“හඳගම නෙරූදා ව යළි නිර්මාණය කරද්දී නෙරූදා මේ පොතෙන් තමා තමාවම නිර්මාණය කරනවා”

මට මතක විදියට අගෝස්තු මාසෙ දවසක හඳගම මට යෝජනා කළා නෙරූදා ගේ Memoirs සිංහලෙන් ලියන්න. ඔහුගේ සිනමා පටයට ප්‍රස්තූත වන්නේ ඉන් ඇබිත්තක් විතරයි . හඳගම නෙරූදා ව යළි නිර්මාණය කරද්දී නෙරූදා මේ පොතෙන් තමා තමාවම නිර්මාණය කරනවා. තව දවස් කීපයකින් එළියට එන මේ පොතේ අර ඇබිත්ත සිංහලෙන් ලියවුණේ මෙහෙම .

“හරි අපූරුවට හිරු පායා තිබූ කලෙක වලාකුලක් කඩා වැටුනාක් බඳු අබග්ගයක් සිදු විය. අහසින් කඩා පාත් වුනා සේ මගේ කටසැර බුරුම ආදරිය වූ ජොසී බ්ලිස් මගේ නිවස ඉදිරිපිට කඳවුරු බැඳ ගත්තාය. ඇය පැමිණ තිබුණේ දුර පිහිටි ඇගේම රටේ සිටය. හාල් කියන දේ රැන්ගුන් වල මිසෙක වෙන කොහේ වත් වැවෙන්නේ නැතැයි ඇදහූ ලෙසින් ඉන් මල්ලක් පිටේ එල්ලාගෙන පැමිණි ඇය අත අප ප්‍රිය කළ පෝල් රොබින්සන්ගේ ගී තැටි සහ රවුමට ඔතා ගත් දිග පැදුරක්ද තිබිණි. ඇය ඉදිරිපස දොර අරක් ගෙන මා හමුවීමට එන්නේ කවරෙක්දැයි බලමින් සිටියාය. කවුරුන් හෝ පැමිණියහොත් ඔවුන් මත කඩා පැන අවමන් කළාය. ඇගේ දරුණු ඊර්ෂ්‍යාවෙන් ආතුරව මගේ නිවස ගිනි තබන බවට පරම්බාමින් සිටීන ඇය මට පෙනෙයි.මා බැහැ දැකීමට පැමිණි යුරේෂියානු තරුණියකට ඇය පහර දුන්නාය .”

“හරියට කළු පාට පිළිමයක් ඇවිදින්නාක් මෙන්, මා ලංකාවේදී දැක්ක ලස්සනම ගැහැනිය නිවස පිටුපසට පැමිණියාය.ඇය සැඩොල් කුලයේ දෙමළ ස්ත්‍රියකි. ඇය රතු සහ රන්වන් පාටැති ලාබ සාරියක් ඇඳ සිටියාය. ඇගේ නිරුවත් වළලු කරෙහි බරැති වළලු දමා තිබිණි . ඇගේ නාසය දෙපැත්තෙහි පුංචි රත් පැහැති තිත් දෙකක් දිලිසිනි. ඒවා සාමාන්‍ය ගල් වෙන්නට ඇති . එහෙත් ඔවුනට නම් ඒවා පද්ම රාගය. ඇය සාර සුබාවට වැසිකිළිය වෙත ඇවිද ආවේ මා එතන සිටීම මායිම් නොකොට, ඇස් කොනකින්වත් මදෙස නොබලමිණි. අනතුරුව ඇය එතනින් අතුරුදන් වූයේ අර ජරා පනිට්ටුව හිස මතින් ගෙන, දෙවඟනක මෙන් පා තබමිනි. ඇය කොතෙක් සුන්දර වූවාද යත් ඇගේ රස්සාව කුමක් වුවත් මට මගේ සිතින් ඇය අයින් කළ නොහැකි විය. කුලෑටි කැලෑ සතකු මෙන් ඇය වෙනස්ම වූ ලෝකයකට අයත් අමුතුම කෙනෙකු විය. ඉන්පසුව මම ඇය යන මග සාරියක් හෝ යම් පළතුරු කිසිවක් හෝ ඇයට ගැනීම පිණිස තැබුවෙමි. ඇය ඒ දෙසවත් නොබලා පියමන් කර ගියාය. නිතිපතා සිදුවන එම නීච කාර්ය ඇගේ කළු සුන්දරත්වය විසින් උපේක්ෂා සහගත රැජිනියක යටහත් පහත්ව ඉටු කරන වතාවතක් බවට හරවා ඇත.

එක් උදෑසනක මෙහි කෙලවරක් දැකීමට මම තීරණය කලෙමි. මම ඇගේ මැණික් කටුව දැඩිව ග්‍රහණය ට ගෙන ඇගේ ඇස් වලට එබී බැලුවෙමි. ඇය සමග කතා කළ හැකි බසක් නොවීය. සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවාය. ඇගේ සිහිනිගත්, පුපුරන්නට තරම් වන පුන් පියයුරුත්, ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පැරණි පිළිම වලින් එකක් බවට පත් කර ඇත . එය වූ කලී පුරුෂයකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඒ මුළු කාලය පුරාම ඇය ඇස් හායි ගා ඇරගෙන සිටියාය. ඇය මා පිළිකුල් කිරීම නිවැරැදි ය. එය නැවත සිදු වූයේ නැත.”

– සමන් වික්‍රමාරච්චි (fb)

Leave A Reply

Your email address will not be published.

7 + seventeen =