හමුදාවට පොලිස් බලතල පැවරීම : මිලිටරි දෘෂ්ටිවාදයේ දිගුවක්

සංවේදී සිවිල් ගැටුම් හා සංසිද්ධීන් නිරාකරණයට හමුදාව කොතරම් අනුචිත ද යන්න සනාථ කරන දේශීය නිදසුනක් අවශ්‍ය නම්, යමකුට කුප්‍රකට රතුපස්වල සිදුවීම සිහියට නඟා ගැනීමට පුළුවන. එතරම් අතීතයට යාමට අකමැති නම්, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු හදිසි නීතිය පනවා තිබූ යුගයේ තම අසනීප වූ දරුවා රැගෙන යාමට ගාල්ල ප්‍රදේශයේ පාසලකට පැමිණි කලබලයෙන් සිටි පියකුට මුරට සිටි සෙබළෙක් වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය මතකයට නඟා ගැනීමට පුළු‍වන.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 22 වන දා නිකුත් කළ අංක 2150/77 දරන ගැසට් පත්‍රය මඟින් ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යාමේ කටයුත්ත සඳහා සන්නද්ධ හමුදා සේවයට කැඳවා තිබේ. මෙම නියමය ලංකාවේ සියලු‍ ම දිස්ත්‍රික්කවලට අදාළ වන ලෙස පනවා ඇත. සිවිල් ආයතනයක් ලෙස සැලැකෙන පොලිසියේ රාජකාරි ඉටු කිරීමට මෙලෙස හමුදාව කැඳවීම මේ වන විට සමාජය තුළ යම් කතාබහක් නිර්මාණය කොට ඇත. මෙම ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන අය හමුදාව දෛනික මහජන සාමය ආරක්ෂා කිරීමේ කර්තව්‍යය සඳහා යෙදවීම හොඳ දෙයක් ලෙස දකින අතර, ගෝඨාභය රාජපක්ෂ විසින් ඉතිහාසයේ පෙන්නුම් කොට තිබෙන අධිකාරිවාදී ගතිලක්ෂණ ගැන බිය සැක පළ කරන පිරිස් මෙය අත්තනෝමතික රාජ්‍යයක් දක්වා වූ ගමනක නිමිත්තක් ලෙස හෙළා දකිනු දක්නට ලැබේ.

ගැසට් පත්‍රයේ පසුබිම

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව යෙදවීමේ මෑතකාලීන ඉතිහාසය 2019 පෙබරවාරි මස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවීම දක්වා දිව යයි. එම ප්‍රහාරයෙන් ඉක්බිති රජය රට තුළ හදිසි නීතිය පැනවීය. මාස හතරක් පුරාවට හදිසි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 අගෝස්තු මාසයේ දී එය ඉවත් කිරීමට තීරණය කළේ ය. හදිසි නීතිය ඉවත් කරන විට පාස්කු ප්‍රහාරය සඳහා වගකිව යුතු යැයි සැලකෙන ‘ජාතික තව්හිද් ජමාත්’ සංවිධානයේ කටයුතු සැලකිය යුතු ලෙසකින් මර්දනය කොට තිබුණු අතර, ඊට සම්බන්ධ යැයි සැකපිට සිය ගණනක් පිරිස් අත්අඩංගුවට පත් වී තිබිණි. කෙසේ වුව ද, හදිසි නීතිය ඉවත් කිරීමට සමගාමීව ජනාධිපති සිරිසේන මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිට පැවරී තිබෙන බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාමේ කටයුත්ත සඳහා හමුදාව කැඳවීමට තීරණය කළේ ය. ඒ අනුව ගත් කල ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කොට තිබෙන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ තීරණය යාවත්කාලීන කොට පවත්වා ගැනීමකි.

