ප්‍රවීණ ගීත රචක ආනන්ද එස්.විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන පසෙකලූ මොහු , කලා කෙතේ බොහොමයක් ඉසව් ජයගත්තෙකි.
වේදිකා , ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ වරයෙක් , චිත්‍රපට සහය අධ්‍යක්ෂ වරයෙක් , වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් ගීත ප්‍රබන්ධකයෙක්, කවියෙක්, ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් මතු නොව ග්‍රන්ථ කතුවරයෙකු ද වන මොහු මානවඩුගේ ආනන්ද සාගර විජයසිරි නොහොත් ආනන්ද එස්. විජේසිරි යි.

1940 මැයි 27 වන දින උපන් ආනන්ද එස් . විජේසිරි කලා කරුවාගේ පියා වූ , එම්.ඩබ්. එන්.එස්. විජයසිරි බෙලිඅත්ත මහතා ද එච්.එම්.වී ග්‍රැමෆෝන් ගීත තැටි සඳහා , සිරි බුද්ධ ගයා විහාරේ, අඩු කලේ සෙලවීම නිසා , බුදු පිළිමේ දඹුලු ලෙනේහී, ශ්‍රි රාහුල හිමිගේ නාමේ වැනි ජනප්‍රිය ගීත ප්‍රබන්ධය කල ප්‍රවීන ගීත රචකයෙකි.
අසූවන වියෙහි පසුවූ ආනන්ද මහතා ,නෙත් අඳ බිසව්, දෙවි ලොව යනකං, බැද්දේ ගෝරනාඩුව, අහසින් යන උං, සෝමා දේවී, ජුලියස් සීසර් , ඔතෙලෝ, නැට්ටුක්කාරයෝ යන වේදිකා නාට්‍ය රචනා කරමින් , අනුවර්තනය කරමින් අධ්‍යක්ෂණය කර ඇත.
සුදු පරවියෝ, මාල ගිරවි, චන්ඩින්ගෙත් චන්ඩියා, පුතුණි මට සමාවෙන්න , වන බඹරා, අංගුලි මාල , අම්මේ ඔබ නිසා යන චිත්‍රපට සඳහා තිරරචකයෙකු, දෙබස් රචකයෙකු ලෙස එක්වූ ඔහු , රංදෙනිගල සිංහයා, හිත හොඳ මිනිහෙක් , පෙම් රජ දහන , සතර පෙර නිමිති, රතු මකරා, කේසර සිංහයෝ, ජෝඩු වළලු , අම්මේ ඔබ නිසා ඇතුලු චිත්‍රපට විශාල ප්‍රමාණයකට ගීත රචනයෙන් දායකව ඇත .
ඔහු විසින් රචිත ගීත අතර , ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගායනා කල ඔබේ නීල දෑසේ රැදී මා සිටින්නම් , මගේ මන මෝහිණියේ, හීං මැණිකේ දැං ඔබ හරි ලස්සන තරුණී, සුජාතා අත්තනායක ගැයු මගේ සරුසාර පිංසාර ජයභූමි ලංකා, ආවා ආවා සඳපායා මොහිදීන් බෙග් ගැයූ බුදු සාදු පියේ ඔබගේ නාමේ , එච්.ආර්. ජෝතිපාලයන් ගැයූ මීදුම් වලා මල් යායෙන් එහා , සාස්තරේ සාස්තරේ කාටදෝ ගීත මෙන්ම අතිශය ජනප්‍රිය වූ වේදිකා නාට්‍ය ගීත වූ, අපි යන්ඩ යමු දෙව් ලෝකේ කරා විගසින් , දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ වැනි ගීත දහස් ගණනක් විවිධ ගායක ගායිකාවන් සඳහා රචනා කර ඇත .
ආදරණිය ආනන්ද සොයුරාණෙනි ඔබට නිවන් සුව අත්වේවා.
ඔහුගෙ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.
ලෙන්ගතු හිතමිතුරාට අපගේ සංවේගය පලකර සිටිමු.

– ඇන්ටන් ජේ ප්‍රනාන්දු (fb)

Leave A Reply

Your email address will not be published.

11 − 10 =