“හඳයා නෙරුඩගෙ චරිතය පූජාසනයෙන් බස්සලා පොලවෙ හිටවනවා” – “මැල්කා කරපු ඉහලම රඟපෑම”

ශාලාව අඳුරු වෙලා තිරය මත දිය බුබුළු නැගෙන හඬත් එක්ක රත් පැහැ සාරියක් දිය යටින් චලනය වෙන්න පටන් ගත්තා. පැබ්ලෝ, කවුරුත් දන්න පැබ්ලෝ නෙරුඩගෙ ජීවන අන්දරයේ කොටසක් හඳයගෙ කැමරාවෙන් යළි ලියවෙන්න අරගෙන. නෙරුඩ වීරයෙක්. වීර කවියෙක්. චිලියෙ ලේ වැකි ඉතිහාසය පසුබිමේ ලියවෙන ස්වර්ණ නාමයක්. හඳයා ඒ රන් අක්ෂර මත දුඹුළු තවරන්න ගන්නවා. අයියන්දේ එක්ක නිතරම කියවෙන නෙරුඩ ගැන වෙන කියවීමක්. මගෙ හිත නිතැතික්ම ඇදිලා ගියේ 2009 වසරෙ මං ලංකා පුවත්පතට ආරම්භ කරපු නෙරුඩගෙ දිවිසැරියෙ සිංහල පරිවර්තනයට. පස්සෙ ලංකා පුවත්පතට ඒ උනන්දුව නැතිවෙනතුරුම මං ඒක පරිවර්තනය කළා. මේ පහත තියෙන්නෙ හඳයා සිනමා පටයට මුල පාදා ගත්ත සටහන් වලින් කොටසක මං එදා කරපු පරිවර්තනය. ජොසී බ්ලීස් සහ වැසිකිළි පිරිසිදු කරන කුලහීන තරුණිය.

‘ සූර්ය කිරණින් දැවෙමින් පැවති එම දවස් මත අඳුරු වලාවක් පතිත කරවූ සිදුවීමක් මේ අතර හට ගත්තේය. කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් දැනුම් දීමකින් තොරව මගේ බුරුම සෙනෙහෙවන්තිය එනම් ප්රකචණ්ඩ ජොසී බ්ලීස් මගේ නිවෙස ඉදිරිපිට කඳවුරු බැඳගත්තාය. ඇය කෙළින්ම මෙහි පැමිණියා දුර පිහිටි ඇගේ දේශයේ සිටය. රැන්ගුන් නුවරින් පිට කිසි දෙසක වී වැවෙන්නේ නැතැයි ඇදහූ ඇය පැමිණ සිටියා සහල් මල්ලක් පිටේ එල්ලාගෙන අපේ ප්රිුයතම පෝල් රොබේසන් තැටි හා අකුලන ලද දිග පැදුරක්ද රැගෙනය. ඉදින් ඇය මුලු කාලයම ඉදිරිපස දොරකඩට වී සිටියා මා හමුවීම පිණිස පැමිණෙන්නන් පිළිබඳව පරීක්ෂාකාරීව හිඳිමින් ඔවුන් මත පැන පරිහාස කළාය. මට දැන් ඇය ඊෂ්යා වෙන් දැවෙමින් මගේ නිවස දවා හළු කරන බවට තර්ජනය කරමින් දුරකථන ඇමතුමක් පිණිස පැමිණි යුරේසියානු කෙල්ලකට පහර දෙමින් සිටිනු දැකිය හැකි වීය.’

