භූත දඩයම

ලාංකීය හේතුවාදී සාහිත්‍යයට වැඩිම දායකත්වයක් ලබා දී ඇති තිලක් සේනාසිංහයන් විසින් නොබෝදා ඊට එකතු කරන ලද නවතම කෘතිය වන්නේ ‘භූත දඩයම’ යි. ඔහු මීට පෙර මෙම සාහිත්‍ය ධාරාවට පිරිනමන ලද මෙවැනිම වූ ගවේෂණාත්මක ලිපි එකතු පිළිබඳව ප්‍රමාණාත්මක විචාරයක් සමාජය තුළ මතු නොවීම ලංකාවේ ශාස්ත්‍රීය උනන්දුව පිළිබඳ තවත් නිදර්ශනයකි. එලෙස අප පරිශීලනය කළ ඔහුගේ පෙර කෘති අතර ප්‍රමුඛ වන්නේ ‘කෙම්මුර තැන්න’, ‘මනරංජන මිථ්‍යා  කතා’, ‘ජනකාන්ත මිථ්‍යා  මත’, ‘අවතාර ලු‍හුබැඳ’ ආදියයි. සමාජයේ අවධානයට ලක් වූ මෙම කෘති කට්ටලය අප විසින් ආධුනික හේතුවාදී පාඨකයන් හට නිර්දේශ කරනු ලබන හේතුවාදී වට්ටෝරුව තුළ විශේෂයෙන් අඩංගු වන බව ද සඳහන් කළ යුතු ය.

ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්ගේ පුරෝගාමිත්වයෙන් විකසිත වූ මේ ගවේෂණාත්මක සාහිත්‍ය ධාරාවට මේ වන විට වසරක දී අවම වශයෙන් අලු‍තින් පොත් දෙකක් හෝ තුනක් එකතු වෙමින් තිබීම සතුටට කාරණයකි. ආචාර්ය කොවූර්ගේ ‘දෙවියෝ සහ භූතයෝ’ සහ ‘මා කළ ගවේෂණ’ කෘති ද්විත්වය මේ වන විට අපට මිල දී ගැනීමට පොත් රාක්ක තුළ නැත. එනිසා නොබෝ දිනකින් ම පාඨක ඉල්ලු‍ම අනුව කඩිනමින් එය යළි මුද්‍රණද්වාරයෙන් නිකුත් වනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිමු.

තිලක් සේනාසිංහයන් හැරුණු විට අජිත් තිලකසේන, අමුණුගොඩ තිලකරත්න, කේ. ඒ. ඩී. වංශරත්න, සුසිලා දොඩංගොඩ, ඒ. ඩී. ගුණසේකර, සැම්සන් ගුණතිලක, මනෝ ප්‍රනාන්දු ආදීන් විසින් ද මේ හේතුවාදී සාහිත්‍යයට දේවල් එකතු කොට ඇත.

මේ සාහිත්‍ය ධාරාව කුඩා එකක්මුත්, එය සමාජය කෙරෙහි ඇති කරමින් තිබෙන බලපෑම සැලැකිය යුතු මට්ටමකින් වෙතැයි කීම අතිශයෝක්තියක් නොවේ. සමාජයේ මත නිපදවන්නන් වෙත ඉන් කරනු ලබන සාධනීය බලපෑම නිසා පෙරළා පොදු සමාජය කරා ද මේ විමර්ශනාත්මක උද්‍යෝගය පුනරාවර්තනය වෙයි.

රටේ ජනතාව ඉතා ම ග්‍රාමීය මට්ටමේ අන්ධ විශ්වාසවල පහසු ගොදුරු බවට පත් වීමේ කනගාටුදායක ඉරණම හමුවේ ඊට අභියෝග කරමින් හා සමාජය තුළ විමර්ශනාත්මක උනන්දුව ජනනය කරමින් මිනිසුන් වෙත ඥානාලෝකය ලබා දෙන්නේ මෙවැනි කෘති මඟිනි.

මෙවන් ගවේෂණාත්මක යමක් සම්පාදනය කිරීම යනු නවකතාවක්, කෙටිකතාවක් හෝ විෂයානුබද්ධ ශාස්ත්‍රීයමය කෘතියක් සම්පාදනය කිරීමට වඩා වෙහෙසකර හා සමහර විට නීරස අභ්‍යාසයක් ද විය හැකි ය. මක් නිසා ද යත්, මීට ඇතුළත් වන විමර්ශනයන් වෙනුවෙන් ස්ථානීය ගවේෂණ හා සිද්ධි අධ්‍යයනයන් සපුරාගත යුතුව ඇති බැවිනි. ඔහු ඒ කටයුතු වෙනුවෙන් සැලැකිය යුතු මූල්‍යමය පිරිවැයක් දරා ඇත. එහෙත් ඒ පිරිවැය මේ පොත් අලෙවියෙන් උපයා ගත නොහැකි වීම අප උකටලී කරන යථාර්ථයයි. එනිසා ඔහුගේ මේ මහන්සිය, පලදායක සමාජ ආයෝජනයක් කර ගැනීම අපගේ වගකීමයි.

