සාග් මතකයේ මුල ම සිට

දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළ 1984දී ඇරඹෙන්නේ නේපාලයෙන්ය. නැවත නේපාලය දකුණු ආසියාතික තරගාවලියක් සංවිධානය කරන්නේ 1999 දීය. මේ ඔවුන් සංවිධානය කරන තෙවන දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළය. දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පැවත්වෙන 13 වන ක්‍රීඩා උලෙළ මෙය වන්නේය.

මේ වන විට නේපාලයෙන් ලැබෙන ආරංචි  යහපත් නැත. සංවිධාන මට්ටම අයහපත් ය. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වෙනුවෙන් සියල්ල සංවිධානය කිරීම තීරණය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පවරා ගත්තේය. එය ද මේ වන විට යම් අර්බුදකාරී තත්ත්වයකට ගොස් ඇත. දැනටමත් ක්‍රීඩක ඇඳුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර, ඇතැම් ක්‍රීඩාවල ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට එම ඇඳුම්වලින් ක්‍රීඩා කළ නොහැකි තත්ත්වයක් මතු වුවහොත්, කරන්නේ කුමක් ද යන්න ගැටලුවකි.

සත්කාරකත්වයට ජාඩියට මූඩිය සේ පෑහෙන තත්ත්වයක් ලංකාවෙන් ඉස්මතු වීම එතරම් යහපත් දෙයක් නොවනු ඇත. අසාර්ථක පොළොවක වුව තරග කරන්නේ නම්, ජයග්‍රහණ සොයා යා යුතු අතර, නමුත් ඇඳුම ද, ගමන ද තවමත් ගැටලුවක් වී තිබෙන ක්‍රීඩාවෙන් කුමන ප්‍රතිඵලයක් පෙන්නුම් කරන්නේ දැයි තීරණය කළ නොහැකිය.

අවසාන වරට පැවැති දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා සහ පිහිනුම් යන ක්‍රීඩාවලින් ලබා ගත් ජයග්‍රහණ රැක ගැනීම අභියෝගයක් වී ඇත. ඒ සමහර ක්‍රීඩාවන් තරගාවලියට ඇතුළත් කර ගැනීමට අපොහොසත් වීම ද දුර්වලකමකි. එහෙත්, දිනා ගත් දේ රැකගැනීමේ අභියෝගය එයින් ඉවත් වන්නේ නැත.

මේ තරගාවලිය සඳහා පිවිසෙන විට ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ජයග්‍රහණ වෙනුවෙන් එකතු කර ගන්නට අලු‍ත් මුහුණු ගණනාවක් ම ලැබිණ. අමාශා ද සිල්වා, සදීපා හෙන්ඩර්සන් වැනි ක්‍රීඩිකාවන් ඒ අතර වේ. එසේම අරුණ දර්ශන, පාරමී මාරිස්ටෙල්ලා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිටිය ද, ශෙලින්ඩා ජෙන්සන් වැනි මතු බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවකගේ ද, අලු‍ත්ම වේග තරුව වන යුපුන් ප්‍රියදර්ශන වැනි ක්‍රීඩකයකුගේ දායකත්වය ද ශ්‍රී ලංකාවට නිවැරැදිව ලබා ගන්නට නොහැකි වන්නේ තේරීම් තරග ඉතා ඉක්මනින් පවත්වා තීරණ ගැනීම නිසාය. ශෙලින්ඩාට සංචිතයටවත් පැමිණීමට අවස්ථාව නොලැබෙන අතර යුපුන්ගේ වේග දායකත්වය ලැබෙන්නේ සහාය දිවීමට පමණි. පාරමී ද ඉසව්ව නොමැති නිසා ද, ඇයට ඇයව කළමනාකරණයේ දී සිදු වූ අතපසු වීම් නිසා ද ඉදිරි ගමන අපහැදිලි තත්ත්වයකට පත්ව ඇත.

