පාස්කු ප්‍රහාරයෙන් සත් මසකට පසු නොදුටු පිපිරුම්

9

නිතිපතිවරයා ඒ කිසිවක් පිළිබඳ අවධානය යොමු නොකොට සමස්තය ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා පිට පටවා මේ කරුණ ඔස්සේ අප මතු කරන කාරණා පිළිබද අංශුමාත්‍රයක හෝ අවධානයක් යොමු නොකරන්නේ මන් ද යන්න ගැටලුවකි. ඒ නිසා සාමාන්‍ය මිනිසකුට දැනෙන මේ සැක ඔස්සේ කිසිවක් ම පරික්ෂාවට ලක් නොකර දෙදෙනෙක් රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවාගෙන මේ සිදු කරන්නේ කුමන හෝ දුර්ගන්ධයක් වසන්නට සුවඳ විලවුන් ඉසීමක් නොවේ ද යන්න සාධාරණ සැකයකින් යුත් පැනයක් නොවන්නේ ද?

සහරාන්ලාගේ ප්‍රහාරය සිදු වී නොවැම්බර් 21 දාට සත් මසකි. ඒ ගැන ජනාධිපතිවරණයට පෙර තිබූ කම්පාව දැන් නොපෙනේ. ජයග්‍රහණය සඳහා අවශ්‍ය මෙවලමකට එහා ගිය කිසිවක් බොහෝ දෙනෙකුට එහි තිබී නැති බව පැහැදිලි ය. නමුත්, පාලකයන්ට එම මරණ ඔසවාගෙන ගිය පිරිසගේ දේශපාලනයට වඩා වැඩි වගකීමක් මෙහි දී පැවරී ඇත.

අප අරගල දෙකකට දකුණේ දී මුහුණ දී තිබේ. එසේම උතුරේ තිස් අවුරුදු යුද්ධය ය. එකවර මෙතරම් මිනිස් ජීවිත ගණනක් අහිමි නොවුණ ද, ඊට වඩා සමස්තයකට ජීවිතය අහිමි වී තිබෙන බව ඇත්තකි. ඒ කිසිවක් පදනම් කරගෙන රටේ ඒ මොහොතට අදාළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ මහජන ආරක්ෂාව භාර පොලිස්පති හෝ හිරේ විලංගුවේ වැටුණේ නැත.

ලංකාවේ දේශපාලනය ජාතික ආරක්ෂාව ආක්‍රමණය කිරීමක් සේ මේ ඝාතනය හැඳින්වීම වඩාත් නිවැරදි ය. ඒ සඳහා සුදුස්සන් නොසිටීම මෙන්ම බලය හරහා ස්වීය අභිමතාර්ථ පසක් කර ගන්නට උත්සාහ කළ නින්දාසහගත උත්සාහයන් මේ පිටුපස තිබෙන බව පැහැදිලි කර ගන්නට බොහෝ හේතු කාරණා මෙහි ඇත. ඒ සඳහා අවංකව හඬ අවදි කළ යුත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. තමන් කවුරුන් හෝ දුන් උගුලක් නොදැනුම්වත්ව ඇට වූ බව හිටපු ජනාධිපතිවරයාගේ හෘදය සාක්ෂිය දන්නේය. ගොවිතැන් බතක් කරගෙන පොළොන්නරුවේ ගත කරන්නට බලාපොරොත්තු වූ විශ්‍රාම ජීවිතය මිලියන 800ක සුපිරි නිවස්නයකට මාරු වූ ආකාරයෙන් ම ඒ හෘදය සාක්ෂිය විඳවන්නට කැමැති, එක තැනෙක නොරැඳෙන්නක් බව තේරුම් ගන්නට පුන පුනා ඔහු කී එල්ලා මැරීමේ වුවමනාව මරණ දඬුවමක් ලැබූවෙක් නිදහස් කිරීමෙන් අවසාන වීම දැක්විය හැකිය.

පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ පොලිස්පති පූජිත ජයසුන්දර ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ප්‍රහාරයේ වගකීම ගෙන ඉවත් වන ලෙස ජනාධිපතිවරයා තමන්ට පැවසුවේ, ඒ වෙනුවෙන් තානාපති තනතුරක් ද ලබා දෙන බවට පොරොන්දුවක් දෙමින් බවය. එසේ නම්, රටක ආරක්ෂාව නොතැකූ පුද්ගලයකුට රටේ නායකයා තානාපතිකමක් යෝජනා කිරීම සහ වර්තමානයේ ඔහුට ලැබී ඇති තීරණයේ ඇති දුර මේ සිදුවීමේ වැසී තිබෙන යථාර්ථයට එබී බලන්නට කරන බලපෑමකි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ හෘදය සාක්ෂිය හොඳින්ම හෙළිදරව් කරන්නකි.

යහපාලන රජය අරඹන්නේම මෛත්‍රීපාල රනිල් විරෝධී කණ්ඩායමක පහස ලබමින්ය. ඒ අය රනිල්ගේ තැනට සජිත් පමුණුවා මෛත්‍රී ම සජිත් රජයක් දැකීම පිණිස ගෙන ගිය සැලසුම මෙහි දී අවබෝධ කර ගත යුතුය. අවසානයට ඒ පිටියම හකුළා මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටී නිමාවට පත් විය.

එය සජිත් ප්‍රේමදාස මෙන්ම හිටපු ජනාධිපතිවරයා ද ප්‍රසිද්ධියේ හෙළිදරවු කළ රහසක්ය. අවස්ථා ගණනාවක දී හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තමන්ට ආරාධනා කළ බව සජිත් පවසන අතර, සජිත්ට පමණක් නොව කතානායක කරු ජයසූරියට ද ඊට ආරාධනා කළ බව පවසන්නේ ය. මේ දෙදෙනාම අතහැරුණු තැන මෛත්‍රී අනීතික ආකාරයෙන් ආණ්ඩුව විසුරුවා, මහින්ද රාජපක්ෂට අගමැතිකම පිරිනමන්නේ ය. එය විශාල සැලසුමකට අනුව, බහුතරය දිනාගැනීමට අවශ්‍ය වටාපිටාව සකස් කර ලැබූ බලයක් නොවේය. නමුත්, ඒ සඳහා මහින්ද රාජපක්ෂ පාර්ශ්වය එකඟ වන්නේ මේ මොහොතේ ලැබූ ජනාධිපතිවරණ ජයට එහි තිබෙන වැදගත්කම සලකා බව දැන් පැහැදිලි ය. නැතිනම් මහින්ද රාජපක්ෂ හිස් අත යළි එළියට ගන්නට පැණි නැති වද තුළට අත ඔබන්නේ නැත.

මේ සියල්ල පිටුපස මෛත්‍රී අන්දන වැඬේ පැවරෙන්නේ නීති විරෝධී ලෙස පැන ගිය සෙබළකුටය. තවත් අතකින් බැංකුවලට වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ඇත්තකුට ය. හේ ‘නාමල් කුමාර නම්’ විය. ඒ සඳහා පළමු පියවර තැබෙන්නේ දිගන සිදුවීම අළලා ‘මහසෝන් බළකායේ’ නායකයා වන අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමට නාමල් කුමාරගේ සහයෝගය ලැබීමෙන් ය. ඒ වෙනුවෙන් නාමල් කුමාරට රුපියල් දෙලක්ෂ පනස් දහසක ත්‍යාගයක් ද හිමිවන්නේ ය. මහසෝන් බළකාය යටතේ ම සිට නාමල් කුමාර කරන මේ ඔත්තු සැපයීම නිසා ඔහුට පොලිසියේ ඉහළත් සමඟ සම්බන්ධයක් සැකසෙන අතර නාලක සිල්වා නම් වූ සහරාන්ගේ කණ්ඩායම සම්බන්ධ පරීක්ෂණ කරන ඉහළ නිලධාරියා මෙන්ම පොලිස්පතිවරයා ද නාමල්ට හමු වන්නේ මේ අවස්ථාවේ ය.

මේ හරහා හැදෙන සම්බන්ධය පදනම් කර ගනිමින් එක්වරම ඉන්දියානු ‘රෝ ඔත්තු සේවය’ ද ඈඳා ගනිමින් නාලක ද සිල්වාගේ සම්බන්ධයක් සමඟ ඊට රනිල් වික්‍රමසිංහගේ නම ද ඈඳා ‘මෛත්‍රී – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක්’ ගැන එළියට දාන නාමල් කුමාර විශාල චරිතයක් බවට පත් වන්නේය.

