“ප්‍රියන්තගේ ඝාතනය කරුණු නොසොයා රැල්ලට ගිය සිදුවිමක්ලු – අපේ බහුතර ජනතාවකුත් ඒ වගේම ගියා කියල හිතෙනවා”

මලික්ලා ගැනත් සටහනක්
ප්‍රියන්තගේ පකිස්ථාන් සිද්ධිය අන්තවාදී ආගමික උන්මාදය මත කරුණු හරියට හොයන්නෙ බලන්නේ නැතුව වැරදියට වටහා ගෙන කරපු ඝාතනයක් බව දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ මහා ජන ගංගාවට මිනිසුන් එකතු වී ඇත්තේ බහුතරය යන දිසාව හරි කියන විශ්වාසයේ ඉඳන්. ඔවුන් දෙවියන් ඉන්නා දිසාවට කියලා යන්නෙත් මීට වඩා එතරම් වෙනස් විදියකට නෙමෙයි. කොහොම හරි මේ වෙනකොට හරි කරුණු දැන ගැනීමෙන් ඒ ජනතාව වැටිලා ඉන්න තැනත් පසුගිය කාලයේ අපේ බහුතර ජනතාවකුත් ඒ වගේම කරුණු හොයන්නෙ නැතුව රැල්ලකට එකතු වී නායකයෙක් පත් කරගෙන දැන් වැටිලා ඉන්න තැනත් අතර මොකක්ද සමානකමක් තියෙනවා වගේ කියලා මට හිතෙනවා.

කොහේ හරි තැනක යම් බහුතරයකගේ මතයක් හෝ බහුතරය හැසිරෙන විදිහක් තියෙනවා නම් ඒකට හරක් රැලකට එකතු වෙන හරක් පැටියෙක් වගේ එකතු වෙන්ඩ කලින් නිතරම කරුණු හොයා බලන්න. ඒක ‘මතයක්’ නම් කොහෙන්ද මේ මතය එන්නේ කවුද මේ මතය හැදුවේ කොහොමද ඒක ප්‍රචාරය වුණේ වගේ දේවල් විමසන්න.

ඒ විශාල ජනරැල්ල ප්‍රියන්ත ව ඝාතනය කරන්නට එනකොට ඊට එරෙහිව තනිව යම් හඬක් නගන්නට ධෛර්යයක් ඇති මිනිසෙක් ද ඒ අතර ඉඳලා තියෙනවා මලික් කියලා. බොහෝ විට බහුතර ජනතාවගේ අදහසට එරෙහි වන්න කෙනෙකුට බැරි දැනුම සහ අවබෝධය නැති නිසාම නෙමෙයි ඊට වඩා ධෛර්යය නැති නිසයි. මේ නිසා තමයි සමහරු කොයි තරම් උගත් වුනත් බුද්ධිමත් සහ මිලියනපතියන් වුණත් බොහෝවිට බහුතරයට එරෙහිව අවශ්‍ය තැන හඬ නගන්න නොඑන්නේ. එදිනෙදා සාමාන්‍ය තත්ත්වයේ දී ඇත්තේ ජීවිත හානියට ඇති බයටත් වඩා භෞතික වාසි වරප්‍රසාද ආදිය අහිමි වීමටත් සමාජ ලැජ්ජාවට මුහුණ දීමටත් ධෛර්යය නැති වීමයි. සාමාන්‍ය මේ ධෛර්යය නැති එවුන් එවැනි ධෛර්යය ඇති එවුන්ව හඳුන්වන්නේ මෝඩයෙක් විදිහටයි.
සමීපව ඇසුරු කරන්න යහළුවන් ළංකර ගන්න සිද්ධ වෙන අවස්ථා ඇති වුනොත් මම විශේෂයෙන් දකින්න කැමති ගුණයක් තමයි කොයිතරම් දුරට බහුතරයා කියන දේවල් ඉදිරියේ නොසැලී ස්වාධීනව හිතන්න පුළුවන්ද, යථාර්ථය ඉදිරියේ පෙනී ඉන්න ධෛර්යය තියෙනවද කියන එක. ඇසුරකදී පුද්ගලයෙකුට මොනව තිබුණත් වැඩක් නැතිවෙනවා ඔහු හෝ ඇය ඔබව තේරුම් ගන්නේ තනිකරම බහුතරය තේරුම් ගන්නා ආකාරය මත නම්. මට අනුව මිනිසෙක් ලෙසට කෙනෙක් අවසන් වෙන තැනක් තමයි ඇත්ත නැත්ත යථාර්ථය හරි වැරදි කුමක් වේවා බහුතරය හෙවත් සමාජය මට කුමක් කියයි ද කියන දේට මුහුණ දීමට ධෛර්යය නැතිව ඒ විශාල හරක් රැලටම වලිගේ පස්සෙ ගහගෙන එකතු වී ඇඟ බේරා ගන්නා තැන.

– ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

17 − 4 =