Bayan හෙවත් ‘සිසිර ගීතය’

අවුරුදු හැත්තෑවකට පමණ පසු සෝවියට් දේශය බිඳ වැටුණි. සාහිත්‍යය තුළින් සෝවියට් පුසුඹ ඉව කළ අප වැඩි දෙනෙකුගේ හදවත්වලට ඒ බිඳ වැටීම අතිශය වේදනාවක් ගෙන ආ සැටි අවුරුදු තිහකට එපිට අතීතයට සිත තල්ලු කොට බැලීමේදී සොයා ගත හැකි ය.

එහෙත් සෝවියට් සමූහාණ්ඩු පාලනය පැවැති රුසියාව, යුක්රේනය, ආර්මීනියාව, කිර්ගීසියාව, ජෝර්ජියාව, කසක්ස්තානය ඇතුළු අවශේෂ රටවල් බොහෝ ගණනක ජන ජීවිත තුළට මේ දේශපාලන සුනාමිය කඩා වැදුණේ කෙසේ දැයි අප තවමත් හරිහැටි දැන්නේ නැත. ඒ ගැන හරි හැටි ලියැවී ඇත්තේ තවමත් ඉතා මඳෙකි. දැනට වසර කීපයකට පෙර එච්. ජයරත්නයන් අතින් සිංහලට නැඟුණු ‘රුසියානු ශෝකාන්තය’ නම්, රුසියානු මහාචාර්යවරයෙකු විසින් සිය ජීවිතය පාදක කොට ගෙන ලියූ පිටු හත් අටසීයක නවකතාවෙන් එය යම් පමණට අපට ඉව කොට ගත හැකි විය. සමාජ ජීවිතය කඩා වැටීමේ ඛේදවාචකයට රුසියානු නාගරික, උගත් ස්ථරය මුහුණ දෙන සැටි එයින් කියැවෙයි.

බාගෙවිට රුසියානු බසින් එවන් තවත් කෘති ලියැවී තිබෙන්නට හැකි නමුදු, සිංහලට තබා අඩු තරමේ ඉංග්‍රීසි බසට පෙරළී ඇති කෘතියකුදු සොයා ගැනීම අසීරු ය.

මට අහම්බෙන් අතපත් වූ ‘සිසිර ගීතය’ කෘතිය මේ අඩුව කිසියම් පමණකින් පුරවන්නට ගැනුණු උත්සාහයකැයි නොපැකිළ කිව හැකි ය. ‘සිසිර ගීතය’ පරිවර්තනයකි. එය, පරිවර්තන ලෝකයට අලුතින් ම එක් වූ රෝහන කලුආරච්චි විසින් කෙරුණු පරිවර්තනයකි. මෙහි මුල් කෘතිය සම්බන්ධයෙන් විශේෂයක් තිබේ. මෙය ලියනු ලැබ ඇත්තේ රුසියානුවෙකු විසින් හෝ පැරැණි සෝවියට් ජනරජයට අයත් වෙනත් කිසිදු රටක ලේඛකයෙකු විසින් නොවේ. ඔහු ප්‍රමුදිත් ඩී. රූපසිංහ නම් ශ්‍රී ලාංකිකයෙකි.