ඒ අනුව රනිල් සහ ගෝඨාභය අතර ලියලමින් තිබූ ගැටුම උත්සන්න වන අතර, මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයෙක් හොයන්නට එජාපය දෙසට හැරෙන්නේ මහින්ද පාර්ශ්වය දෙසට හැරෙන්නට ඇති අකැමැත්ත මෙන්ම ලැජ්ජාව ද පදනම් කරගෙනය. නමුත්, සජිත් සහ කරු ජයසූරිය යන දෙදෙනාම අකැමැති වූ තැන ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුව පිහිටුවන්නට යන්නේ ඒ වන විට මහින්ද පිලේ ගෝඨාභය මෙන් ම තමන් ද රනිල්ගේ ඝාතන ඉලක්කයක් වීම ද සාධාරණ හේතුවක් බවට හෘදය සාක්ෂිය සනසා ගනිමින්ය.

ඒ වන විට පළාත් පාලන මැතිවරණයට ද යම් ආකාරයකින් මේ විරසකය බලපා තිබුණ අතර, ආණ්ඩුව දෙපැත්තට ඇදෙන තත්ත්වයක ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොවීමේ පල විපාක ලෙස එජාපය මෙන්ම පොදු පෙරමුණ ද පළාත් පාලන මැතිවරණයේ දී සෝදාපාළුවකට ලක් කරමින් මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබා ගත්තේ ය. ඒ තත්ත්වය ද අගමැති ලෙස මහින්ද පත් කිරීමට හේතු පාඨයක් කර ගැනීමට ද මෛත්‍රී වගබලා ගත්තේය.

මේ වන විට බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් පත්වීම් ලබා සිටි නිලන්ත ජයවර්ධන ජනාධිපතිවරයාට අතිශය හිතවත්ව සිටියේ ය. ඔහු ඒ හිතවත්කම ප්‍රයෝජනයට ගනිමින් සිය බුද්ධි අංශයට අනුයුක්ත කර සිටි හමුදා සේවකයන් ඉවත් කර දැමීමට කටයුතු කළේ ය. එසේ ම ඒ වන විට ද සහරාන් නම් භීතිකාව ගැන ඉව කරමින් සිටි නාලක සිල්වාට 2018 වසරේ දී එම පරීක්ෂණ නවත්වන ලෙස ලිඛිතව පොලිස්පතිවරයාට ද අනියමින් දන්වා සිටින නිලන්ත ජයවර්ධනගේ එම තීරණයට අනුව වැඩ කරන්න එක් අවස්ථාවක ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයා ද පොලිස්පතිවරයාට උපදෙස් දෙන්නේ ය. එසේම යමක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ වෙනත් ආරක්ෂක නිලධාරියකු ද බුද්ධි තොරතුරු මත ජනාධිපති දැනුම්වත් කරන්නට යාමේ දී ඒ සියල්ල සෘජුවම නිලන්ත ජයවර්ධන විසින් ජනාධිපතිවරයාට වාර්තා කර තිබිණ. ඒ නිසා “මට නිලන්ත කිව්වා” යනුවෙන් ලැබෙන සුපුරුදු පිළිතුර නිසා නිලන්ත ජයවර්ධනගෙන් ලැබෙන බුද්ධි තොරතුරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් එම නිලධාරීහු වැළැකී සිටියහ.

ඒ වන විටත් වරෙන්තු සහ විවෘත වරෙන්තු නිකුත් කර සහරාන් කොටු කර ගැනීමට මාන බලමින් සිටි නාලක සිල්වාට මඳක් නිහඬ වන්නට වන්නේය. සේනාවිධායකම එසේ පවසද් දී පොලිස්පතිවරයාට ද වන්නේ නිහඬ වන්නටය.

නිලන්ත ජයවර්ධන සිය පොලිස් ජීවිතයේ විශාල කාලයක් බුද්ධි අංශයේ ම කටයුතු කළ අයෙක්ය. ඔහු බුද්ධි අංශ ප්‍රධානියා සේ පත් වන්නේ උතුරේ ප්‍රදේශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කරමින් සිටියදී ය. ඔහු ඒ තනතුරට පත් වීමට නිර්දේශ ලබා ගන්නේ සහ තමන්ගේ පෞද්ගලික සහකාර ලෙස සිටිය දී බුද්ධි අංශයට පත් කිරීම සඳහා ද නිර්දේශ කරනු ලබන්නේ එවකට උතුරු පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත ජයසුන්දරය.

