා යනවාට වඩා මැන්ඩලේ නම් වූ කොටසින් ආරම්භව වීදුරු මාළිගාව තෙක් දිවෙන, අමිතාබ් ඝෝෂ්ගේ වීදුරු මාළිගාව කියවිය යුතුය.
1885දී පමණ ඉංග්රීසින්ගේ යටත් විජිත බවට පත්වූ බුරුමයෙහි පාලනය රජුන් අතින් ගිලිහේ. ඔවුන්ට ජීවත් වීමට සිදුවනුයේද යටත් විජිත වාසීන් ලෙසය. එයද තෝරාදුන් තැනකය. අන් රටකට අයත් නගරයකය. ඒ රත්නගිරියේය. බුරුම රාජ පරම්පරාව එලෙස ක්රම ක්රමයෙන් වියැකී යන අතර බුරුමය තුළ ඉන්දියාවෙන් පැමිණ තම පැවැත්ම තහවුරු කරගන්නා එකොළොස් හැවිරිදි කොළුවෙකු මේ කතාව තුළ අවසානය තෙක් තමාගේ ජීවිතය සමඟ රැඳී සිටියි. ඒ රාජ්කුමාර් ය.
මෙය ඔහුගේ කතාව පමණක් යයි හඳුන්වන්නට නොහැකි මුත් ඔහු සියල්ලන්ගේම කතාවල අගමුල සොයා යද්දී කොහේ හෝ තැනක රැඳී සිටියි. ඒ ඔහු විසින් අන් රටක් තුළ, තවත් ජාතියකට යටත් වූ රටක් තුළ දිළින්දෙකු ව සිට ජීවිතය නම් අධිරාජ්යය යටත් කරගත් නිසා විය හැක. ඔහුගේ ජීවිතය තුළ බලපෑම් ඇති කළවුන් මෙන්ම ඔහු විසින් බලපෑම් කරන ලද ජීවිතද අතර රාජ්කුමාර් යනු ඉංග්රීසින් නතුකරගත් බුරුමය තුළ යටත්විජිත වාදය විසින් පැළ කරන ලද ගසක් නම් එය රූස්ස ගසක්ව අතුපතර විහිදා වැඩෙනුයේ එකී යටත්විජිත ආනුභාවයෙන්මය. එලෙසම එය කැඩිබිඳී යන්නේද එකී ආනුභාවයෙන්මය. දෛවය විසින් ලබාදීම හා ආපසු ගැනීම දෙකම එකට සටහන් කරන ලද නළලතක් හිමි තැනැත්තා ඔහුය. යටත්විජිත වාදය විසින් නිර්මාණය කරන ලද ආර්ථිකය තුළ සමානාත්මතාවය, සාධාරණත්වය යනු දකින්නට නොතිබුණු දේ වන අතර ඒ තුළ පැවැත්ම තහවුරු කරගැනීම උදෙසා එහිම පණුවන් මෙන් ජීවත් වීම තෝරාගත යුතුව තිබුණ යුගයක රාජ්කුමාර් යනු අප්රතිහත ධෛර්යයකින් යුතු පුද්ගලයෙක් ලෙස පාඨක මනස තුළ සටහන් වේ.