2008 අගොස්තු 09 ලංකා පුවත්පත
‘හරියට කළු පැහැ පිළිමයක් මෙන් නිවසේ පිටුපසට පැමිණියා මා එතෙක් ලංකාවේදී දුටු රූමක්ම ස්ත්රිටයයි. ඈ වනාහී නීච කුළ දමිළ එකියකි. ඇය හැඳ සිටියා රතු සහ රන් පැහැ මිශ්ර් ලාබම ලාබ සාරියකි……..
ඇය කෙතරම් මනහර එකියක වීද යත් මට ඇගේ පහත් රැකියාව කුමක් වුවද සිතින් ඇය පලවා හැරීමට නොහැකි වීය.
හරියට විළිබර වන සතකු මෙන් ඇයද අයත්වූවා වෙනස්ම ආකාරයේ පැවැත්මකට වෙනත් ලොවකටය. මා ඇය ඇමතුවද ඉන් පලක් වූයේ නැති. ඉන්පසුව මම ඇය එන අඩිපාරේ ඇයට කිසියම් තෑග්ගක් තැබීමි. එය පළතුරක්, හෝ සිල්ක් රෙදි කැබැල්ලකි. එහෙත් ඇය මගේ හඬට කන් නොදී අර තෑග්ග දෙස නොබලා ඉවත ඇදුණාය. ඇගේ කාළවර්ණ රූමත්බව විසින් මේ නීච දෛනික ක්‍රියාවලිය උපේක්ෂා සහගත රැජිණකගේ යුතුකම්වලින් බැඳි පුද පිලිවෙකත් බවට පත් කරන ලද්දේය.

එක් උදයක මම පෙරමුණ ගැනීමට තීරණය කළෙමි. ඇගේ අතේ මැණික්කටුව ළඟින් තදට අල්ලාගත් මම කෙලින්ම ඇගේ දෑස් වෙත එබී බැලීමි. මට ඇය හා කතා කිරීමට භාෂාවක් තිබුණේ නැති. මද සිනහවක් පවා නොපා ඇය මට තමා කැටුව යාමට ඉඩ හැරියා ඉක්මනින්ම මගේ සයනය මත නග්නව හුන්නාය. ඇයට වූවේ සිහිනිඟකි, පිරුණු නිතඹකි, පුන් පියොවුරුය, ඉදින් මේ සියල්ල එක්වූ කළ ඇය ඉන්දියාවේ වසර දහස් ගනනක් ඉපැරණි පිළිමයක් සදිසි වූවාය. මුළු කාලය පුරාම ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා දෑස් පුළුල්ව විවර කරගත් වනම පසුවූවාය.’

2009 අගොස්තු 16 ලංකා පුවත් පත

ශාලාව හොඳටම සීතලයි. අපි තමයි හොඳටම චූ කළේ කියල චූ දාන්න දුවන්න තදටම ඕනකම තිබ්බත් හඳයගෙ සිනමා පටය එක මොහොතක් අත හරින්න බැරි තරමටම අපූරුයි. ඇත්ත, නෙරුඩගෙ කලු සිත්තමක් තමයි. ඒත් ඒ අපි මගහැර නොයා යුතු තැනක්.
‘ඒකි යක්ෂණියක් නෙවෙයි- ඒකි තමයි යක්ෂණී’ ඔන්න ඒ දෙබස ඇහෙන්න ගන්නවා. නෙරුඩ කාන්තාවන්ට දක්වපු සැලකිල්ල, තමන්ට ලැබුණ ආදරයට පෙරලා දක්වපු නො-සලකිල්ල දිගහැරෙනවා. මට තිස්සකුට්ටිගෙ වම්බටු මෝජුව ආයෙ මතක් වුනා.