මීට පෙර, මෙවැන්නක් මවිසින් කියවනු ලැබ ඇත්තේ මීට අවුරුදු තිහකට පමණ පෙර ය. ඒ, ලයනල් සරත් සූරීන් විසින් ලියැවුණු ‘අසිරිමත් පණිවිඩය’ නම් නවකතාවයි. එය 1917 රුසියානු විප්ලවය පාදක කොට ගනිමින් ලියැවුණකි. දැන් මේ ‘සිසිර ගීතය’ නැතිනම් ‘බයාන්’ ලියැවී ඇත්තේ එහි අනෙක් පැත්ත, එනම් විප්ලවයේ බිඳ වැටීමට පසු තත්ත්වය පාදක කොට ගෙන ය.
කතාව මුල් කොටස කියවීවාගෙන ගියේ කැමැත්තෙන් තොරව, අසීරුවෙන් බව අවංකව සඳහන් කළ යුතු ය. කතා නායකයා වන ඉවාන් සෝවියට් ක්‍රමයට (ඊටත් වඩා එහි සිටි පාලකයන්ගේ ක්‍රියා කලාපයට) ඔහුගේ ඇති අකමැත්ත හා ප්‍රතිරෝධය අතීත ස්මරණයක ස්වරූපයෙන් කියා පායි. ඒ, ඔහු හමුවන්නට පැමිණෙන අමුත්තෙකු සමග කෙරෙන සාකච්ඡාවක ස්වරූපයෙනි. 1940 දශකයේ උපත ලබන ඔහු 1991 දක්වා සෝවියට් යුක්‍රේනයේ ඔහුගේ අභාවාචක අත්දැකීම් එහිදී කියා පායි.
ඔහු විවාහ වන්නේ ඉහළ නිලධාරියෙකුගේ දියණියක සමගිනි. එම නිලධාරියාගේ නිර්දය පීඩනයට හසුවන ඔහුට පසුව බිරිඳත්, දියණියත් අහිමි වෙයි.

1985දී පෙරෙස්ත්‍රොයිකා වැඩ පිළිවෙළ ඇරඹෙයි. එවිට ඔහුට (1987) නව පෙම්වතියක මුණ ගැසේ. දෙපා ආබාධිත, භෝජනාගාරයක සේවය කරන ඇය විවාහයට අකමැති වන්නී ය. ඇයට අවශ්‍ය වන්නේ ඔහුගෙන් දරුවෙකු පමණි. එහි ඵලයක් ලෙස දියණියක උපදී.

1991දී සෝවියට් දේශය බිඳ වැටෙයි. ඔවුන්ගේ ජීවිත මත සැබෑ ඛේදවාචකය ඇරඹෙන්නේ එතැනිනි. ඒ වන විට සේවයෙන් විශ්‍රාමය ලබන ඔහුට එතෙක් ඔහු උපයා ගත් මුදල එහෙම පිටින් ම මෙන් අහිමිව යයි. ඒ, එතෙක් භාවිත මුදල් අවලංගුව යන හෙයිනි. සමාජ ජීවිතය උඩු යටිකුරු වෙයි. මිනිස් සබඳතා එකිනෙක බිඳ වැටෙන්නට ගනී. එතැන් සිට ඉවාන්ගේ කතාබහ තුළ අපට පෙනෙන්නේ, එතෙක් පැවති සෝවියට් ජීවිතයේ වටිනාකම් කොතෙක්දැයි කෙරෙන පාපොච්ඡාරණයකැයි කිව හැකි ය.

සියල්ලට මත් වඩා, සමාජ අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීම 1991න් පසු ඇති වූ සැටි කතාව පුරා පැහැදිලි වෙයි. කොතරම් ජරාජීර්ණ වූ සමාජවාදයක් යටතේ වුව, මිනිස් වටිනාකම් සහ සාමූහික හැඟීම්, ධනපති ක්‍රමයක වටපිටාවකදීට වඩා කොතරම් නම් ඉහළින් වර්ධනය කෙරෙන්නේ දැයි අපට පසක් වෙයි.
කතාවේ අවසාන භාගයේ එක තැනෙක, අමුත්තා සමග ඉවාන් බසයක ගමන් ගනී. ඔවුන් එසේ යන්නේ 1991න් පසු කිසිදා අලුත්වැඩියා නොකළ අබලන් මඟෙක ය. එවැනි ප්‍රබල සංකේත යොදා ගැනීම් කතාව පුරා අපට බහුලව හමු වේ.

