ඉම්රාන් ඛාන් ගේ හොඳ ගැනත් කියන්න එපැයි

ශ්‍රී ලාංකිකයාගේ ජීවිතය බේරා ගන්නට උත්සහ කළ පකිස්තානු ජාතිකයාට උපහාර
ලංකාවෙ මොබ් කල්ලි ගැනත් කතා කරමු
පසුගියදා ඇති වූ සිද්ධියෙන් ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල් කළමනාකරුවකු වූ ප්‍රියන්ත කුමාර දියවනඩන මහතා ඔහු වැඩ කළ සේවා ස්ථානයේ ම පිරිසක් විසින් පහර දී මරා දමන්නට උත්සහ කරද්දී ඔහුගේ ජීවිතය බේරා ගන්නට උත්සහ කළ පකිස්ථානු ජාතිකයාට: මලික් අද්නාන්ට උපහාර පුදන බව පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබෙනවා. එය ඉහලින්ම අගය කළ යුත්තක්. එහි කිසිදු ප්‍රශ්නයක් නෑ.
ඒත් මේ සිද්ධිය ආශ්‍රයෙන් විවිධ කෝණයෙන් මේ ගැටලුව පිළිබඳ ගොඩ නැගී ඇති සංවාදය ඉදිරියට ගෙන යාමත් වැදගත්.
මේ වගේ මොබ් කල්ලි ඇත්තෙ පකිස්ථානයේ පමණක් නොවෙයි. ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ හැම රටකම තියෙනවා. අයුතු ලෙස ඒක රාශී වෙලා මහ පාරේ යුක්තිය පසිඳ ලීමට යාම පිළිබඳ සාහසික සිද්ධි 1983 කලු ජූලියේ ඉඳන් ඉඳන් අද දක්වා පෙළ ගස්වන්නට ‍පුළුවන්. බොහෝ ඒවා වාර්ගික පදනම මත දෙමළ, මුස්ලිම් ආදී සුළුතරයට එල්ල වුණු ඒවා. ඊළඟට මහ මග අනතුරක් වුණොත්, ස්ත්‍රී දූෂකයෙක් හෝ වෙනත් සමාජ විරෝධී ක්‍රියා වල නියැලෙන සැකකරුවෙක් අහුවුණොත් මේ මොබ් කල්ලි වල නරුම ස්වරූපය දැක ගන්න පුළුවන්. ඒ ගැන මම පුද්ගලිකව දැකපු එකක් තියෙනවා. ඒක පස්සෙ දාන්නම්.

ඊළඟට පකිස්ථානයේ තරම් දරුණු නැතත් ආගමික අපහාස නීතිය කිසියම් ආකාරයකින් ලංකාවෙත් තියෙනවා. පසු ගිය කාලයේ සිංහල සහ මුස්ලිම් ලේඛකයින් තමන් ලියූ දෑ නිසා සිරගත වන්නට සිදු වුණේ ඒ නිසා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආගම් පිළිබඳ ඇතිවන මත ප්‍රකාශන වලදී සහ විවේචන වලදි ඒවාට හිංසනයෙන් පිළිතුරු නොදී සාමකාමී සංවාද වලින් ඒවා බේරා ගන්නේ කෙසේ ද, ඒවා ඉවසා සිටින්නේ කෙසේද යන්න ගැන සමාජයට ඉතා හොඳ පුහුණුවක් සහ ශික්ෂණයක් ලබා දිය යුතුයි. එය පටන් ගත හැක්කේ පාසල් අධ්‍යාපනයෙන්ම තමයි. එ් සඳහා සෑම ආගමකම පූජකයින්ටත් ලෞකික නීතිය, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාද සහ පුරවැසි අධ්‍යාපනය වැනි විශයන් ගැන අධ්‍යාපනය ලබා දිය යුතුයි. ලංකාවේ මා දන්නා අන්දමට ක්‍රිස්තියානි ආගමික පූජකවරුන්ට නම් පූජකවරය ලබන්නට පෙරත් පූජකවරය ඉන්න කාලය තුළත් මේ දැනුම ලැබෙනවා. දන්න අය ලියන්න.

ඉම්රාන් ඛාන් ගැන කියනවා නම් ඉම්රාන් ඛාන් මුල දි පකිස්ථානයේ පවතින ඔය ආගමට අපහාස කිරීමේ නීතිය වගේ ඒවට විරුද්ධ වුණත් ඡන්දයට යද්දි ඒ රටේ ඉන්න ආගමික පූජකයින්ට යට වෙලා ඒ නීතිය ආරක්ෂා කරන බව කියලා තමයි බලයට ආවේ. ලංකාවෙත් අඩු වැඩි වශයෙන් ඕකම තමයි. දේශපාලනයට එන්න ආගම භාවිතා කරන එක අප වගේ රටවල සුලබ ලක්ෂණයක්.

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ හේතුව සහ එලය අතර තියෙන සහ සම්බන්ධය තේරුම් ගැනීමයි නූතන දේශපාලනයේ දී හරිම වැදගත්. මේ සිද්ධියේ වරදකරුවන් අත් අඩංගුවට ගනිමින් යන බව පකිස්ථානය පැත්තෙන් පේන්න තියෙනවා. ඔවුන්ට චෝදනා ගොණු කොට දඬුවම් ද ලබා දෙනු ඇති. ඒත් ප්‍රශ්නයට දීර්ඝ කාලීන නියම විසඳුම ඒක නෙමෙයි. ආගම සහ රාජ්‍ය පාලනය එකට ගැට ගැසී තියෙන කන් මේ වගේ ප්‍රශ්න නැවත නැවත ඇතිවේවී. මේ සිද්ධිය ඒ කියන්නෙ ආගමට අපහාස කළා කියලා මොබ් කල්ලියකින් දඬුවම් විඳපු පළමු කෙනාත් ප්‍රියන්ත කුමාර දියවනඩන නෙමෙයි.

එහිදී බහුතර ජනවර්ගය සුළුතරයට එරෙහිව නීතිය අතට ගැනීමත්, හිංසාකාරී ක්‍රියා වල නියැලීමත්, බොහෝ විට දඬුවම් නොලබා සිටීමත් සිදුවිය හැකියි. ලංකාවේ පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ හිංසාකාරී සිදුවීම් සිහියට නගා ගන්න.

– අතුල දිසානායක (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

15 − three =