නේපාලයේ පළමුවරට තරගාවලිය පැවත් වූ 1984දී ද ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආකර්ෂණය තමන් දෙසට හරවා ගත්තේ මලල ක්‍රීඩාවෙන්ය. විශේෂයෙන් කෙටි දුර ඉසව්වලදීය. එවකට ලංකාවේ සිටි කෙටි දුර රැජින වූයේ රමණි මංගලිකා ය. ඇය මීටර් 200 ජය ගත්තත්, මීටර් 100 තරගයට සහභාගි වන්නට නොහැකි වූවාය. ඇය මවු රටට පැමිණියේ ද රෝද පුටුවක හිඳගෙනය. නමුත්, ඒ හිස්තැන පිර වූ ෂිමොන් වැන්හියර් පළමු දකුණු ආසියාතික මලල ක්‍රීඩා උලෙළේ වේගවත්ම ක්‍රීඩිකාව වූවාය.

හේමලාල් ප්‍රියංකර කෙටි දුර කිරුළට හිමිකම් කියනු ඇතැයි විශ්වාස කළ ද, එය අදිල් සුමාරිවල්ලාට දී හේමලාල්ට සිදු වූයේ මීටර් 200 රන් පදක්කම ගෙල ලා ගන්නටය. මීටර් 400 රන් පදක්කම ද ශ්‍රී ලකාවට හිමි වූ අතර, ජයග්‍රාහකයා වූයේ රුවන් චන්ද්‍රතිලකය.

කාන්තා අංශයේ මීටර් 100 සහ 200 රන් පදක්කම් දෙක ලංකාවට දිනා දුන් පසු ශ්‍රී ලංකාවට අනතුරුව රන් පදක්කමක් ලැබෙන්නේ නැත. ඉතා සීමිත තරග ගණනාවක් පමණක් පළමු දකුණු ආසියාතික තරගාවලියට ඇතුළත් වීම ද ඊට එක් හේතුවකි. එසේම එම තරග ඉතිහාසය සලකද්දී ලංකාව වෙනුවෙන් නොව දකුණු ආසියාතික ක්‍රීඩා තරග ඉතිහාසයේ පළමුවරට එම ඉසව්ව වෙනුවෙන් රන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන්නට ද රමණි, ෂිමෝන්, හේමලාල් සහ රුවන් සමත් වීම සමස්ත ලාංකේය ක්‍රීඩාවටම නිරන්තරයෙන් සිහිපත් කළ හැකි ගෞරවයකි. එම ගෞරවයම එම තරගාවලිය නියෝජනය කළ මීටර් 400 සහාය දිවීම පිරිමි කණ්ඩායමට ද හිමි විය යුතුය. ඔවුන් ද දකුණු ආසියාතික තරග ඉතිහාසයේ මලල ක්‍රීඩාව වෙනුවෙන් පළමු මීටර් 400 සහාය දීවීමේ රන් පදක්කම දිනා ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකාවට අත් කර දුන් ක්‍රීඩකයෝ වූහ.

එසේ ම නේපාලයට සීමා නොවී දකුණු ආසියාතික මලල ක්‍රීඩා ඉතිහාසය සලකද්දී මලල ක්‍රීඩාවේ යම් ඉසව්වක් තරගාවලියට හඳුන්වා දෙන විට එය පළමු අවස්ථාවේ ජය ගත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් තවත් ලංකාවට ඉතුරුව ඇත. ඒ දෙදෙනා තිලකා ජිනදාස සහ ඩිලීමා පීටර්සන්ය. ඒ දෙදෙනාම 1985දී මෙම තරගාවලිය බංගලාදේශයේ පැවැති අවස්ථාවේ දී ඒ දස්කම දැක්වූහ. ඒ තිලකා මීටර් 100 කඩුලු‍ මතින් දිවීමේ තරගයේ දීය. ඩිලීමා එම දස්කම සිදු කළේ දුර පැනීමෙන්ය.