එක් එක් පරම්පරාවන්, එකී පරම්පරාවනට අයත් ජීවිත බොහොමයක් මෙකී යුගාන්දරය තුළ චරිත නිරූපණය කරයි. මුලින්ම ප්රධාන චරිත නිරූපණය කරන්නවුන් තිරයෙන් ක්රමයෙන් බැස යන අතර තවත් පරම්පරාවකට අයත් තව චරිත රඟමඬල තුළ අණසක පතුරවන්නට පටන් ගනී. එහෙත් එකී රඟමඬල තුළ ප්රධාන භූමිකාවන් අයිති වනුයේ රාජ්කුමාර්ට, ඩොලීට හා උමා ඩේට බව මගේ හැඟීමයි. ඔවුන් එකිනෙකාට වෙනස් ය. සිතැඟි අනුව, පැවැත්ම අනුව, ආකල්ප හා පරමාර්ථ අනුව යන සියල්ලම අනුව වෙනස් ය. එහෙත් ඔවුන් තිදෙනා හුයක් මෙන් අනෙකුත් සියළුම චරිත එකතු කරයි. සම්බන්ධ කරවයි. අන් රටක තම අධිරාජ්යය ගොඩනඟන එක් අයෙක් තමා යටත් කරගත් පාලකයා විවේචනය කිරීමට නොසිතයි. ඒ තුළින්ම වාසනාව උරගා බලන්නට සිතයි. එකී පාලනය නිසාම තමා උපන් රටින් පිටමං වන්නට සිදුවන අනෙකා නැවත තම රටට පැමිණියද ජීවිතාන්තය දක්වා සඟවාගත් හිස්කමක් ඉතිරි කරවයි. තවෙකෙකු එයට විරුද්ධව සටන් කරන්නට සිතයි. එතෙකින් නොනැවතේ. මේ තිදෙනාගේ යම් රශ්මියක් ඇත්නම් එයද, අන්ධකාරයක් වෙත බැඳී පවතීනම් එයද ඔවුන් සමඟ සම්බන්ධ සියල්ලන්ම වෙත පතිත වී ඇත.
වීදුරු මාළිගාව යනු එක් අයෙකුට පමණක් අයිති වූ කතාවක් නොවන්නේය. එය තුළ සමස්ථ බුරුමය තුළම එක් යුගයක් තුළ ඇති වූ සමාජ, ආර්ථික හා දේශපාලන විපර්යාසයන් නිරූපිතය. එලෙසම ඉන්දියාවේ බලපෑමද, ඉන්දියානු ජාතිකයන් වෙත වූ බලපෑමද ඒ තුළ නිරූපිතය. ඔවුන් ජාතීන් වශයෙන් වෙන්ව ගන්නට හැකිය. එහෙත් ඔවුන්ගේ ලේ, දහදිය කඳුළු ජාතීන් වශයෙන් වෙන් කරන්නට නොහැකි අතර ඒවා අයිති වනුයේ සමස්ථ මිනිස් ප්රජාවටය. බුරුමයේ තේක්ක කැලෑ තුළ තම අධිරාජ්යය ගොඩනැගූ රාජ්කුමාර් මෙන්ම මලයාවේ රබර් වතුවල තම පුතා වෙනුවෙන් අධිරාජ්යය නිර්මාණය කරන්නට වෙහෙසුණු සයා ජෝන්ගේද ලේ හා දහදියද ඒ අතර මුසුව ඇති බවට වීදුරු මාළිගාව නම් කෘතිය ශාක්ෂි ය.
එහි එක් තැනක මෙසේ සඳහන් ය. “වර්තමානය සාධාරණීකරණය කරන්න අතීතය පාවිච්චි කරන එක නරකයි තමයි… ඒත් අතීතය සාධාරණීකරණය කරන්න වර්තමානය පාවිච්චි කරන එකත් ඒ වගේම නරකයි. එහෙම කරන මිනිස්සුත් සෑහෙන්න ඉන්න බව මට සැකයක් නැතිව කියන්න පුළුවන්. එකම දේ අපට එහෙම මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා නැති එක විතරයි.” අපට සිදුවී ඇත්තේම එවැනි මිනිසුන් එක්ක ජීවත් වන්නටය. එය මෙලෙස ලියා තිබීමම සරදමක් නොවන්නේද?
සියවස් දෙකක් තුළ ගලායන මෙකී ඓතිහාසික ප්රබන්ධය ඉන්දීය ලේඛක අමිතාබ් ඝෝෂ් විසින් 2000 වසරේ ලියා ඇති අතර නිලූක කදුරුගමුව විසින් එය පරිවර්තනය කර සිංහල පාඨකයා වෙත පිරිනැමෙනුයේ වර්ෂ 2021දීය.
– ඉරේඛා සෙනෙවිරත්න
Leave A Reply

Your email address will not be published.

15 − 6 =