අප යන අත කොයිබට ද?

ජීවිතය කියන්නෙ නිශ්චිතව සකසුරුවමක් නැතිව ගලා යන්නක්. අද වෙන දේ නොවේ හෙට වෙන්නෙ. හෙට වෙන දේ නොවේ අනිද්දට වෙන්නෙ. කාලයත් එක්ක අනුරූපීව ගලා යන ජීවිතය මිනිසා තීරණය කරන්නේ උදාවන එක් එක් දවස අනුව. කටයුතු සැලසුම් කරන්නේ ගතකරන දවස හා මොහොත අනුව.

සෑම දවසකම උදෑසන, දහවල, රාත්‍රිය පැමිණිය ද, නිඳාගැනීම, පිබිදීම සෑමදාම එක ම දේ ලෙස සිදුවීම ද ජීවිතය නොවේ. මිනිසුන් ජීවිතය ඔස්සෙ දිව්ව ද, ජීවිතය මිනිසුන් පසුපස දුව එන්නේ නැත.

දුක, සතුට විඳගනිමින්, ජයග්‍රහණ, පරාජයන් ලබමින්, ඒවාට නොබියව මුහුණ දෙමින් හිඳීමයි ජීවිතය. ඇති – නැති පරතරය තුළ ඇත්තෝ දේවල් ලබමින් ද, නැත්තෝ දේවල් නොලබමින් ම හිඳිති. මේ අතර මේ සෑම දෙයක් ගැන ම නිරවුල් මනසකින්, සමාදානයෙන් හිඳ මධ්‍යස්ථව සමාජය තුළ සිදු වන දෑ ගැන දියුණු ආධ්‍යාත්මික හා මානසික මට්ටමකින් ද, උපේක්ෂාවෙන් ද බලන්නෝ වෙති. ඔවුහු සරලව හිඳිමින් ජීවිතය ගෙන යන්නන් වෙති. ඔවුහු ජීවිතය පසුපස හඹා නොයති. ජීවිතයට තමන් දිවැවීමට ඉඩ තබන්නේ ද නැත. ඔවුහු ප්‍රඥාවන්තයෝ ය; යමක් දෙස සාපේක්ෂ මට්ටමින්, මධ්‍යස්ථ මට්ටමින් අනාගතය දෙස බලන්නෝ ය.

ඇති – නැති පරතරය ගැන කවි පබැඳුවෝ ලංකාවේ සිටිති. එයින් දයාසේන ගුණසිංහ කවියාත්, බුද්ධදාස ගලප්පත්ති කවියාත් සිහිවන්නේ නිතැනිනි.

“අපේ රටේ දරුවන් සිවු දෙනකුට ස්වීඩනයේ මවුපිය ස්නේහය ලැබීමේ වාසනාව උදා වී තිබේ.” යනුවෙන් වූ පුවත් පත් වාර්තාවක් සිය කවියට ප්‍රස්තූත කොට ගන්නා දයාසේන ගුණසිංහයන් ඉස්මතු කරනුයේ, සමාජය තුළ සැඟ වී ඇති දේශපාලනික සහ සමාජීය ගැටලුවක් නොවේ ද?

“උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වී ද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැව් නැඟිලා දුරු රටකට යන්න දුවේ
“මතු යම් දිනෙක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවි ද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුළක හැඩය මහ සයුරේ දකීවි ද”
  • එතෙර ගිය පොඩි දුවට, දයාසේන ගුණසිංහ –

රත්න ශ්‍රී විජේසිංහ කවියා එකී කරුණම ,

“කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරු ම නම් ඒක
අඳිමු අපි ලංකාව”

උපහාසය මවමින් සිය අභිනව කාව්‍ය සංග්‍රහය වන ‘ගෙත්තම් පාණ’ හි කවි ගෙත්තම් කරනු පෙනේ.

බුද්ධදාස ගලප්පත්ති කවියා,

“තැනින් තැන ඉරී ගිය, කිලිටි වී ගිය ගවොම
දවස් ගණනාවකින් තෙල් පොදක් නොදුටු හිස
එක අතෙක ඉරී ගිය පරණ පත්තර පිටුව
ඈ සිටී අවන්හල දොරකඩෙහි හැමදාම
“උයා ඇතිමුත් රසට මගෙ දිවා භෝජනය
එපා වී ගියේ කිම
හදවතේ ඇඳුණ ද ඇගේ අසරණ දෙනෙත
කිසි දිනෙක ඇසෙන්නෙට ගායනා නොකළ ඇගෙ
සිහින් සෝබර ගීය ඇසුණා ද, දෙසවනට
“සති අන්තයෙ දිනෙක කුඩා දියණියන් හට
අනෙක මසවුළු සමඟ බත් කටක් කවන්නට
කොතෙක් දරමි ද වෙහෙස
කුඩා දෑතෙහි රැඳෙන ඇගෙ දිවා භෝජනය
ගේ පුරා විසිර යයි
“අවන්හල දොරකඩෙහි නෙත් අයා සිටින්නී
බත් උළක් වැටෙන තෙක් ඉරුණු කඩදාසියට
කෙසේ නම් වෙනස් වෙ ද මගෙ දියණිය ඇයට
දෙදෙනාම එකම එක අහස යට උපන් කල ”

වශයෙන් සිය ‘දෙදෙනාම දියණියෝ’ පද්‍යය සරසයි.

භාවමය ගතිලක්ෂණ යනු සාහිත්‍යයේ එන්නා වූ අපූරු දෙයකි; චමත්කාරජනක දෙයකි. හැඟුම, දැනුම වඩවා සහෘදයකු, පාඨකයකු නවමු මානයකට, දර්ශනයකට ගෙන යාමයි සාහිත්‍යය (කවිය) විසින් කරන්නේ.