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව යෙදවීමේ මෙම බලය ජනාධිපතිවරයාට ලැබි තිබෙන්නේ 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තිය අනුව ය. එම වගන්තිය දක්වන්නේ, යම් ප්‍රදේශයක මහජන ආරක්ෂාව තර්ජනයට ලක් වී තිබෙන බවට හෝ එලෙස තර්ජනයට ලක් වීමේ අත්‍යාසන්න අවදානමක් තිබෙන බවට ජනාධිපතිවරයා කල්පනා කරන්නේ නම් සහ එබඳු තත්ත්වයක් පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොවන්නේ නම්, එබඳු අවස්ථාවක හමුදාව කැඳවීමට ජනාධිපතිට බලය ඇති බවයි. මෙලෙස කැඳවනු ලබන හමුදා සොල්දාදුවන්ට පොලිසිය සතු බලතල හිමි වේ. ඒ අනුව සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ බලය හමුදාවට පැවරේ. මේ අනුව බලන විට පෙනී යන්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ මෙම වගන්තිය හමුදාවල බලය සැලකිය යුතු ලෙස පුළුල් කරන්නක් වන බවයි. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල හමුදාව සහ සිවිල් කටයුතු අතර දැඩි වෙන් කිරීමක් පවතී. ඒ අනුව හමුදාවේ කාර්යය වන්නේ යුද්ධමය කටයුතුවල නියුක්ත වීම ය. සාමකාමී කාලවල හමුදාව බැරැක්කවල පසු වන අතර, නීතිය හා සාමය ආරක්ෂා කිරීම සැලකෙන්නේ සිවිල් කටයුත්තක් ලෙස ය. එම සිවිල් කටයුත්ත ඉටු කරනු ලබන්නේ පොලිසිය විසිනි. අපරාධ මැඬීම හා ප්‍රජාවේ යහපැවැත්ම ආරක්ෂා කිරීම මිලිටරි ආයතනයක් නොවන පොලිසිය සතු රාජකාරියකි.

සිවිල් කටයුතුවලින් හමුදාව මෙලෙස වෙන් කොට තබන්නේ ඇයි ? පළමුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල මූලධර්මයක් වන සිවිල් පාලනයට හමුදාව යටත් විය යුතු බවට වන සංකල්පය විසින් මෙබඳු වෙන් කිරීමක් ඉල්ලා සිටිනු ලැබේ. හමුදාවල භූමිකාව කවරක් විය යුතු ද යන්න නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ බිහි වූ මුල් යුගයේ සිටම බෙහෙවින් වාද විවාදයට පාත්‍ර වූ මාතෘකාවකි. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව සම්පාදනය කළ ඇතැම් පුරෝගාමීහු අවම වශයෙන් ස්ථිර හමුදාවක් පවත්වා ගැනීමට පවා විරුද්ධ වූහ. හමුදාවක් පවත්වා ගැනීම යනු සමාජයෙන් යම් පිරිසක් තෝරාගෙන, ඔවුන්ට සන්නද්ධ පුහුණුවක් ලබා දී, ආයුධ සන්නද්ධ බලමුළු‍වක් ලෙස ඔවුන් නඩත්තු කිරීමකි. පොදු සමාජයට නැති අතිමහත් බලයක් සහිත එබඳු ආයතනයකට සමාජයේ සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට පටහැනි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ යැයි කල්පනා කළ නිසා ය එලෙස ඇතැමුන් හමුදාවක් පවත්වා ගැනීමට විරුද්ධ වූයේ. මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය වැනි රටවල අවසානයේ ඇති වූ පොදු එකඟතාව වූයේ හමුදාවක් පැවැතිය හැකි නමුත්, ඊට සිවිල් කටයුතුවලට මැදිහත් වීමට කිසිදු ඉඩක් නොතිබිය යුතු බවයි.

දෙවනුව, හමුදාව යනු මූලික වශයෙන් නිශ්චිත කාර්යයකට – එනම් යුද්ධ කිරීම සඳහා – පුරුදු පුහුණු කළ අයගෙන් යුක්ත සංස්ථාවකි. සොල්දාදුවන් පුහුණු කොට තිබෙන්නේ යුද්ධ භූමියේ ‘සතුරන්’ සමඟ ගනුදෙනු කිරීමට මිස සිවිල් වැසියන් සමඟ ගනුදෙනු කිරීමට නොවේ. ‘අවම බලය’ පිළිබඳ අදහස සංග්‍රාම භූමියට නුහුරු ය.  යුද බිමේ සතුරන් සමඟ ගනුදෙනු කරන විට අවශ්‍ය වන එදිරිවාදී මනෝභාවය පොදු සමාජයේ ගැහැනුන් හා මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමේ දී නොගැළපෙන්නකි. සිවිල් කටයුතු හා ගැටුම් පාලනයට හමුදාව යෙද වූ බොහෝ අවස්ථාවල බලය අසමානුපාතික ලෙස හා අධිකතර ලෙස පාවිච්චි කිරීම නිසා ඇති වූ විනාශයන් සම්බන්ධයෙන් වුවමනා තරම් උදාහරණ ලෝක ඉතිහාසයේ දී වගේ ම සමකාලීනව ද දක්නට පුළුවන. මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්නා අය ලෙස සැක කෙරෙන අය නඩු නැතිව මරා දැමෙන පිලිපීනයේ ඊනියා ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ’ සිට ‘අපරාධ මර්දනය’ සඳහා හමුදාව යෙද වූ දකුණු අප්‍රිකාවේ සිදු වූ අසමානුපාතික සිවිල් ජීවිත විනාශ වීම් දක්වා ඕනෑ තරම් උදාහරණ මේ සම්බන්ධව පවතී. සංවේදී සිවිල් ගැටුම් හා සංසිද්ධීන් නිරාකරණයට හමුදාව කොතරම් අනුචිත ද යන්න සනාථ කරන දේශීය නිදසුනක් අවශ්‍ය නම්, යමකුට කුප්‍රකට රතුපස්වල සිදුවීම සිහියට නඟා ගැනීමට පුළුවන. එතරම් අතීතයට යාමට අකමැති නම්, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු හදිසි නීතිය පනවා තිබූ යුගයේ තම අසනීප වූ දරුවා රැගෙන යාමට ගාල්ල ප්‍රදේශයේ පාසලකට පැමිණි කලබලයෙන් සිටි පියකුට මුරට සිටි සෙබළෙක් වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය මතකයට නඟා ගැනීමට පුළු‍වන.

