ප්‍රේක්ෂකයන් ළිං මැඬියන් ගාණට පත් කරලා තියෙන්නේ

කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ

තීක්ෂණ ශ්‍රී විජේසිංහ

තීක්ෂණ ශ්‍රී විජේසිංහ දැනට කෙටි චිත්‍රපටකරුවෙකි. කැමරා ඇසින් ලෝකය වෙනස් සහ වෙනත් ලෙසකින් දකින්නට ප්‍රයත්න දරන්නෙකි. ඒ අතරතුර තවත් සාහිත්‍යය, කලා අවකාශ තුළ සැරිසරන්නෙකි. ඒ සමඟ ගැටෙන්නෙකි.

මේ තුරුණු මිනිසා සමඟ අප කළ සංවාදයක සංක්ෂිප්තය මතු දැක්වෙයි:

තීක්ෂණ ශ්‍රී විජේසිංහට සිනමාව ගැන මුලින්ම ඇල්මක් ඇති වුණේ කොයි කාලෙ, කොහොමද?

නොදැනුවත්ව හැකියාවක් තිබුණා සිදුවීමක් රූපමය වශයෙන් විස්තර කරන්න. ඉතින් බොහෝ වෙලාවට අනිත් අයගෙ කතා තවත් පිරිසකට කියන්න භාර වෙන්නෙත් මට. වටකරගෙන කතා කිව්වා. එතැනින් එහාට ලියන්න පෙළැඹෙනවා. ඒ ලියන කතාවල ශානරයත් බොහෝ විට රූපාක්ෂර හැඩයකින් යුක්ත වුණා. හැබැයි, ඒ කිසි දෙයක් සිනමාව කියලා දැනගෙන හිටියේ නෑ. දවසක්, එහෙම ලියපු කතාවක් කොහොම ද රූපයක් කරන්නේ කියලා උත්සාහ කරන්න නිශාන්ත ෆර්නෑන්ඩු සමඟ එක් වෙලා ‘‍කම්මා’‍ නමින් පළමු කෙටි චිත්‍රපටය නිර්මාණය කරනවා. වැඬේ තිබුණේ ඔළුව ඇතුළේ විතරයි. ස්ක්‍රිප්ට් එකක්වත් නෑ. එවකට අපි මේ විෂයය සම්බන්ධව ඒ තරමට නොදැනුම්වත්. කළොත් වැරදෙයි කියලා උඩ බලන් ඉන්නවට වඩා කරලා වැරදුණ දෙන් කියලා අනතුරුව මම කෙටි චිත්‍රපට හතරක් නිර්මාණය කළා. එකකින් අවම වශයෙන් එක බැගින්වත් පැවැති තත්ත්වයට වඩා යම්කිසි දෙයක් ඉගෙන ගත්තා. අපි කිසිම කෙනකුට සදාකාලිකව බෑ කියලා දෙයක් නෑ. තියෙන්නෙ මේ මොහොතේ බෑ කියලා දෙයක් විතරයි.. එක්ස්පීරියන්ස් තමයි වඩා වැදගත්..

■  මෑතකදී ඔබේ කෙටි චිත්‍රපටයක් ගැන යම්කිසි කතාබහක් ගොඩනැඟුණා. අපට කියන්න ඒ ගැන යමක් ?

ඔව්. ‘යුනිසෙෆ්’ සංවිධානය විසින් ‘ඡකමර්ක ඡකමි’‍ නමින් තරුණ සිනමාකරුවන් වෙනුවෙන් කෙටි චිත්‍රපට තරගාවලියක් පැවැත්වූවා. එම තරගය සඳහා ‘ඔයැ ක්‍කදජන ඔසජනි ්ට්සබ’ නමින් විනාඩි පහක කෙටි චිත්‍රපටයක් මා විසින් ඉදිරිපත් කළා. ඒ මගේ පස්වැනි කෙටි චිත්‍රපටය. එම නිර්මාණය ඔස්සේ මට පුළුවන් වුණා අවසාන තරග වටය සඳහා එක් වෙන්න. මම හිතනවා, ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් තරගකරුවන් 1,300කට අධික පිරිසක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසාන හැත්තෑ දෙනා අතරට පැමිණීමට ලැබීම මේ මොහොතේ මා ලබාගත්ත විශාල ජයග්‍රහණයක් කියලා. එමඟින් ලැබුණු ආත්ම තෘප්තිය ඉතාමත් වැදගත්. ඒ වගේම එම තරගය සම්බන්ධ තොරතුර ලබා දුන් යුරේකා සෝමවංශ සහෝදරියවත්, නිර්මාණය සඳහා සහාය වුණු සියලු‍ දෙනාවත් මේ මොහොතේ ආදරයෙන් මතක් කරන්න ඕනෙ.

■  කැමරාවෙන් දකින ලෝකය ගැන ඔබ තෘප්තිමත්ද?

