අබුඩාබි හීන හීනී කර නොගන්න

එංගලන්තයේ උපත ලැබූ මහත්වරුන්ගේ ක්‍රීඩාව දැන් විවිධාකාර වෙනස් වීම්වලට ලක් වෙමින් පවතී. මුල් යුගයේ දින පහේ ටෙස්ට් තරග පමණක් පැවැත් වූ නමුත්, පසුකාලීනව එක් දිනක දී පන්දු වාර හැටක් ක්‍රීඩා කරන තරග ආරම්භ වීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වන්නට විය. නමුත්, ඉන් පසුව පන්දු වාර පනහකට සීමා වීමත්, දිවා – රාත්‍රී තරග ඇති වීමත් නිසා පෙර පැවැති තත්ත්වයට වඩා ජනප්‍රිය වුවත්, කාල වේලාව වැඩිපුර වැය වීම නිසා කෙමෙන් කෙමෙන් ක්‍රිකට් තරග නරඹන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය අඩු වන්නට විය. මේ නිසා ක්‍රීඩාව කෙරෙහි  ප්‍රේක්ෂකයන් රඳවා ගැනීමටත්, ඉක්මනින් තරග අවසන් කර ගැනීමටත් පන්දු වාර විස්සේ තරග රටාව ඇති විය. එය ක්‍රමයෙන් ජනප්‍රිය වීමේ දී ලීග් මට්ටමේ තරග ද ආරම්භ කර තරග නරඹන්නාට වැඩි වින්දනයක් ලබා දීමට හැකි විය. දැන් මෙහි නවතම ප්‍රවණතාව වන්නේ, පන්දු වාර දහයේ තරගයි. මෙම තරග රටාව මිනිත්තු අනූවකට පමණක් සීමා වීම නිසා ප්‍රේක්ෂකයන් ද වැඩි වශයෙන් තරග නැරඹීමට ආකර්ෂණය වේ යැයි සිතිය හැකි ය. තවමත් ජ්‍යාතන්තර මට්ටමේ තරග පවත්වා නැතත්, පන්දු වාර දහයේ ලීග් තරගාවලියක් පසුගිය දා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිමාවට පත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගණයේ දී ඇරඹි පන්දු වාර දහයේ තරගාවලිය මෙවර පැවැත්වුණේ අඛණ්ඩව තුන්වන වරටය. එය ආරම්භ වන්නේ 2017දී ය. නොබෝදා නිමාවට පත් වූ තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගී වූ අතර, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙය වැදගත් වන්නේ එම සෑම කණ්ඩායමකම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන  හෝ නවක ලාංකීය ක්‍රීඩකයන් සිටීම නිසා ය. ඒ අතුරින් ‘බෙංගලි ටයිගර්ස්’ කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබීම ද විශේෂත්වයකි.

පසුගිය වසර දෙක තුළ සීමිත පන්දු වාර හා විස්සයි විස්ස තරග රටාවේ පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට විදෙස් ලීග් තරගවලින් ආරාධනා ලැබුණේ නැති තරම්ය. මේ නිසා එම තරග රටාවන්ට ගැළපෙන ක්‍රීඩකයන් අතළොස්සක් පමණක් විදෙස් ලීග්වලට සහභාගී වුවත්, සිතු සේ දස්කම් දැක්වීමට ද ඔවුන් සමත් වූයේ නැත. නිතරම අසාර්ථක වෙමින් සිටින ක්‍රීඩකයන්ට සැම විටම අවස්ථාව ලැබුණත්, ඉන් ඵල නෙළා ගැනීමට ද ඔවුන් සමත් වූයේ නැත. ඒ නිසා සිදු වූයේ දක්ෂයන්ට ද ඉදිරියට ඒමට අවස්ථාවක් නොමැති වීමයි. කෙසේ නමුත්, නිමාවට පත් වූ පන්දු වාර දහයේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සිටින නවකයන් ක්‍රීඩා කළ ආකාරය පැසසුම් කළ යුතුය. ඒ අතුරින් තවමත් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් අහිමි භානුක රාජපක්ෂ, ළහිරු කුමාර වැනි නැඟී එන ක්‍රීඩකයන් හා තවමත් ළාබාල වියේ පසුවන අසාමාන්‍ය ඉරියව්වකින් පන්දු යවන කෙවින් කොත්තිගොඩ ද විශේෂ කොට සැලැකිය හැකිය. යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකලාභියා වෙමින් කැපී පෙනිණ.