මේ කරුණු සම්බන්ධයෙන් තවමත් හරි අදහසක් සමාජයට ලැබී නැත. නිලන්ත ජයවර්ධන පරීක්ෂණ නවත්වන ලෙස නාලක ද සිල්වාට පැවසූ හේතුව තවමත් කිසිවෙක් නොදන්නේය. විශේෂ බුද්ධි තොරතුරු සොයාබැලීමක් ලෙස නම් කළ නිලන්ත ජයවර්ධනගේ ඒ ඉල්ලීමෙන් සිදු වී ඇත්තේ නාලක සිදු කළ, ප්‍රතිඵල පෙන් වූ පරීක්ෂණ නැවතීම පමණය. අනතුරුව නාමල්ගේ කීමට නාලක ද සිල්වාට රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින්නට සිදු වන අතර, නාමල් රෝ සංවිධානය ද ඊට ඈඳා තිබීම නිසා රෝ හරහා ලැබෙන ඉතාම තීරණාත්මක තොරතුරු පවා සේනාවිධායකයා ගණනකට ගත්තේ නැත. එසේ පාස්කු ප්‍රහාරයට පෙරාතුව නිලන්ත ජයවර්ධන රැගෙන එන අවසාන තොරතුර ද සංචාරය නිම වී බලන්නට තබන්නේ ඒ වෛරය නිසාය.

නිලන්ත ජයවර්ධන කිසි විටෙක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ දැන්වීම්වල දී එවැනි ප්‍රහාරයක් සිදුවීම අවිනිශ්චිත බවට වැඩි හැඟවීමක් කර ඇත. අවසානයේ ඔහු විසින් වගකිවයුතු අංශ සඳහා දැනුම් දෙන නිවේදනයේ දී ද පෙන්වා දෙන්නේ ලැබී ඇති තොරතුරු තහවුරු නොමැති බවය. සැකයක් සේ සිතන්නට ඉඩ තබා ඔහු විසින් දිගින් දිගටම සහරාන් සම්බන්ධ තොරතුරු ලබා දී තිබෙන අතර, අවසාන මොහොතේ ද ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට කතා කරන්නේ ඔහුට තොරතුරක් ලබා දෙන්නට නොවේය. ඔහුගෙන් තොරතුරක් ලබා ගන්නටය. ඒ කොළඹ ඇති මෙතෝදිස්ත පල්ලි ගැන දැනගැනීමටය.

එමෙන් ම අනීතික ආණ්ඩුව වෙනස් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ යළි අගමැති පුටුවේ ඉඳ ගත් පසුව කළ විශාල වරදක් ද ඇත. ඒ තමන් හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හෝ වෙන ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයකු හෝ නොකැඳවා විපක්ෂය සමඟ ආරක්ෂක කවුන්සිලය රැස් වීම  පිළිබඳව මුනිවත රැකීමය. නීතිගරුක රට ම තමන් සමග සිට ගත් හැටි හෝ සිහි කර රටේ සිදු වන ඒ නීත්‍යනුකූල නොවන ආරක්ෂක කවුන්සිලය ගැන ජනතාව දැනුම්වත් කරන්නට රනිල් වික්‍රමසිංහ හෝ පැවැති රජය කටයුතු නොකිරීම ද සහරාන් ප්‍රහාරය සිදු වන්නට හේතුවකි. තමන්ට හිමි නැති තැනක ජනාධිපති හයියෙන් ඉඳ ගත් ආරක්ෂක කවුන්සිලයේ පුද්ගලයන් ගත් තීරණවල දුර්වලතාව ද මේ පිපිරීම්වලට හේතුවක් වන්නේ ය.

නමුත් අවසානයේ ඒ කිසිවෙක් වැරදි නැත. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ පොලිස්පති රිමාන්ඞ් භාරයේය. සහරාන් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ නාලක ද සිල්වා රිමාන්ඞ්ගත කරන්නට සාවද්‍ය තොරතුරු සැපයූ නාමල් කුමාර එළියේය. එසේම ඔහු සාවද්‍ය චෝදනාවක් කර රිමාන්ඞ් බන්ධනාගාරයට යොමු කිරීමටත් ප්‍රථම නාලක ද සිල්වාව රහසිගත විශේෂ බුද්ධි තොරතුරු සොයාබැලීමක් සිදු වන බව කියා නාලකගේ පරීක්ෂණ අඩාළ කළ නිලන්ත ජයවර්ධනට ද කිසිදු ප්‍රශ්නයක් නැත. පිපිරීම සිදු වන්නට පෙර දෙයාකාරයකින් එම පිපිරීම ගැන සොයාබැලු නිලධාරියා ඉන් ඉවත් කරන්නට කටයුතු කිරීම ගැන සැකය තවමත් මේ පරීක්ෂණ කණ්ඩායම් අතරේ පුපුරා ගොස් නැත.

