‘අල්බෝරාදා’ ‘ජාත්‍යන්තර සිනමාත්මක අද්දැකීමක්’

‘අල්බෝරාදා’ සිනමා පටය සමගින් ‘හඳගමයානු සිනමාව’ නැවතත් කරලියට ඇවිත්. මෙය වෙනස්ම විදිහේ සිනමාත්මක අද්දැකීමක්. ඉග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය තුල සිංහල දෙමල මෙන්ම ස්පාඥ භාෂාවද ඇතුලත්ව භාෂා හතරක් භාවිතා වීමද විශේෂත්වයක් . මේ වෙනකොටත් ජාත්‍යන්තරයට මුදා හැර ඇති මෙම චිත්‍රපටයේ විශේෂිත දර්ශනයක් පසුගිය 6 වෙනිදා කොළඹදී පැවැත්වුවා .

මේ කෙටි සටහන ඒ පිළිබඳවයි .

විදේශීය ආක්‍රමණික යුගයේ සිට 1970 දශකයේ අග දක්වා ශ්‍රී ලංකාව තුල වැසිකිලි පිරිසිදුකරන්නන් ලෙස රැකියාවේ නිරත වූ ජන කොට්ටාශය හදුන්වනු ලැබුවේ ‘සක්කිලි යනුවෙනි.’ 1929 වසරේ මෙරට චිලි රාජ්‍යයේ කොන්සාල්වරයා ලෙස සේවයට පැමිණි සුප්‍රසිද්ධ කවියා ‘පැබ්ලෝ නෙරුඩා’ සිය වැසිකිලිය පිරිසිදු කිරීම පිණිස දිනපතා හිමිදිරි උදයේ පැමිණෙන සක්කිලි කාන්තාව සමග ලිංගිකව එක්වූ බව පොත්පත්වල සඳහන් ව ඇති කාරණයක්. මෙම හුදකලා සිද්ධිය සොයා ඉතිහාසය පීරන හඳගම ‘කලාකරුවාගේ ප්‍රතිභාවේ ස්පර්ශයට හසු වූ කල්හි රසභාව බවට පත්නොවන රම්‍ය වූ හෝ වේවා , ගුජුප්සාජනක වූ හෝ උදාර වූ හෝ වේවා , නීච වූ හෝ වේවා කිසිදු වස්තුවක් මේ ලෝකයේ නැත’ යන ප්‍රකාශය සනාථ කරමින් අගනා චිත්‍ර පටයක් නිර්මාණය කර ඇත. වෙනත් විදිහකින් සඳහන් කරනවා නම් හඳගම මෙම සිනමා කෘතිය තුල අතිශය තත්වාකාරයෙන් මෙන්ම ස්විශේෂ ලෙසින්ද චරිත ගොඩනගන්නේ 1930 දශකයේ තම ජීවිතය රැක ගනු වස් අරගලය යෙදෙන ශ්‍රී ලංකික ජන සමාජයේ කොටසක් සමග සම්මුක වන අධිරාජ්‍යවාදී පාලකයින්ගේ නියෝජිතයෙක් ආශ්‍රය කරගෙනය . එහෙත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම අධිරාජ්‍යවාදී නියෝජිතයා පසු කාලයේ නොබෙල් ත්‍යාගයට පවා හිම්කම් කියන ලෝකප්‍රසිද්ධ කවියකු විමය . සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කෙරෙන නිර්මාණයක් නිසාම වසර සියයකට අසන්න කාලයකට ඉහත සිදුවීමක් වුවත් එය අදටත් ප්‍රේක්ෂයා කම්පනයට පත්කරන ආන්දෝලනාත්මක සිදුවීමක් රැගත් නිර්මාණයක් බවටමෙය පත්වෙයි.

ප්‍රධාන චරිත හතරක් ආශ්‍රයෙන් ගොඩනැගෙන චිත්‍රපටයේ ආකෘතිය තුල විශේෂිත වූ නෙරුඩාගේ චරිතයට පන පොවන විදේශීය රංගන ශිල්පියා සමග චිත්‍රපටය පුරාම දිව යන අනෙක් චරිතය වන්නේ රත්නේ අයියා නමැති ඔහුගේ ආවතේව කරුවායි .

විශිෂ්ඨ රංගන වේදියෙකු වන මැල්කම් මචාඩෝ රන්තේ අයියා ලෙස කරන යථා රූපී රංගනය කොතරම් ප්‍රබලද යත් එය අපගේ ඇතුළු හදට ආලෝක ධාරා විහිදුවන්නට සමත් වෙයි . සිංහල, ඉග්‍රීසි, දමිළ යන භාෂා තුනම හැසිරවීමට ඔහුට ඇති හැකියාව නිසාම චරිතයට වඩාත් සාධාරණයක් ඉටුකිරීමට ඔහුට හැකිවී ඇත.සුපුරුදු ලෙසම ඔහුටම ආවේනික වූ ඉතාම සියුම් අංග චලයන් තුලින් දහසක් දේ ප්‍රේක්ෂක මනස තුලට කාවද්දන්නට ඔහු සමත් වෙයි .

