බැසිල්ට රජයේ සේවක විරෝධය !

වැටුප් වැඩි නොකිරීම, විශ්‍රාම යන කාලය දීර්ඝ කිරීම සහ මුදල් අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකයන් අවතක්සේරුවට ලක් කිරීම යන කාරණා කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය නොවැම්බර් 29 වැනිදා රාජ්‍ය සේවකයෝ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධතාවට  ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, විෂයයන් ගණනාවක නිලධාරීන් නියෝජනය කරමින්  වෘත්තීය සමිති කිහිපයක  රජයේ නිලධාරීහු මෙම විරෝධතාවට එක්ව  සිටියහ.

මෙම අවස්ථාවට සහභාගී වූ සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති බණ්ඩාර මෙලෙස කියා සිටියේ ය.

“පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රාජ්‍ය සේවකයන් අඩු තක්සේරුවට ලක් කරමින් කළ කතාව රජයේ සේවකයන් විදිහට අපි තරයේ හෙළාදකිනවා. මොක ද? වසර හැත්තෑවකට වැඩි කාලයක් මේ රට මේ ප්‍රමාණයෙන් හරි ඉතිරි වෙලා තියෙන්නෙ රජයේ සේවකයන් නිසා මිසක් දේශපාලකයන් නිසා නොවන බව අපි මෙහි දී කියා සිටිනවා.

“අද පවතින ආර්ථික තත්ත්වයෙන් බැටකමින් විශාල අර්බුදයකට රජයේ සේවකයා මුහුණ දීලා. මීට විසඳුමක් ලෙස මෙවර අය-වැයෙන් වැටුප් වැඩි කළ යුතු බව අපි මෙහි දී කියා සිටිනවා. ඒ වාගේම විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ද සාධාරණ නොවන බව අපි කියා සිටිනවා. මේ කරුණු සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉටු නොකළහොත්, ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට අපි කටයුතු කරමින් සිටිනවා යැ”යි හෙතෙම පැවසී ය●

 

චමලි තෙන්නකෝන් – කුරුණෑගල.
Leave A Reply

Your email address will not be published.

five × 2 =