නෙරුඩ ලියන්නෙ මද සිනහවක් පවා නොපා ඇය මට තමා කැටුව යාමට ඉඩ හැරියා ඉක්මනින්ම මගේ සයනය මත නග්නව හුන්නාය කියලයි. ඒත් හඳයා තමන්ගෙ පරිකල්පනය හරහා නෙරුඩව ඉක්මවමින් විය හැක්ක ඉදිරිපත් කරනවා. දෙකක් නෑ ඒක දූෂණයක් තමයි. මෙතන අවනතවීම කියන එක අවස්ථාව සහ පුද්ලයා අනුව වෙනස් වෙන්න පුළුවන්. දක්ෂ සිනමා නළුවෙක් යෞවනියක වසඟයට ගැනීමේදී සිය හැකියාව භාවිතා කරන ආකාරය දූෂණ නඩුවකදි සැලකිල්ලට ගැනෙන්නෙ නෑ. ඉහල පොරක් ඉදිරියේ කසලශෝධක ගැහැණියක් කවුද. මන්ත්‍රීල ඉස්සරහ කාන්තාවො ලංකාවෙ කාන්තාවො අපහාසයට ලක්වෙද්දි ඒ අයගෙ නායකයො කටකොනට හිනා නගාගෙන බලා ඉන්නවා.
හඳයා ඒ කාන්තාවට සාධාරණය ඉටු කරනවා. ජොසීටත් එක්කම.
ඒ අතරම හඳයා ලංකාවේ සමාජ ස්ථරායනයෙ පවතින විෂමතා ගැනත් වටින් පිටින් ඇදලා දානවා. විශේෂයෙන්ම දමිල සමාජයේ පහත් යයි සම්මත ජනතාවගේ දිවි තතු ගැන. නෙරුඩගෙ දිවි සටහන් අපූරු පොතක්. හඳයා ඒකෙන් ඉතාම සුළු කොටසක් අරගෙන ඒක විස්තාරණය කරලා නෙරුඩ ගැන කරන මේ කියවීම ඒ වගේම අපූරු සහ වැදගත් කතිකාවක්. සංගීතය විසින් ඊට දෙන ආලෝකය ඉතා විශාලයි. කාන්තාව සහ සමාජය ගැන ඉතාම ආධානග්‍රාහී කියවීම් සහිත රටක හඳයා නෙරුඩගෙ චරිතය පූජාසනයෙන් බස්සලා පොලවෙ හිටවනවා. ඒක නෙරුඩට කරන අසාධාරණයක් නෙවෙයි. ඊට වඩා මනුෂත්වය ගැන කරන මැදිහත්වීමක්. නෙරුඩ ආදරය කිවුවෙ ආදරයටද, නෙරුඩට අඳුන් දිවි දෙනක් වුන කාන්තාව නෙරුඩගෙ ජීවිතයට ආලෝකයක් නොගෙනාවා කියල කියන්න පුළුවන්ද. ප්‍රශ්ණ  තියෙයි. නෙරුඩත් ඉඳියි. ඒත් කවියෙකුගේ ජීවිතය ගැන ඉස්සර කියවලු විදිහ වෙනස් කරල බලන්නත් හිතෙයි. මේක හඳයගෙ පරිකල්පනය විතරයි කියල අහක දාන්න පුළුවන්ද? මං හිතන්නෙ ඒකට හරහට ඉන්නෙම නෙරුඩගෙ ජීවන සටහන්මයි. නෙරුඩ වචන අස්සෙ හංගන දේ හඳයා සිනමාත්මකව එළියට අදිනවා.

සිනමා පටයෙ සියල්ලගේම රඟපෑම් අමතක කරන්න බෑ තමයි. එත් මට නම් හිතුනෙම නෙරුඩගෙ චරිතයත් බිඳගෙන රත්නයියා ඉස්සරහට කඩා පනිනවා කියලමයි. මේ තමයි මැල්කා මෙච්චර කාලෙකට කරපු ඉහලම රඟපෑම. මේක හඳයගෙ වගේම මැල්කගෙත් සිනමා පටය. සුබ පැතුම්.

ආ, තව එකක්, ලංකාවෙ කාලව ඇතුලෙ අපි දිගින් දිගටම අසාර්ථක වෙච්ච තැනක් තියෙනවා. ඒ තමයි අපේ වර්තමාන ඛේදචාචකය ප්‍රතිනිර්මාණය කිරීම. අපි කරන හැම නිර්මාණයකටම වඩා ඛේදවාචකය තියෙන්නෙ ගවු ගානක් ඉස්සරහින්. හඳය ඒ ගැනත් ඉස්සරහදි කල්පනා කරනකම් අපි බලාගෙන ඉන්නවා.

– චුලානන්ද සමරනායක 

Leave A Reply

Your email address will not be published.

three × 1 =