ඉතිහාසයේ සිට දකුණු ආසියාතික ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව වඩාත් කැපී පෙනෙන දස්කම් දක්වා ඇත්තේ මලල ක්‍රීඩාවෙන් ය. එහිදී ද වඩාත් කැපී පෙනුණේ කෙටි දුර ඉසව්වලදී ය. ෂිමෝන් වැන්හියර්, රමණි මංගලිකාගේ සිට සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, චන්ද්‍රිකා සුභාෂණී රස්නායක, හිමේශිකා රත්නායක දක්වා ඒ අතීතය සොඳුරු ය. හේමලාල් ප්‍රියංකර, රුවන් චන්ද්‍රතිලකගේ සිට ශ්‍රියන්ත දිසානායක, චින්තක සොයිසා, සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප්, උමංග සුරේන්ද්‍ර, ෂෙශාන් අඹේපිටිය, හිමාෂ ඒෂාන් දක්වාම ලාංකේය කෙටි දුර දුවන්නන් ගැන මතකය ද අපූරු ය. ශ්‍රියානි ධම්මිකා මැණිකේගෙන්

පසුව මැදි දුර ඉසව්වල දී ශ්‍රී ලංකාවට ලැබුණ ඉහළම බලාපොරොත්තුව මෙවර ද සහභාගි වන නිමාලි ලියනආරච්චි ය. රංජිත් සුභසිංහගෙන් පසුව පිරිමි මැදි දුර දුවන්නෙක් සේ ජයග්‍රාහී ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත්තේ ඉඳුනිල් හේරත්ය.

ඩිලීමා පීටර්සන් වැදගත් වන තැනක් මේ ඉතිහාසයෙන් ඇයගේ ජයග්‍රහණවලට අමතරව සොයා ගන්නට හැකියාව ඇත. ඒ ඇය දුර පැනීමෙන් දිනන ලද රන් පදක්කම නිසා නොවේය. ඇය රන් පදක්කම්ලාභිනියක වෙමින් පුහුණුකාරියක ලෙස ද රන් පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩිකාවක නිර්මාණය කළ බැවිනි. 2006දී ඇය විසින් පුහුණු කරන ලද දුලාංජලී රණසිංහ උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම්ලාභිනිය වූවාය.

තිලකා ජිනදාස මලල ක්‍රීඩා පුහුණුකාරියක ලෙස නොව නෙට්බෝල් පුහුණුකාරියක ලෙස ශ්‍රී ලංකාව දෙවරක් ම ආසියාවේ පළමු තැනට ගේන්නට ක්‍රියා කළා ය. සුගත් තිලකරත්න ක්‍රීඩා පරිපාලකයෙක් ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉහළම පුටුවට පැමිණියේය. දකුණු ආසියාතික පදක්කම්ලාභීන් සම්බන්ධයෙන් මේ කරුණු ද සුවිශේෂී වන්නේය.

මෙවැනි මලල ක්‍රීඩා සොඳුරු මතක හැරෙන විට වරින්වර පිහිනුම් කේෂ්ත්‍රයෙන් ද කලාපීය බලවතා වන ඉන්දියාවට අභියෝග කරන මට්ටමට පත්ව තිබේ. ඒ අතුරින් 1991දී ජුලියන් බෝලිං සහ දීපිකා චන්මුගම් දක්වන ලද දක්ෂතා වඩාත් ඉහළින් අගය කළ හැකිය. මෑත කාලය වන විට ශ්‍රී ලංකාව කැපී පෙනෙන ඉසව්වක් බවට පත්ව ඇති තවත් ක්‍රීඩාවක් වන්නේ බර ඉසිලීමය. මේ කිසිවක් ගැන පූර්ව නිගමනවලට එන්නට අපහසුය. නමුත්, ශ්‍රී ලංකාවට වෙනදාට වඩා අභියෝගාත්මක තරග උලෙළක් වීමට මෙවර දකුණු ආසියාතික තරගාවලිය හේතු වුවහොත්, කිව හැකි කතා අතර මේ උපහැරණය ද තිබිය හැකි බව සිහි තබා ගැනීම වටින්නේය.

“එකක් කඩතොළු වසා ගන්නට ගොසින් මට වූ කාරියා

දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා”

  නිශ්මං රණසිංහ

Leave A Reply

Your email address will not be published.

18 − six =