කතාව එක අතෙකින් මේ දේශපාලන සහ සාංස්කෘතික වෙනස්කම් අතරෙහි දෝලනය වන අතරෙහි ම, ජීවිතයේ වියපත් වීම කෙරෙහි දාර්ශනික බැල්මක් හෙළන්නට ද කතුවරයා කිසියම් උත්සාහයක් ගනී.
අනෙක් අතින් වියපත්වීමේ ව්‍යසනය, සාමූහිකත්වයෙන් පිරි සමාජයක් බිඳ වැටුණු පසු දිගට ම පවතින බවක් අපට පසක් කරවන්නට කතුවරයා උත්සාහ කරන සැටියකි. අවසානයේ ඉවාන්ගේ දියණියගේ වියපත් වියේ දී ද ඇයට සහනය ගෙන එන්නේ ද, සෝවියට් යුගයේ නිමවන ලද බයානය සංගීත භාණ්ඩය යි. මේ රූපකය හරහා කතුවරයා උත්සාහ කරන්නේ අතීතයේ ජයග්‍රහණ පහසුවෙන් මිනිස් සමාජයෙන් ඉවත් නො වන බව ද? ඉවාන්ගේ ආත්මය තුළ සෝවියට් යුගය තුළ පැළ කෙරෙන ලද සෞන්ධර්යාත්මක, පරිසයට ඇල්ම ඇති, මානව දයා ගුණ සපිරි චින්තනය යළි දළු දමා මතු වෙන බව ද?
මේ කෘතිය පිළිබඳව මා මුලින් ම දැනුම්වත් කෙරුණේ, ‘පරිවර්තන පොත් කියවන අය’ සමූහය පවත්වාගෙන යන උත්පලා විජේසිංහ සහෝදරිය විසිනි.

මෙහි සිංහල පරිවර්තනය සිදු වී ඇත්තේ රෝහන කලුආරච්චි සොයුරා අතිනි. පරිවර්තන ලෝකයට ඔහුගේ සම්ප්‍රාප්තිය ආදරයෙන් පිළිගත යුත්තකි. යම් යම් දුබලතා සහ අඩුපාඩු ඇතත් ඒවා ඔහුට පහසුවෙන් ඉදිරියේදී සමහන් කොට ගත හැකි ය. මට එසේ කිව හැකි වන්නේ, පරිවර්තනයට පිවිසි මුල් යුගයේ මගේ තිබූ අඩුපාඩු සහ දුබලතා ගැන ආපසු කල්පනා කිරීමෙනි. රෝහන කලුආරච්චි සොයුරාට, වඩාත් යපහත් පරිවර්තන රැසක් සිංහල පාඨකයාට ගෙන එන්නට හැකි වේවා යැයි සුබ පතමි.

‘බයාන්’ කෘතිය 2020දී Golden Aster ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ ය. එසේ ම මීට පෙර ප්‍රමුදිත් Behind the Eclipse සහ Footprints in Obscurity නම් නවකතා දෙකක් ද ලියා පළකොට ඇත්තේ ය. එය . එහෙත් සිංහල භාෂක සමාජය තුළ, සිංහල විචාරක පිරිස් අතර ඔහු පිළිබඳව ලියැවී ඇති තැනක් මම නොදුටුවෙමි. ඒ ගැන අවධානය යොමු වේවා යැයි ද, ඔහුගේ සාහිත්‍ය සේවාව වඩාත් හරවත්, ඵලදායි එකක් වේවායි පතමි.
මෙය, මේ පොත ගැන අතිශය අසම්පූර්ණ සටහනකි. මේ ගැන වඩාත් ගැඹුරු කතා බහක් ඇති කොට ගැන්මේ අවශ්‍යතාව හැඟී ගියෙන්, ඒ වෙනුවෙන් කලබලයේ තැබූ සටහනකි.

– මහින්ද සෙනරත් ගමගේ (fb)

Leave A Reply

Your email address will not be published.

seven + 13 =