නොපවතින හදිසි තත්ත්වය ?

පොලිස් කටයුතු හමුදාවට පැවරීමට අවසර දෙන මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධානය පොදු සමාජය සහ හමුදාව වෙන් කොට තැබිය යුතු බවට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පවතින ශික්ෂාව බොඳ කර දමන්නකි. මෙබඳු ප්‍රතිපාදනයක් යම් නීතියක පැවැතීම එනයින්ම ගත් කල ප්‍රශ්නසහගත ය. කෙසේ වුව ද, එම ප්‍රතිපාදනය පවා පනත අනුව ක්‍රියාත්මක කළ හැකි වන්නේ යම් නිශ්චිත සන්දර්භයක දී ය. පනත දක්වන විදියට මෙම ප්‍රතිපාදනය ක්‍රියාත්මක කිරීමට නම්, කරුණු දෙකක් සම්පූර්ණ වී තිබිය යුතු ය. එනම්, යම් ප්‍රදේශයක මහජන සාමය තර්ජනයට ලක් වී තිබීම හා එම තත්ත්වය පාලනය කර ගැනීමට පොලිසිය ප්‍රමාණවත් නොවීම යන අවශ්‍යතා මතු වී තිබිය යුතු ය. ඒ අනුව මෙම බලය ඕනෑ ම අවස්ථාවක භාවිත කළ හැකි සාමාන්‍ය ම බලතලයක් නොව විශේෂ අවස්ථාවල එනම්, ඉහත කී කොන්දේසිවලින් යුක්ත ව්‍යාතිරේකී අවස්ථාවල පමණක් යොදා ගත හැකි සුවිශේෂී ස්වභාවයේ බලයක් බව මතක තබා ගැනීම වැදගත් ය.

මෛත්‍රීපාල සිරිසේනගේ ගැසට් පත්‍රය යාවත්කාලීන කිරීමට නව ජනාධිපති ගත් තීන්දුවේ තිබෙන ප්‍රශ්නසහගතභාවය පෙනී යන්නේ යට කී සියලු‍ කරුණුවල පසුබිම තුළ තබා එය විග්‍රහ කිරීමේ දී ය. මෙහි දී මතු කළ යුතු මූලික ප්‍රශ්නය මෙයයි; ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහ පුරාවට ම මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාව කැඳවීමට තරම් හදිසි තත්ත්වයක් රට තුළ ඇති වී තිබේ ද? එබඳු හදිසි තත්ත්වයක් මේ වන විට රටේ නොමැති බව සිහිබුද්ධිය තිබෙන ඕනෑ ම සාධාරණ මනුෂ්‍යයකුට පෙනී යන කරුණකි. වෙනෙකක් තබා, සිරිසේන ජනාධිපතිවරයා පළමුවරට මෙම ගැසට් පත්‍රය අගෝස්තු මාසයේ දී නිකුත් කළ අවස්ථාවේ ‘සාමකාමී කාලවල්වල’ හමුදාව කැඳවීම අනුචිත බව ප්‍රකාශ කළේ අන් කවරෙක් හෝ නොව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස්ම ය. අගෝස්තුවල නොතිබුණු අමුතු හදිසි තත්ත්වයක් මේ වන විට ඇති වී තිබේ ද? විශේෂ හදිසි තත්ත්වයක් නොමැති අවස්ථාවක මෙලෙස හමුදාව පොලිස් කටයුතු සඳහා යෙදවීම මහජන ආරක්ෂක ආඥා පනත අනුව බැලුව ද බලය අයුතු ලෙස පාවිච්චි කිරීමකි.