දේශපාලනය යනු සමාජ – සංස්කෘතිය, මිනිසුන්ගේ දැනුම් පද්ධතිය මොට කරන්නක් මිස දැනුම් පද්ධතිය වඩවන්නක් නොවේ. එකිනෙකා අතර සාමය – සමඟිය

නැතිකොට, වහලුන් පිරිසක් බිහිවීම පමණ ය සිදු වන්නේ. මිනිසුන්ගේ ඥානය විනාශ කරන දෙයක් වන දේශපාලනය තුළ මිනිසුන් කොතරම් රැදී සිටිය ද, පසුගිය අවුරුදු හැත්තෑ ගණන තුළ එයින් රටට යහපතක් සිදු වී තිබේ ද? සමාජයට යහපතක් සිදු වී තිබේ ද? මිනිසුන්ගේ මනස වියරු වනු විනා අන් මෘදු, ළතෙත් බවට පත් වී තිබේ ද? දේශපාලනයට වඩා සාහිත්‍යයට මිනිසුන් වහලුන් බවට පත් කිරීමට හැකි නම් බොහෝ අගනේ ය.

වර්තමානය තුළ මිනිස්සු ස්වකීය ආධ්‍යාත්මික වර්ධනය සහ මානසික වර්ධනය ලබා ගනු වෙනුවට වෛරී ලෙස පුද්ගල විචාරයේ යෙදීමට පෙළැඹී සිටිති. සමාජ මාධ්‍ය තුළින් – මුහුණු පොත තුළින් – එය වඩ වඩාත් දක්නට තිබේ. වෛරීත්වයෙන් යුතු පුද්ගල විචාරයන් මොකට දැයි සිතේ. එයින් ලැබෙන්නා වූ ඵලය කුමක් ද? යහපත් ඵලයක් එහි ඇති ද?

දිවි පැවැත්ම යනු හුදෙක් සල්ලි පසුපස යාම යැයි සිතුණ ද, එය එසේ නොවේ. එය සර්වකාලීන නොවේ. දිවි පැවැත්ම යනු සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම ය. සතුටු සාමීචියෙන් හිඳීම ය. දුක, සතුට බෙදාගෙන හිඳීම ය. තමන්ට ප්‍රිය, මානව බැදීම් සමඟ කාලය සතුටින් ගත කිරීම ය. සබැදියාවන් යනු ගතකල යුතු කාලය තුළ ගතකිරීම ය. අප විසින් ආදරය කරන, අපට දැනෙන මිනිසුන් සමඟ ළංව දිවි ගෙවීම ය. මිනිසකු මැරුණු පසු පෙර ඔවුන් සමඟ නොසිට ගුණකථන කුමට ද? මිනිසුන්ට අවශ්‍ය වනුයේ නැති තැන කරන වර්ණනා ගුණකථන නොවේ. ජීවත්ව ඉන්නා කාලය තුළ ළඟින් හිඳීම, බැලීම, කැවීම, පෙවීම, ආදරය, ළෙන්ගතුකම ආදියයි මිනිසුන් අපේක්ෂා කරන්නේ සහ කළ යුත්තේ. මතකයන් වටිනා බව ඇත්ත. නමුත් මතකයන් මිහිරි වන්නේ ඇත්තටම මතක මිහිරි වුවහොත් පමණි. මිනිස් සිතකට, ඇසකට සතුටක් හෝ සතුටු කඳුළක් නැඟුණොත් පමණි.

ජීවිතයේ සීමා මායිම් නැතුව හැල්මේ දුව යන මිනිසා ජීවිතයේ අනිත්‍යතාව ගැන ප්‍රකාශ කරන දහම හා සාහිත්‍යය අතර කෙතරම් දුරට සැරිසරන්නේ ද යන්න ගැන ඇත්තේ කුකුසකි. ආගමක්, දහමක්, සාහිත්‍යයක් ඇත්තේ කුමකට ද? ආධ්‍යාත්මික හා මානසික සංවර්ධනයේ තිබිය යුතු වටිනාකම හඳුනා ගන්නෝ කීයෙන් කී දෙනා ද? කවි පොතක් රැගෙන එයින් රසවින්දනයක් ලබන්නේ කොයි තරම් අල්ප ප්‍රමාණයක් ද? බෞද්ධ දර්ශනය හැරුණුකොට සාහිත්‍යය තරම් ප්‍රඥාව දියුණු කර ගැනීමට සමත් වන අන් දෙයක් මේ ලොවෙහි ඇත් ද? ආනන්දයෙන් ප්‍රඥාව ලැබිය හැකි වෙනත් වටිනා සම්පතක් මෙ ලොව ඇත් ද?

කවදා හෝ මැරෙන්න වෙන බව දැන දැනත් මිනිසා මධ්‍යස්ථ නොවී සංතෘෂ්ට නොවී හැල්මේ දිවීමේ ක්‍රියාවලිය කවදා නැති වී මිනිසා අතීතයේ දී මෙන් ආධ්‍යාත්මික හා මානසික දියුණුව සහිත අපගේ අතීත පරම්පරා ලෙසින් ජීවත් වීමට කවදා වෙහෙසෙනු ඇත් ද?

ජීවිතය කියන්නෙ ආත්මයන් මරවමින්, වේදනා විඳිමින් ජීවිතය ජීවත් කරවීම නොවේ. ජීවිතය කියන්නේ ගත කරන මේ මොහොත තුළ කතා කරන අය, සෙනෙහෙ වඩන අය සමඟ සතුටින් කාලය ගත කිරීම ය; සතුටින් හිඳීම ය.

 

■ දිවංක කෞෂික

 

Leave A Reply

Your email address will not be published.

4 × 2 =