ක්‍රියාත්මක වන්නට තොරතුරු ලබා දිය යුතු අංශ නිවැරැදිව තොරතුරු ලබා නොදීම වරදක් නොවී, සියලු පව් හේදීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පති දඬුවම් විඳිමින් සිටීම ඛේදයකි. එහෙත්, ඊට මොවුන් දෙදෙනා වගකිව යුතු නොවේ යන්න අපගේ නිගමනය නොවන අතර, එවැනි තීරණයකට එළැඹෙන්නේ නම්, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු සියල්ලෝ ම මෙහි වරදකරුවන් විය යුතු ය. ඒ සියල්ලට මේ මරණවලට වගකීම පැවරෙන්නේ සහරාන්ට එම අපරාධය කරන්නට හැකි වූ බැවින් ය. එසේ නම්, අප නැවත යෝජනා කරන්නේ ඔහු සම්බන්ධ පරීක්ෂණ කළ නිලධාරියා බන්ධනාගාරගත කරන්නට නාමල් කුමාර සාවද්‍ය කාරණා ගෙතුවේ මන් ද? බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන විශේෂ රහසිගත බුද්ධි තොරතුරු සොයාබැලීමක් ලෙස පවසමින් නාලක ද සිල්වා සහරාන් සම්බන්ධ පරීක්ෂණ කිරීමෙන් ඈත් කළේ ඇයි ? ඉන් පසු වසරකට ආසන්න ඒ විශේෂ බුද්ධි තොරතුරු සොයාබැලීමේ පරීක්ෂණවල ප්‍රතිඵලය කුමක් ද? එය මිනිස් ජීවිත සිය ගණනක් අහිමි වන ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස කෙළවර වීම තේරුම් ගත යුත්තේ කෙසේ ද? එසේ නම්, මෙම ප්‍රහාරය වළක්වන්නට තිබූ පරීක්ෂණ නැවතීමෙන් සිදු වී ඇත්තේ විනාශයක් නම්, තමා යටතේ සිටි හමුදා නිලධාරීන් බුද්ධි අංශයෙන් ඉවත් කළේ කුමකට ද යන්නත් මේ රටේ ජනතාවගේ දැනගැනීම පිණිස නීතිය ඉදිරියේ සාකච්ඡාවට ගත යුතු නොවේ ද?

නමුත්, නිතිපතිවරයා ඒ කිසිවක් පිළිබඳ අවධානය යොමු නොකොට සමස්තය ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා පිට පටවා මේ කරුණ ඔස්සේ අප මතු කරන කාරණා පිළිබද අංශුමාත්‍රයක හෝ අවධානයක් යොමු නොකරන්නේ මන් ද යන්න ගැටලුවකි. ඒ නිසා සාමාන්‍ය මිනිසකුට දැනෙන මේ සැක ඔස්සේ කිසිවක් ම පරීක්ෂාවට ලක් නොකර දෙදෙනෙක් රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවාගෙන මේ සිදු කරන්නේ කුමන හෝ දුර්ගන්ධයක් වසන්නට සුවඳ විලවුන් ඉසීමක් නොවේ ද යන්න සාධාරණ සැකයකින් යුත් පැනයක් නොවන්නේ ද?

(පාර්ලිමේන්තු කාරක සභාවේ කරුණු සහ වෙනත් කරුණු පදනම් කර ගනිමින් සකස් කළ ලිපියකි)

විශේෂ ලියුම්කරුවකු විසිනි

Previous articleප්‍රේක්ෂකයන් ළිං මැඬියන් ගාණට පත් කරලා තියෙන්නේ
Next articleඅහු නොවී කෙලින් යන්න කතා කරන ‘කකුළුවෝ සහ මකුළුවෝ’ මුහුරත් උළෙල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here