මේ ලෝකයේ තෘප්තිමත් දේවල් හොයන්න අමාරුයි. කොයි මොහොතේ අපි මොන දේ නිසා තෘප්තිමත් වුණත් ඊ ළඟ මොහොතේ අපි තව දෙයක් වෙනුවෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒක මිනිස් ස්වභාවය. හැබැයි, අපිට පුළුවන් වෙන්න ඕනෙ අපි කරන දේ සම්බන්ධව ඒ මොහොතට අවංක වෙන්න සහ ඒ තුළින් තෘප්තිමත් වෙන්න. අතෘප්තිමත්ව කරන කිසිම දෙයක් ඇතුළේ සාර්ථක ප්‍රතිඵලයක් දකින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා මම කරන දේ සම්බන්ධව ඉතාමත් තෘප්තිමත්. අතෘප්තියක් දැනෙන හැම වෙලාවකම අපිට පුළුවන් වෙන්න ඕනෙ ඒ තුළ තෘප්තිමත් බවක් නිර්මාණය කර ගන්න.

■  කාලයක් කවි ලිව්වා. දැන් කවිය නතර කරලද?

මම තාමත් කවි ලියනවා. වෙනසකට තියෙන්නෙ ඒවා සමාජ ජාලා ඔස්සේ පළ කිරීම සීමා කරලයි තියෙන්නෙ. ඒකට හේතුව මේකයි, හැඟීම් ප්‍රකාශ කරන යම්කිසි ආකෘතියක් මම නිර්මාණය කරගෙන තිබුණත්, ඒක ‘කවිය’‍ කියන විෂයයට ගොඩක් ඈතයි. සමාජ ජාලා ඔස්සේ අපිට ඉතා දක්ෂ කවීන් හමු වෙනවා. අපිට නිතර අතපත නොගෑවෙන දේ ගැන ඔවුන් ඉතාමත් අලංකාරව ලියනවා. ඉතින්, මම ඔවුන්වත්, පොත පතත් මේ කාලයේ තව දුරටත් හදාරනවා. කොපි පොතක මම අදටත් කවි ලියනවා. ඒ අතර ඉඳහිට එකක් සමාජගත කරනවා. කවියට වඩා මම සමීප කතාවට. රූපාක්ෂර සහිත කතා නිර්මාණයට. ඉතින් මම ඒවා නිතරම වගේ පළ කරනවා. මම හිතනවා, කවිය හදාරන අතරේ කතා නිර්මාණය වෙනුවෙන් වැඩි කැප කිරීමකට යොමු වීම මට වඩා සුදුසුයි කියලා.

■  තරුණයෙක් විදියට රටේ මේ මොහොත දකින්නෙ කොහොමද?

සියල්ල වාණිජකරණයට ලක් වෙලා තියෙන්නෙ. බොහෝ නිර්මාණකරුවන් පෙළැඹෙන්නෙ බහුතරය මෙතෙක් කල් පුරුදු වෙලා ඉන්න දේ ම යළි යළිත් කරන්න. මිනිස්සු කැමැතියි නව ආරකට යන්න. නමුත්, ලැබෙන ප්‍රතිලාභ ගැන තියෙන සැකය නිසා නිර්මාණකරුවන් බයයි නව ආරක් අත්හදා බැලීමේ රිස්ක් එක ගන්න. ඔන්න ඔහේ ඕක ම කරමු කියලා නිර්මාණකරුවන් ළිං මැඬියන් ගාණට ප්‍රේක්ෂකයා පත් කරලා තියෙන්නෙ. වෙනස් නිර්මාණ නැතුව නෙවෙයි, ඒවා පෙන්නන්නෙ කොතැන ද? ෆෙස්ටිවල්වලට යන සිනමා නිර්මාණ චිත්‍රපට ශාලාවට එනකොට තව වසර ගණනාවක් ගත වෙනවා. අපේ මව්පියන් බේස් වුණු ක්‍රවුඞ් එක විතරක් නෙවෙයි, මම නියෝජනය කරන පරම්පරාවෙත් බොහෝ අයට ඒ නිර්මාණ මඟහැරිලා තියෙනවා. මොනව ද ෆෙස්ටිවල් කියන්නෙ කියලා ඔවුන් අපෙන් අහනවා. ඉතාම කනගාටුදායකයි. පුළුවන් නම් ෆෙස්ටිවල්වලින් එළියට ඒ නිර්මාණ ගේන්න, මම හිතනවා ප්‍රේක්ෂකයා තුළ ලංකාවේ කලාව සම්බන්ධව තියෙන අවිනිශ්චිත බව පිළිබඳ හැඟීම වෙනුවට  සුභවාදී ආකල්පයක් ඇති කිරීමට එමඟින් පුළුවන් වෙයි කියලා.

■  සමාජ – දේශපාලන ජීවිතය ගැන මොකද හිතෙන්නෙ ?