ඉතිහාසයේ මෙන් කලාවෙහිද නිරුපනය වන්නේ ස්විශේෂ පුද්ගලචරිතයන්ය .ඒ ස්විශේෂ චරිත අතරට රිංගාගොස් එවැනි ස්විශේෂ චරිතයන්ගේ අභ්‍යන්තර ජීවිතයතුල ඇති පැටලිලි සහගත , සංකීර්ණ ආධ්‍යාත්මික සන්තතින් සමග ප්‍රේක්ෂකයා සම්පර්කයට පත්කරන්නට සිනමා කරුවා අල්බොරාදා සිනමා කෘතිය තුලින් සමත්වෙයි.

ජාත්‍යන්තර සිනමාව ඉලක්ක කරගෙන දේශීයව නිපදවා ඇති මෙම චිත්‍රපටය තුල ඓතිහාසික ශ්‍රී ලංකික සමාජයේ සංස්කෘතික ගති ලක්ෂණයන් ඔප් නග්වන්නට අජිත් කුමාරසිරිගේ සංගීතය දක්වන දායකත්වයද සුවිශේෂය.
සිනමාව වූ කලි මායාවක්මය . එත් නිර්මාණශීලි සිනමා වේදියෙකුට එක්සිදුවිමක් පාදකකොට ගෙන ප්‍රේක්ෂකයා ප්‍රකම්පනයට පත්කලහැකි සිනමා නිර්මාණයක් ගොඩනැගිය හැකිය. එමගින් විශාල පණිවිඩයක් සමාජයට එන්නත් කල හැකිය . පැබ්ලෝ නෙරුඩා ගේ මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සිනමාකරුවෙකු ලෙස හඳගමගේ පරිකල්පනය තුල ලියලමින් ප්‍රතිභාපුර්ණ සිනමා නිර්මාණයක් දක්වා වැඩි ඇති අයුරුනම් අපුරුය . සත්‍ය වශයෙන්ම එය මෙරට සිනමාවට ජාත්‍යන්තරය ජයගත හැකි බවට දෙන ඉඟියක් බඳුය.

මැල්කම් මචාඩෝ ට අමතරව සියලුම රංගන ශිල්පින් රංගනයේදී තම උපරිමය මුදාහැර ඇති අතර බොහෝ සිනමා නිර්මාණවල කැමරාවෙන් විශිෂ්ඨ හරඹ කරන නිර්මාණශීලි කැමරා ශිල්පියා වන චන්න දේශප්‍රිය ගේ කැමරාකරණය චිත්‍රපටයට ජාත්‍යන්තර ප්‍රමිතියක් එක් කිරමට තවත් පිටුවහලකි . මුහුදු තිරය ආශ්‍රයෙන් සැන්දෑ සමයේ මෙන්ම හිමිදිරි උදැසන ඔහු කැමරාවට හසුකර ගන්නා අතිශය සුන්දර දර්ශන තලයන් සහිත රූපරාමු චිත්‍රපටයට වඩාත් පැහැයක් එක්කරනු ලබයි .

අවසන් අවශයෙන් කිව හැක්කේ කිසියම් කළා කෘතියක ආකෘතිය එහි අන්තර්ගතයට සේවය කරයි ;අන්තර්ගතය ධ්‍වනිත කරයි .මේ අන්තර්ගතය හැමවිටම සමාජිකයි ;සමාජය ගැන ,එහි වසන පංති ගැන , පංති කණ්ඩායම් ,ජනකණ්ඩායම් ආදිය ගැන කිසිවක් පවසයි .එමෙන්ම එතුල වෙසෙන විවිධ මිනිස් චර්යාවන් ඇතුලට කිඳා බැස හාරා අවුස්සමින් එය ප්‍රේක්ෂක සමුහය ඉදිරියේ මුදා හරියි .එසේ නොවන ආකෘතිය හිස්ය ;ශුන්‍යය. එසේ බලන විට ප්‍රබල අන්තර්ගතයක් සහිතව අල්බෝරදා චිත්‍රපටයේ ආකෘතිය ගොඩනගන සිනමා කරුවා අවසානයේ ප්‍රේක්ෂකයාගේ සංජානනය ඒකාග්‍ර කිරීමට සමත් වෙයි .
ඒ අපි දන්නා ‘හඳගමයානු සිනමාව’ මිස අන් කවරක්ද?.

– අනුර දයාරත්න (fb)

Leave A Reply

Your email address will not be published.

two × three =