මේ මොහොතේ ලංකාවේ මහජන සාමයට අනර්ථකාරී දේවල් ප්‍රධාන වශයෙන් පවතින්නේ අපරාධ කටයුතු ආදී සිදුවීම් ය. ඊට අමතරව යමකුට අවශ්‍ය නම්, යම් යම් ප්‍රශ්න නිසා ඇති විය හැකි විවිධ ජන කැළඹීම්, මහජන සාමය බිඳ දමන සිදුවීම් ලෙස සැලකිය හැකි ය. මා ඉහත විස්තර කළ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල සම්මතය වන්නේ සිවිල් පර්යාය තුළ ඇති වන මෙබඳු ගැටලු‍කාරී තත්ත්වයන් සිවිල් ක්‍රමවේද තුළින් විසඳා ගැනීම ය. ඒ සඳහා හමුදාව යෙදවීම අනුචිත බව ශිෂ්ටසම්පන්න සමාජවල පිළිගැනීමයි. ඊට පටහැනිව කටයුතු කිරීම හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන  මූලධර්මයක් උල්ලංඝනය කිරීම පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රශ්නයක් නොව සිවිල් කටයුතුවලට හමුදාව අත දැමීම නිසා පුරවැසියන්ට සිදු විය හැකි; ඔවුන්ගේ නිදහසට, මූලික අයිතිවාසිකම්වලට සිදු විය හැකි අන්තරායකාරී බලපෑම් පිළිබඳව වන ප්‍රශ්නයකි. අනාගතයේ දී ඇති විය හැකි පොදුජන උද්ඝෝෂණ ‘මහජන සාමය කඩ කිරීම්’ ලෙස සලකා හමුදාව යොදවා මර්දනය කිරීමේ අවදානම ද මේ තීරණය තුළ ගැබ් වී තිබේ. රතුපස්වල සංසිද්ධිය වැන්නක් විසින් පෙන්නුම් කරන්නේ මෙකී අන්තරාය ඇතැම් විට ජීවිතය හා මරණය පිළිබඳ ප්‍රශ්නයක් වන තරම් දුරට විහිදිය හැක්කක් වන බවයි.

සිවිල් කටයුතු පාලනය කිරීම සිවිල් ආයතන මඟින් කළ හැකිව තිබිය දී ඒ සඳහා හමුදාව යෙදවීම අප විසින් සැහැල්ලු‍වෙන් භාර නොගත යුත්තේ මේ නිසා ය. සමාජයේ දෛනික ජීවිතය මිලිටරිවාදයේ ගොරහැඩි ආධිපත්‍යයට හසු කොට ‘විනයගත’ කිරීම වෙත යොමු විය හැකි අවදානම්කාරී ක්‍රියාමාර්ගයක් ලෙසට අප මෙම තීරණය හඳුනා ගත යුතු ය. විශේෂයෙන් ම ‘ජාතික ආරක්ෂාව’ නම් දෙය වෙනුවෙන් පුරවැසි අයිතිවාසිකම් යටපත් කිරීම සාරධර්මයක් ලෙස සලකන රෙජීමයක් බලයට පත් වී තිබෙන මොහොතක මෙම අවදානම වඩාත් තීව්‍ර ලෙස මතු වීම වැළැක්විය නොහැකි ය. හමුදාවට පොලිස් බලතල පැවරීම දැනට ජනප්‍රිය වෙමින් තිබෙන සමාජයේ දෛනික කටයුතුවලට හමුදාව මැදිහත් වීම හොඳ දෙයක් බවට වන දක්ෂිණාංශික මතවාදය සමඟ බැඳී තිබෙන්නකි. ප්‍රශ්නගත ගැසට් පත්‍රයට මෙන්ම පොදුවේ මෙන්න මේ අධිකාරිවාදී මතවාදයට එරෙහිව ද විරෝධය ගොනු කිරීම අප සමාජයේ ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන කොටස් ඉදිරියේ තිබෙන අභියෝගයක් වන්නේ ය.

රමිඳු පෙරේරා

Leave A Reply

Your email address will not be published.

four − one =