පොදුවේ කලාව ගත්තාම ඒකට දේශපාලනයේ මැදිහත් වීම මේ මොහොතේ ඉතාම අනවශ්‍ය මට්ටමක තියෙන්නෙ. නිර්මාණකරුවෙක් කියන්නෙ අඹන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. උදාහරණයක් විදිහට පොදුවේ මලක් අඳින්න කිව්වොත්, ඒ මල මොන පාට ද කියන එක තීරණය වෙන්නෙ ඒ නිර්මාණකරුවා අනුව. රතු පාට ගාපු කෙනාට කියන්න බෑ කහ පාට ගාන එක වැරදියි කියලා. මේ මොහොතේ දේශපාලනයේ මැදිහත් වීම ඒ වගේ. ඔවුන්ට අවශ්‍ය දේ පමණක් නිර්මාණ තුළින් බලාපොරොත්තු වෙනවා. රටේ මේ මොහොතේ තත්ත්වය අපි හොඳාකාරවම දන්නවා, හැබැයි එය නිර්මාණයකින් එළියට ආවම “බුදු අම්මෝ” කියනවා. ඒ අය හිතනවා මිනිස්සු නොමඟ යන්නෙ ඒ නිර්මාණය නිසා කියලා. ප්‍රේක්ෂකයාට පුළුවන් එය හුදෙක් ‘නිර්මාණයක් පමණයි’ යන්න තේරුම් ගන්න. නමුත්, දේශපාලනයට අපහසුයි. ඒකයි, අශෝක හඳගම මහතාගේ ‘අක්ෂරය’‍ වගේ චිත්‍රපට තහනම් වෙන්නෙ. මම හිතන්නෙ නිර්මාණකරුවකුට නිර්මාණයේ නිදහස දෙන්න ඕනෙ. දේශපාලනය ඒ සඳහා මැදිහත් නොවී ඉන්න ඕනෙ. සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර ඓක්‍යය අංශක 180යි වගේ නියැදියක් නිර්මාණකරණයට ගේන්න බෑ.

■  ඔබේ පරම්පරාව ගැන ඔබට තියෙන්නෙ මොන වගේ තක්සේරුවක්ද?

විවිධ අත්හදා බැලීම්වල නිරත වෙන ක්‍රියාශීලී පිරිසක්. මම නියෝජනය කරන පරම්පරාවට අධි බලැති එන්ජිමක් වෙලා තියෙනවා මේ මොහොතේ සමාජ ජාලාවල තියෙන සක්‍රිය බව. හැබැයි, එය නිසි ආකාරව හැසිරවීම තමන් සතු පුද්ගලානුබද්ධ කාරණාවක්. ‘කොයි කොක්කු ගොඩෙත් කාක්කෝ නොහිටියොත් අඩුවක්’. උඩින් අහු වෙන දේ අත පත ගාන, මතයක් ඉවසන්න බැරි පිරිසක් අපි අතරෙම ඉන්නවා. තමන් තුළ හැදෑරීමකින්, ඉවසීමකින් තොරව කෙටි මාර්ගයකින් ඔවුන් අහසේ තරු අල්ලන්න දඟලනවා. ආප්ප දමනවා තරම් වේගයෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ඔවුන් ගැන මට පැහැදිලි නිර්වචනයක් නැහැ.

ඉදිරියට වෙන්න නියමිත මොනවාද?

මෙතෙක් අතපත නොගෑවුණු කොටස් ටික සොයා ගැනීම සඳහා හෙමින් සීරුවේ කාලය වෙන් කිරීම. ඊට අමතරව මම දැනට ශ්‍රී ලංකා සිනමා පාසලේ අධ්‍යාපනය හදාරනවා. පොකුණ යම් තාක් දුරට මම අඳුනනවා. ගිහින් පිපාසය නිවා ගන්න එක මගේ වැඩක්. ඒ අතර තියෙන බාධක ඉවත් කරගෙන මාර්ගය පැහැදිලි කර ගැනීම සඳහා සිනමා පාසල බෙහෙවින් පිටිවහලක්. ඉතින් ඉදිරියටත් කෙටි චිත්‍රපට නිර්මාණය කරනවා. අවසාන වශයෙන් තව දෙයක් කියන්න ඕනෙ. බොහෝ අය කෙටි චිත්‍රපට නිර්මාණය කරන්න දැඩි කැමැත්තෙන් ඉන්නවා. මම කැමතියි මේ වැඬේට ඒ පිරිසත් එකතු වෙනවා නම්. මේ මොහොතේ මම දන්න ප්‍රමාණය ඉතාම සීමිතයි. නමුත්, ඒ සීමිත ප්‍රමාණයෙන් මම සූදානම් අවශ්‍ය කෙනකුට ඕනෑම වෙලාවක උදවු කරන්න. වැඩ දන්න පිරිසක් නිර්මාණය වෙන්න නම් වැඩ කරන පිරිසක් නිර්මාණය වෙලා ඉන්න ඕනෙ. ඒක මම තරයේ විශ්වාස කරන කාරණාවක්.

■  සංවාද සටහන

    කසුන් සමරතුංග

Leave A Reply

Your email address will not be published.

sixteen + 2 =