කුසල් ජනිත් පෙරේරා තරගාවලිය පුරා දැක් වූ දස්කම් සියලු දෙනාගේ පැසසුමට ලක් විය. එමෙන්ම තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද තමන් ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයට හිමිකම් කියන බව මේ තරගාවලියෙන් පෙන්නුම් කළේ වේගයෙන් පන්දුවට පහර දීමට පමණක් නොව තමන්ට පන්දු යැවීමෙන් ද යමක් කළ හැකි බව පෙන්වා දෙමින්ය. තිසර තමන්ට ලබා දුන් කණ්ඩායම සමඟ ඉදිරියට යමින් තරගාවලියේ තුන්වන ස්ථානය ලබා ගත්තේ තමන්ට ද තවත් අවස්ථාවක් ලබා දෙන්නේ නම්, ජාතික කණ්ඩායම වෙනුවෙන් තවමත් සේවය කළ හැකි බව පෙන්වමින්ය. නවකයන් මෙන්ම පලපුරුදු මැතිව්ස්, මාලිංග මෙන්ම තරංග ද ක්‍රීඩා කළ ආකාරයෙන් පෙන්නුම් කළේ තවමත් ඔවුන් තුළ තරුණයන් මෙන් ක්‍රීඩා කිරීමට ජවයක් ඇති බවය. නුවන් ප්‍රදීප් ද දැන් දැන් තමන්ගේ වැරදි නිවැරදි කර ගනිමින් සිටින බවක් පෙනේ. මේ පන්දු වාර දහයේ තරගාවලියේ දී ලකුණු ලබා නොදුන් පන්දු වැඩි වශයෙන් යැවීමෙන් කෙටි තරග රටාවට ද තමන් සුදුසු බවක් පෙන්වා දුන්නේය. කසුන් රාජිත තමන්ට ලැබුණු සෑම අවස්ථාවක්ම නිමා කළේ ප්‍රතිවාදීන්ට සිය පන්දු යැවීම විශාල තර්ජනයක් බවට පත් කරමින්ය.

භානුක ගැන නම් අටුවා ටීකා ටිප්පනී කිසිවක් පැවසිය යුතු නැත. දහනවයෙන් පහළ ක්‍රීඩා කරන සමයේ පවා ජාතික කණ්ඩායමට සුදුසු බව පෙන්නුම් කළත්, තවමත් ස්ථිර වශයෙන් එහි දොර විවර වී නැති ඔහු මෙවර තරගාවලියේ දී මවු රටේ ක්‍රිකට් පරිපාලනය නොදුටු ස්වීය හැකියාවන් ලෝකයටම පෙන්නුම් කර දුන්නේය. කාලයේ වැලි තලාවෙන් වැසී යන ‌මෙවැනි දක්ෂයන් විදෙස් ලීග් තරගවල දී එසේ මතු වුවත්, තවමත් ඔවුන්ට ජාතික කණ්ඩායමේ ඉඩක් ලැබේවි දැයි සැකසහිතය. ඒ මේ ශ්‍රී ලංකාව නිසාමය.

පසුගිය සමයේ තරග දිනවන්නකු වූ අසේල ගුණරත්නගේ නැවත ආගමනය ගැන ද යමක් පැවසිය යුතුය. ආබාධයෙන් පසු නැවත කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ඉව අල්ලමින් සිටින අසේලට යමක් කළ හැකි කාලයක් මේ තරගාවලියේ දී නොලැබිණ. නමුත්, ලෝකයට තවමත් ඔහුගේ සුපිරි තරග රටාව අමතකව ගොස් නැති බව මේ තරගාවලිය සඳහා ඔහුගේ කැඳවීම පෙන්නුම් කළේය. එසේම එය ලංකාවේ ක්‍රිකට් බලධාරීන්ටත් රටේ ක්‍රීඩාව වෙනුවෙන් කළ සුබ සංඥාවක්ම විය.   

විස්සයි විස්ස පිටියේ දැවැන්තයන් සමඟ උරෙ’නුර ගැටෙමින්, ඔවුන්ගේ අත්දැකීම් කෙටි කාලයක් තුළ බෙදා ගනිමින් ක්‍රීඩා කිරීමට ලැබීම එම ක්‍රීඩකයන්ට පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉදිරි ගමනට ද මනා පිටිවහලක් වනු ඇත.

සමස්තයක් ලෙස මෙම‌ තරගාවලිය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටි බව කිව යුතුය. ඒ බව විදෙස් විචාරකයෝ පවා මහත් සේ අගය කළහ. විශේෂයෙන් ළහිරු කුමාරගේ වේගවත් පන්දුව ද, භානුකගේ ගිනිකෙළි සංදර්ශන වැනි පිතිහරඹය ද විදෙස් විචාරකයන්ගේ ඉහළම පැසසුමට ලක් විය. සියල්ල සතුටින් කෙළවර වූ බව ලංකාවේ ක්‍රිකට් අනාගතය පිළිබඳව සිහින දකින්නකුට සිතෙන්නට පුළුවන. නමුත්, රටේ ක්‍රීඩාව පිළිබඳ බලධාරීන්ට ඒවා සිහින ලෙසම පවතින්නට දෙන්නට නම් වුවමනාව ඇත්තේ. ශ්‍රී ලංකාවට පෙර තිබූ ක්‍රිකට් විජයග්‍රහණ සඳහා පිවිසෙන්නට ගත වන කාලය මෙතෙකැයි කියන්නට අපහසුය. නමුත් ක්‍රිකට්ප්‍රේමීන් වශයෙන් යහපතක්ම අපේක්ෂාවෙන් අපි බලා ඉඳිමු.

චතුර චාමින්ද

Leave A Reply

Your email address will not be published.

sixteen − fifteen =