භූතයන් යනු නිසැකයෙන් ම සවිඥානිකව හෝ අවිඥානිකව හුදී ජනයා විසින් ම මවා ගන්නා ලද දේවල්ය. යම් නොපැහැදිලි හෝ අඩමාන යමක්, සිදුවීමක් (අඳුරේ දකින යමක්) පිළිබඳව තේරුම් ගන්නට, විග්‍රහ කර ගන්නට අප පදනම් කොට ගන්නේ අපේ ම අතීත මතක ගබඩාවයි. ඒ මතක ගබඩාව තුළ අපේ විශ්වාස පද්ධති, ජනප්‍රවාද, පුරාවෘත්ත, සංස්කෘතික පසුබිම, තම නිවසේ දී හෝ තමන් ඇසුරු කරන සමාජ පරිසරයෙන් ලැබුණු විශ්වාස, ඇබ්බැහි ආදිය නිධන්ගතව ඇත. ඒවා පදනම් කරගෙන හොල්මන්, අවතාර, භූතයන් අප විසින්ම ‘නිර්මාණය’ කර ගනු ලබයි. යම් නොපැහැදිලි හෝ අඩමාන යමක් දුටු විට එහි ‘හිස්තැන්’ පුරවා, අපේ විශ්වාසයන්ට ගැළපෙන අයුරින් සම්පූර්ණ ප්‍රබන්ධයක් ගොඩනඟා ගනියි. හොල්මන්, අවතාර, භූතයන් යනු එලෙස යම් කෙනකු නිර්මාණය කරනු ලබන ප්‍රබන්ධයකි. ඊට අලංකාරික එකතු කොට අංගසම්පූර්ණ කිරීමට ජනමාධ්‍ය සහ තවත් පිරිස් ‘නිර්මාණශීලීව’ දායක වෙයි.

ඒ විශ්වාස අරභයා තර්කානුකූලව හා විද්‍යාත්මක දැනුම ඉවහල් කර ගනිමින් විග්‍රහ කර ගන්නා අයට මේ ‘අද්භූත’ දේවල් නොපෙනෙන්නේ ඒ නිසා ය.

ඒ අයුරින් හොල්මන්, අවතාර, භූතයන්ට හේතුසාධක වන කාරණා ඔහු මේ කෘතිය තුළ හැකි සරලම ආකාරයෙන් ඉදිරිපත් කොට ඇත. කුඩා කල පටන් හොල්මන්, අවතාර, යක්ෂ, ප්‍රේත විශ්වාස හිතේ දරා ගත් අයට සුළු සැකසංකාවක් පවා එලෙස හොල්මන්, අවතාර, භූතයන් ලෙස ‘පෙනීම’ යනු, පැහැදිලි කිරීමට බරපතළ මනෝ විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නොවන තරම් ම සාමාන්‍ය, සරල සංසිද්ධියකි. එහෙත්, සමහර ‘භූතයන්’ දෘශ්‍යමාන වන්නේ සෞඛ්‍යමය හේතු, ඔවුන් භාවිත කරන ඖෂධ අනුව, අධික මද්‍යසාර භාවිතය හෝ විශේෂයෙන් මනෝ භ්‍රාන්තිය හෙවත් ‘හැලු‍සිනේෂන්’ තත්ත්වයන් නිසා ය. රෝග, ඖෂධ (ඒවායේ රසායනික නිසා) නිසා කෙනකුගේ මොළයට හෝ ස්නායු පද්ධතියට ඇති කරනු ලබන ජෛව-විද්‍යුත්-රසායනික බලපෑම විසිනි. යම් භ්‍රාන්තියක් නිසා මෙවැනි රූප මායාවක් ඇති විය හැකි ය. ඊට අමතරව සංජානන විභීතිය, විඝටන ආබාධය වැනි මානසික ගැටලු නිසා එවැනි මායා දර්ශන පෙනුණා ය යන හැඟීමක් ඇති විය හැකි ය. එමෙන් ම ව්‍යාජ මතක (ත්‍්කිැ පැපදරහ) පෙළගැසීම් ආදී හේතු මත සිදු වන භූත ප්‍රබන්ධවලට අදාළ මනෝ වෛද්‍ය විද්‍යා පසුබිම ද මෙම කෘතිය තුළ යම් පමණකට  පැහැදිලි කොට ඇත.

රටේ සිදු වන ‘භූත සිදුවීම්’ ඊට අදාළ මනෝ විද්‍යාත්මක දැනුම ද, විග්‍රහය ද, සාමාන්‍ය විචාර බුද්ධිය ද සමඟින් සමාජයේ මිථ්‍යා විශ්වාස නිරවුල් කොට දීමට තිලක් සේනාසිංහයන් සහාය වී ඇත. ඒ කටයුත්ත වෙනුවෙන් ඔහු අගැයීමට ලක් විය යුතු ය. එමෙන්ම මේ සාහිත්‍ය  ධාරාව තව දුරටත් ඉදිරියට වර්ධනය කර ගැනීමට තවත් එවැනි අය ඉදිරිපත් විය යුතු යැයි අපගේ අපේක්ෂාවයි. මෙම සාහිත්‍යය සමාජය තුළ තව දුරටත් ප්‍රචලිත කිරීමට ජනමාධ්‍ය වෙතින් මීට වඩා දායකත්වයක් අවැසි වෙයි. එය සමාජ යහපත වෙනුවෙන් කරනු ලබන යුතුකමකි; සද්කාර්යයකි.

■  තාරක වරාපිටිය

Leave A Reply

Your email address will not be published.

twenty + twelve =